Loading...
Off-side නිවැරදිව හදුනා ගන්න FIFA world cup 2022 එකට ආ​පු Semi-Automated Offside තාක්ෂණ​ය

FIFA 2022 ලෝක කුසලානයේ ආරම්භය

පසුගිය දිනෙක ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ උත්කර්ශවත්ම සැණකෙළිය වන FIFA 2022 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ විය. කටාර් රාජ්‍ය තුළ ආරම්භ වූ මෙම තරඟාවලිය එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසය තුළ පවති විශිෂ්ටතම තරඟාවලියක් බවට පත් වනු ඇති බවට නොඅනුමානය.

කෙසේ වෙතත් මෙම තරඟාවලිය ලෝකවාසීන් හට සමීප වන්නේ ලෝක කුසලානය පාදක කොටගෙන පමණක් ම නොව ඉන් බාහිරව මෙම තරඟාවලිය සඳහා සූදානම් වූ ආකාරයත් සමගයි. 2010 වසරේ දී සත්කාරකත්වය ලබාගත් කටාර් රාජ්‍ය 2022 වසර වන විට මෙම ලෝක කුසලානය සඳහා ඩොලර් බිලියන 220ක් පමණ ආයෝජනය කිරීම සහ ඒ ආශ්‍රිත වෙනත් ක්ෂේත්‍ර දියුණු වීම් ද දක්නට ලැබුණි. ඒ පිළිබඳව අප විසින් පළ කළ ලිපිය මෙම සබැඳිය ඔස්සේ ඔබ හට ලබාගත හැක.

එමනිසා Android වැඩකාරයෝ අප විසින් මෙම FIFA 2022 තරඟාවලිය හා සම්බන්ධ විවිධ තාක්ෂණික කරුණු රැසක් ඔබ වෙත රැගෙන ඒම සඳහා අදහස් කළෙමු. එහි පළමු දිගහැරුම ලෙස මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත රැගෙන එනු ලබන්නේ මෙම තරඟාවලියේදී භාවිතා කරන Semi-Automated Offside Technology එක පිළිබඳවයි.

පාපන්දු ක්‍රීඩාවේ Off-Side යනු කුමක් ද?

Off-Side යනු පාපන්දු ක්‍රීඩාව තුළ පවතින එක් නීතියක් වන අතර එමගින් අදහස් වන්නේ ' යම් ක්‍රීඩකයෙක් ප්‍රතිවාදී පිළේ Goalkeeper (දැල් රකින්නා) හැර අවසන් ක්‍රීඩකයාගේ පසුපසින් ස්ථානගතවී සිටින විට තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් ලබාදෙන පන්දුවක් ලබා ගතහොත් එය Off-Side ලෙස හඳුන්වනු ලබයි.

Semi-Automated Offside Technology පිළිබඳව

මෙවර FIFA පාපන්දු ලෝක කුසලානය සඳහා එක් කර ඇති මෙම Semi-Automated Offside Technology මගින් විනිසුරුවන් හට ඉතාමත් පහසුවෙන් හා නිරවද්‍යව Offside සිදුවීම නිරීක්ෂණය කිරීමේ හැකියාව උදාවී ඇත. මේ පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න.

ඉහත වීඩියෝවේ සඳහන් වන ආකාරයට එක් එක් ක්‍රීඩකයාගේ චලනය වීමේ දත්ත 29ක් ඔහුගේ ශරීරයේ චලනයන් භාවිතයෙන් ලබාගන්නා අතර මෙය තත්පරයකට 50 වතාවක් (50 times per second) එම ක්‍රීඩකයා තණතීරුවේ සිදුකරන චලිතයන් පිළිබඳව දත්ත රැස්කරනු ලබයි. මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ ක්‍රීඩාංගනයේ වහලයට පහළින් සවිකර ඇති Tracking Cameras 12ක් භාවිතා කරමිනි. මෙලෙස එකතු කරනු ලබන දත්ත වලට සියලුම අත්, පාද සහ වෙනත් චලනයන් අන්තර්ගත වේ.

