Loading...
තවත් හෝරා කිහිපයකින් නිමාව දකින FIFA 2022 සහ අවසන් තරඟයට පණ පොවන නව තාක්ෂණයෙන් සන්නද්​ධ Lusail ක්‍රිඩාංගනය

ගෙවී ගිය මාස දෙකකට ආසන්න කාල සීමාව ඔබට මෙන්ම මා හටත් ඉතාමත් වින්දනීය කාලයක් වූවා නොඅනුමානය. Seasonal Fan කෙනෙක් වූවත් Die Hard Fan කෙනෙක් වූවත් Football සඳහා ආදරය කරන ඔබ සඳහා ඉතාමත් සතුටුදායක කාලයක් ලබාදීමට මෙවර පැවති FIFA 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සමත් විය.

ලොව ප්‍රකට ක්‍රීඩකයන් රැසකගේ නික්මයාම ද සමගින් අවසන් වන FIFA 2022 තරඟාවලියේ අවසන් තරඟය සඳහා යොදාගන්නා Lusail ක්‍රීඩාංගනය සහ FIFA 2022 හා සම්බන්ධ පුවත් කිහිපයක් ඔබ වෙත මෙම ලිපිය ඔස්සේ ලබාදීම සඳහා Android  වැඩකාරයෝ වන අප සූදානම් වන්නෙමු.

නොවැම්බර් මස 20 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය දරන්නේ කටාර් රාජ්‍ය වේ. මතභේදාත්මක කරුණු රාශියක් මතින් සත්කාරකත්වය ලද කටාර් රාජ්‍ය කෙසේ වෙතත් තම රට වෙතට පැමිණෙන ක්‍රීඩාලෝලීන් හට අමතක නොවන රසාස්වාදයක් එක් කිරීම සඳහා විවිධාකාරයේ නිර්මාණයන් සහ ක්‍රියාකාරකම් සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබුණි.

එමෙන්ම 2010 වසරේ පටන් 2022 වසර වන විට ඉතාමත් අනර්ඝ ගණයේ ක්‍රීඩාංගන 8ක් සහ ඒවා නවීන තාක්ෂණයන්ගෙන් බලගැන්වෙන ආකාරයට නිර්මාණය කිරීමටත් ඔවුනට හැකියාව ලැබුණි. අප විසින් මේ පිළිබඳව ලිපි පෙළක් ඔබ වෙත ලබාදුන් බව අප සමඟ රැඳී සිටින්නාවූ පාඨක ඔබ දැනුවත් යැයි මා විශ්වාස කරමි. කෙසේ වෙතත් FIFA 2022 හා සම්බන්ධ තාක්ෂණික පුවත් පිළිබඳව යාවත්කාලීන වීම සඳහා පහත සබැඳීන් මගින් අවස්ථාව ලබාගන්නා ලෙස ඔබ ආරාධනා කිරීමට කැමතියි.

  1. FIFA 2022 හා ඒ සම්බන්ධ තාක්ෂණයන්.
  2. Off-Side නිවැරදිව හඳුනාගන්නා Semi-Automated තාක්ෂණය.
  3. Goal Line තාක්ෂණය පිළිබඳව.
  4. FIFA Player App පිළිබඳව.
  5. අදින් පසු අවසන් ගමන් යන Stadium 974.

ගතවූ කාලය තුළ ලොව වෙසෙන මිලියන ගණනාවකගේ ආදරයට පාත්‍ර වූ FIFA 2022 තරඟාවලියේ අවසන් තරඟය Lusail ක්‍රීඩාංගනයේ දෙසැම්බර් මස 18 වන දින පැවත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ කටාර් රාජ්‍යයේ ජාතික දිනය වන්නේ ද එම දිනය වීමයි. පහත කොටසින් ඔබට මෙම ක්‍රීඩාංගනය පිළිබඳව වැඩිදුර දැනගත හැකිවේ.

Lusail ක්‍රීඩාංගනය පිළිබඳව කෙටියෙන්.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රධානතම ක්‍රීඩාංගනය වන Lusail, Foster + Partners විසින් සංකල්පනය කරන ලද ක්‍රීඩාංගනයකි. මෙය ප්‍රේක්ෂකයන් 80,000කට අධික ප්‍රමාණයකට ඉඩපහසුකම් පවතින දැවැන්ත ක්‍රීඩාංගනයක් වන අතර මෙහි වර්ගඵලය වර්ගමීටර 925,112 (925,112m²) පමණ වේ.

මෙය නිර්මාණය කිරීමේදී ඇස්තමේන්තුගත ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස බිලියන තුනක් පමණ සලකා ඇති අතර විවිධ ආකාරයේ ක්‍රීඩා උත්සව සඳහා ද මෙය භාවිතා කර ඇත. මෙම ක්‍රීඩාංගනය සමගම ඒ ආශ්‍රිතව ඉදිවන Lusail City මිලියනයක පමණ ජනතාවකට නිවහන වී අවසන් ය. ඒ සඳහා කටාර් රජය විසින් ඩොලර් බිලියන 45 කට වැඩි ආයෝජනයක් සිදුකර ඇති බව මූලාශ්‍ර වල දැක්වේ.

