Loading...
FIFA 2022 ලෝක කුසලානය හා සම්බන්ධ FIFA Player App ගැන ඔ​බ දැන ගත යුතු ​දෑ

ලොව පුරා මේ වන විට ජනප්‍රියව පවතින FIFA 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම දිනෙන් දිනම වැඩි වීම ඔබට මෙන්ම මා හට ද අත්දැකීමට හැකියාවක් ඇත. එම අවස්ථාවන් සියල්ලම පාහේ නූතන තාක්ෂණය සහ මෙවර ලෝක කුසලානය හා සම්බන්ධ කරමින් පවතින තාක්ෂණයන් භාවිතයෙන් ප්‍රේක්ෂකයන් වෙත ඉතාමත් කාර්යක්ෂමව ලබා දීමට හැකියාව ලැබී ඇත.

Android වැඩකාරයෝ වෙතින් FIFA 2022 ලෝක කුසලානය හා සම්බන්ධ තාක්ෂණික පුවත් ඔබ වෙත ගෙන එන මේ ගමනේ ඊලඟ නැවතුම ලෙස මෙම ලිපිය තුළින් ගෙන එනු ලබන්නේ FIFA Player App සහ Football Data Ecosystem නැතහොත් තරඟයන් අතරතුර ඒ හා සම්බන්ධ දත්ත ලබාගන්නා ආකාරය පිළිබඳවයි.

FIFA Player App පිළිබඳව.

Android සහ iOS යන Platform දෙක තුළම භාවිතා කළ හැකි මෙම FIFA Player යෙදවුම මේ වන විට පරිශීලකයන් විශාල ප්‍රමාණයක් සතුව ඇති යෙදවුමක් බවට පත්වී හමාරය. මන්දයත් මෙම යෙදවුම ඔස්සේ යම් තරඟයක් අවසන් වීමත් සමගම එම තරඟය හා සම්බන්ධ සියලුම තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබීමයි. උදාහරණයක් ලෙස යම් තරඟයක් අවසන් වූ පසු එම තරඟයට සහභාගී වූ එක් එක් ක්‍රීඩකයාගේ දක්ෂතාවය පිළිබඳව තොරතුරු පරිශීලකයන් වෙත ලබාගත හැකිවේ.

FIFPRO හි දායකත්වයෙන් නිර්මාණය වූ මෙම යෙදවුම තුළ පවතින තොරතුරු සියල්ලම වෘත්තීමය මට්ටමේ සිටින පාපන්දු ක්‍රීඩකයන් ගේ දත්ත මත පදනම්ව ගොඩනගා ඇත. එමෙන්ම මෙවර කටාර් පාපන්දු ලෝක කුසලානය තුළදී තරඟය පැවැත්වෙන අතරතුර වුව ද මෙම යෙදවුම හරහා තොරතුරු යාවත්කාලීන කිරීමට බලධාරීන් ක්‍රියා කර ඇත.

FIFA Player App සඳහා දත්ත ලබාගන්නා ආකාරය.

මෙම ක්‍රියාවලිය තුළදී තරඟයක් අතරතුර සිදුවන ක්‍රියාකරකම් නවීන තාක්ෂණය භාවිතා කර පළපුරුදු විශ්ලේෂකයන් මගින් නිරීක්ෂණය කරනු ලබන අතර එලෙස ලබාගන්නා දත්ත රැස් කිරීම ඔවුන් විසින් සිදුකරනු ලබයි. මෙහිදී ඔවුන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ගේ චලනයන් සියල්ලම නිරීක්ෂණය කරනු ලබන අතර පන්දුව පිරිනැමීම, පන්දුව ලබාගැනීම සහ එලෙස පන්දුව ලබාදීමේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් මගින් පන්දුව නැවත ලබාගන්නා අවස්ථා වැනි සියලුම අවස්ථා දත්ත ලෙස ලබාගැනීම සිදුකරයි.

තවද තරඟය අතරතුර ක්‍රීඩකයන් විසින් චලනය වීමේ වේගය සහ ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ක්‍රීඩාංගනය තුළ සවිකර ඇති නවීන කැමරා පද්ධතිය මගින් විවිධ කෝණ ඔස්සේ නිරීක්ෂණය කරනු ලබයි. එලෙස ලබාගන්නා දත්ත ලෙස ක්‍රීඩයයෙකු විසින් ගමන් කරන වේග, ආවරණය කළ දුර ප්‍රමාණය, සැලකිය යුතු වේගයකට වඩා වැඩි වේගයකින් සිදුකළ ක්‍රියාකරකම් ප්‍රමාණය මෙන්ම ක්‍රීඩකයන් විසින් ගමන් කරනු ලබන උපරිම වේගය පවා මෙම දත්ත තුළට ඇතුළත් වේ. එසේම වැදගත් වන්නේ මෙම සියලුම නිරීක්ෂණ සඳහා තාප සංවේදක සහිත කැමරා භාවිතා කර Heat Map ඔස්සේ සටහන් කර ගැනීමයි.

එසේම අප විසින් මින් පෙර ඔබ වෙත ගෙන ආ Semi-Automated තාක්ෂණය සහ Goal Line Technology භාවිතා කර ලබාගන්නා දත්ත පවා මෙම යෙදවුම හරහා පරිශීලකයන් වෙත ලබාගැනීමට හැකියාව උදාවේ.

මෙවැනි යෙදවුමක් හා තාක්ෂණයක් භාවිතා කිරීම මගින් මීට පෙර පැවති සම්ප්‍රදායට ඔබ්බෙන් ක්‍රීඩකයන් සඳහා නව තරඟ රටාවන් අත්හදාබැලීම මෙන්ම ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට ද මහත් සේ උපකාරී වේ.

මෙවැනිම FIFA හා බැඳුණු තවත් තාක්ෂණික කරුණු පිළිබඳව ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින් සිටින්නෙමු. තාක්ෂණික පුවත් සමග යාවත්කාලීන වීම සඳහා අප හා රැඳී සිටින්න.

Sources: www.fifa.com