ක්‍රීඩකයෙකුගේ ශරීර චලනයෙන් දත්ත රැස්කරගන්නා ස්ථාන දැක්වෙන සටහනක්. (මෙමගින් ඔබ හට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවන්නේ ශරීරයේ කිනම් ස්ථාන වලින් එම දත්ත ලබාගන්නේ ද යන්න පිළිබඳවයි)

FIFA 2022 සඳහා යොදාගන්නා පාපන්දුව, "Al Rihla"

මෙවර FIFA 2022 තරඟාවලිය සඳහා ම නිර්මාණය කර ඇති පාපන්දුව "adidas" සමාගම විසින් සිදුකර ඇති අතර එහි විශේෂත්වය වන්නේ Inertial Measurement Unit (IMU) සංවේදකය මෙම පන්දුව තුළ අන්තර්ගත කර ඇති අතර එමගින් මෙම Offside නිරීක්ෂණය කිරීම සඳහා එම තාක්ෂණය මහත් සේ උපකාරී වනු ඇත.

මෙම පන්දුවේ අන්තර්ගත වන සංවේදකයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එම පන්දුවේ සියලුම දත්ත තත්ත්පරයට 500 වරක් වැනි ඉතා ඉහළ වේගයකින් ලබාගැනීමේ හැකියාව පවතී.  එමගින් පන්දුවේ ගමන් මාර්ගය, පන්දුවට පහර දීමේ දී ඇතිවන දත්ත සහ තවත් දත්ත රාශියක් ලබාගත හැක. එමෙන්ම මෙම Offside නිරීක්ෂණය කිරීම සඳහා ද මෙම සංවේදක සහිත පන්දුව මනා ලෙස වැදගත් වේ.

Al Rihla පන්දුව පිළිබඳව අදහස් දක්වමින් එක් කර තිබූ වීඩියෝවක්

මෙම Offside තීරණ ගැනීමේ දී වඩාත් නිරවද්‍ය සහ වේගවත් ප්‍රතිඵලයන් ලබාදීම සඳහා මෙම ක්‍රියාවලිය හා එක් කර ඇති Artificial Intelligence (කෘතිම බුද්ධිය) ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. මෙලෙස ක්‍රීඩා කරන අතරතුර Offside කලාපයට ක්‍රීඩකයන් පැමීණීමත් සමග ලබාගන්නා තොරතුරු සහ පන්දුවේ ගමන් මාර්ගය යන දත්ත පදනම් කර ගනිමින් මෙම ක්‍රියාවලිය සිදුවීම ස්වයංක්‍රීයව සිදුවේ.

එමෙන්ම තිරය මත ලබාදෙන දත්ත වලට අනුව ස්වයංක්‍රීයව ලබාගන්නා Offside රේඛාව මේ හා සම්බන්ධ කිරීමෙන් පිටියේ විනිසුරුවන් තීරණ ලබාගැනීමටත් ප්‍රථමයෙන් Offside Signal නිකුත් කිරීම සඳහා මෙම තාක්ෂණය ඔස්සේ අවස්ථාව උදා වී ඇත.

තවද මෙලෙස Offside ලෙස දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා බලපෑමක් සිදුකල ක්‍රීඩකයන් එම කලාපය තුළ ක්‍රීඩා කිරීම ආදී සියල්ලම ක්‍රීඩාංගනයේ තිරයන් මත පෙන්නුම් කිරීමටත් මෙමගින් හැකියාව උදා වේ.


එලෙස යොදාගන්නා තාක්ෂණික යෙදවුම් මගින් වඩාත් නිරවද්‍ය මෙන්ම වේගවත් තීරණ ලබාගැනීමටත් ප්‍රේක්ෂකයන් හට සහ ක්‍රීඩකයන් යන දෙපාර්ශවයටම නව අත්දැකීමක් මින් ලැබෙන බවත් මාගේ හැඟීමයි. එමනිසා මෙවැනිම තාක්ෂණික පුවත් පෙළගස්මේ ඊලඟ පියවරත් සමග මුණගැසීමට අප සමගම රැඳී සිටින්න.

Sources: usatoday.com manchestereveningnews.co.uk