Source: www.fosterandpartners.com

මෙහි නිර්මාණාත්මක හැඩය පිළිබඳව සැලකීමේදී කටාර් රාජ්‍යට අනන්‍ය වූ ලක්ෂණ ඉස්මතු වන පරිදි නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාංගනයේ පිටත සලකන විට සූර්‍යාලෝකය හොඳින් ආලෝකමත් වන රන් පැහැයෙන් යුක්ත වේ. එමෙන්ම මෙහි සූර්ය ශක්තිය ග්‍රහණය කර ගැනීම සඳහා විශේෂිත වූ Solar System එකක් මෙන්ම ඒ ආශ්‍රයෙන් මුළු ක්‍රීඩාංගනයටම අවශ්‍ය වන සිසිලනය ලබාදීම සඳහා සිසිලන පද්ධතියක් ද මෙහි ක්‍රියාත්මක වේ.

මෙතෙක් ලොව ක්‍රීඩාංගනයක පවතින විශාලතම කේබල් දැල් වලින් සමන්විත වහලයක් මෙම ක්‍රීඩාංගනයේ අන්තර්ගත වේ. එය මීටර් 307ක විශ්කම්භයකින් යුක්ත වන අතර එය ක්‍රීඩාංගනය සඳහා නිර්මාණය වූ පුළුල් වහලයක් ලෙස ක්‍රියා කරයි.

Lusail ක්‍රීඩාංගනයේ පවතින කේබල් වලින් සමන්විත වහලය. (Source: www.fosterandpartners.com)

මේ අතරම Lusail තවත් විශේෂ වන්නේ මෙහි පවතින ජල ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියයි. ජල පරිභෝජනය අධිකව අවශ්‍ය වන මෙම ක්‍රීඩාංගනයේ ඉවතලන ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට භාජනය කරමින් ඉන් පිටත අවශ්‍ය වන්නාවූ ක්‍රියාවලීන් සඳහා භාවිතා කිරීමයි.

Polytetrafluoroethylene (PTFE) යන නවීන ද්‍රව්‍ය භාවිතා කර මෙම ක්‍රීඩාංගනයේ වහලය සාදා නිමකර ඇති අතර එමනිසා උණුසුම් සුළඟින් මෙන්ම දූවිල්ලෙන් පවා ක්‍රීඩාංගනයට ඇතිවිය හැකි හානිය අවම් කරයි. එසේම ක්‍රීඩාංගනය තුළ පවතින තණකොළ සඳහා හානියක් සිදුවීම අවම කිරීමටත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ මොහොතේ පටන් සැලසුම් දියත් කර ඇත.

මෙම තරඟාවලියෙන් පසුව Lusail හට කුමක් සිදුවේවි ද?

අප විසින් මීට පෙර ඔබ වෙත ගෙන ආ ලිපියක් ඔස්සේ Stadium 974 හි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය පිළිබඳව පාඨක ඔබව දැනුවත් කිරීම සිදුවිය. ඒ පිළිබඳව දැනුවත් වීම සඳහා මෙම සබැඳිය ඔස්සේ ලිපිය කියවන්න.

Lusail ක්‍රීඩාංගනය මෙම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් අනතුරුව මෙම ක්‍රීඩාංගනය ජනතාව සඳහා විවෘතව පැවතීමට තීරණය කර ඇති බව බලධාරීන් දැනුවත් කර ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් මේ පිළිබඳව නිවැරදි තොරතුරක් නොමැති නමුත් බොහෝ දෙනාගේ මතය වන්නේ මෙම ක්‍රීඩාංගනය තරඟාවලියෙන් පසුව ආපනශාලා, අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහා, ක්‍රීඩා කටයුතු සඳහා මෙන්ම සෞඛ්‍ය හා සම්බන්ධ ක්‍රියාවලීන් සඳහා භාවිතා කිරීමට නියමිත බවයි.

එසේම කටාර් හි මෙම ක්‍රීඩාංගන අතරින් කිහිපයක් එළඹෙන 2024 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සූදානම් වන බවටත් මතයන් පළවේ.

FIFA 2022 අවසානය මෙසේ සනිටුහන් වන අතර ඉදිරියේදීත් මෙවැනිම තාක්ෂණය හා සම්බන්ධව දැනුම යාවත්කාලීන කරගැනීම සඳහා අප සමගම රැඳී සිටින්න. එසේම දිනෙන් දින යාවත්කාලීන වන තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග WhatsApp හා Telegram ඔස්සේ සම්බන්ධ වීමට ද ඔබට අවස්ථාව ඇත.

Sources: www.qatar2022.qa www.fosterandpartners.com www.aljazeera.com www.bloomberg.com www.espn.in