Loading...
විශ්වයේ අඳුරු රහස් සොයන්න NASA සූදානම් කරන Nancy Grace Roman Space Telescope මෙහෙයුම

NASA විසින් විශ්වය පිළිබඳ අපගේ අවබෝධය තවත් ඉදිරියට ගෙන යාම සඳහා සූදානම් කර ඇති Nancy Grace Roman Space Telescope මෙහෙයුම, අඳුරු පදාර්ථ (Dark Matter), අඳුරු ශක්තිය (Dark Energy) සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක (Exoplanets) පිළිබඳ විශාල පර්යේෂණයක් සිදු කිරීමට නියමිතය.

NASA හි 2026 අගෝස්තු Press Kit අනුව Roman මෙහෙයුම 2026 අගෝස්තු 30 දින Florida හි Kennedy Space Center වෙතින් SpaceX Falcon Heavy රොකට්ටුවක් භාවිතයෙන් දියත් කිරීමට ඉලක්ක කර තිබේ.

Nancy Grace Roman මහත්මිය NASA හි පළමු Chief Astronomer වූ අතර, අභ්‍යවකාශයේ telescope භාවිතයෙන් විශ්වය අධ්‍යයනය කිරීමේ වැඩසටහන් දියුණු කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නාය. Hubble Space Telescope ඇතුළු NASA හි වැඩසටහන් සදහා ඇය වැදගත් මෙහෙවරක් ඉටු කළාය. ඇයට ගෞරවයක් ලෙස මෙම නව telescope එක Nancy Grace Roman Space Telescope ලෙස නම් කර ඇත.

Hubble මෙන් පැහැදිලි, නමුත් අහස තවත් විශාල ප්‍රමාණයකින්

Roman telescope හි ප්‍රධාන උපකරණය වන Wide Field Instrument (WFI) යනු මෙගාපික්සල් මිලියන 300ක අධෝරක්ත කැමරාවකි. එයට Hubble Space Telescope එකට සමාන angular resolution එකක් තිබුණද, එකවර නිරීක්ෂණය කළ හැකි අහසේ ප්‍රදේශය Hubble ට වඩා අවම වශයෙන් 100 ගුණයකින් විශාලය.

ඒ නිසා Roman හි විශේෂත්වය වන්නේ එක් වස්තුවක් ඉතා සමීපව විශාලනය කර බැලීම පමණක් නොව, විශාල අහස් ප්‍රදේශ ඉතා වේගයෙන් සහ පැහැදිලිව සිතියම්ගත කිරීමයි.NASA පවසන පරිදි Roman telescope එක Hubble මෙන්ම ක්‍රියා කරන නමුත්, එහි පුළුල් field of view නිසා වසර පහක කාලයක් තුළ Hubble වසර 30කදී නිරීක්ෂණය කළ අහස් ප්‍රමාණයට වඩා 50 ගුණයකට වැඩි ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.

විශ්වයේ වැඩි කොටස තවමත් අපට නොපෙනෙන්නේ ඇයි?

Roman මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වන්නේ Dark Matter පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමයි.

අපට තරු, ග්‍රහලෝක සහ මන්දාකිණි වැනි දෘශ්‍ය වස්තූන් නිරීක්ෂණය කළ හැකි වුවත්, විශ්වයේ පවතින සමස්ත matter ප්‍රමාණයෙන් පෙනෙන matter එක නියෝජනය කරන්නේ ආසන්න වශයෙන් පහෙන් එකක් පමණි. ඉතිරි කොටස Dark Matter ලෙස හැඳින්වෙන්නේ එය ආලෝකය හරහා සෘජුව දැකිය නොහැකි නමුත් එහි ගුරුත්වාකර්ෂණ බලපෑම් නිරීක්ෂණය කළ හැකි නිසාය.

Roman විසින් දුරස්ථ මන්දාකිණිවල ආලෝකය ගුරුත්වාකර්ෂණය නිසා සුළු වශයෙන් වක්‍රවන ආකාරය නිරීක්ෂණය කරමින් Dark Matter විශ්වය පුරා බෙදී ඇති ආකාරය පිළිබඳ විශාල 3D සිතියමක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

විශ්වය වේගයෙන් ප්‍රසාරණය වන්නේ ඇයි?

Roman මෙහෙයුමේ තවත් ප්‍රධාන ඉලක්කයක් වන්නේ Dark Energy පිළිබඳ අභිරහස විසඳීමට උත්සාහ කිරීමයි.

විශ්වය Big Bang එකෙන් පසුව ප්‍රසාරණය වෙමින් පවතින බව විද්‍යාඥයන් දන්නා අතර, එම ප්‍රසාරණය කාලයත් සමඟ මන්දගාමී වනු ඇතැයි මුලින් සිතා තිබුණි. නමුත් නිරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ විශ්වයේ ප්‍රසාරණය වේගවත් වෙමින් පවතින බවයි. මෙම වේගවත් ප්‍රසාරණයට සම්බන්ධ නොපෙනෙන බලපෑම Dark Energy ලෙස හඳුන්වයි.

NASA අනුව Dark Energy විශ්වයේ සමස්ත අන්තර්ගතයෙන් ආසන්න වශයෙන් 68%ක් නියෝජනය කරන බවට විද්‍යාඥයන් ගණනය කර ඇත. එහෙත් එහි සැබෑ ස්වභාවය තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි නැත.

Roman විසින් supernovae ඇතුළු විවිධ cosmic phenomena නිරීක්ෂණය කරමින් විශ්වය විවිධ යුගවලදී කොතරම් වේගයෙන් ප්‍රසාරණය වී ඇත්දැයි අධ්‍යයනය කිරීමට උපකාරී වනු ඇත.

නව ග්‍රහලෝක 100,000ක් පමණ සොයාගැනීමේ බලාපොරොත්තුව

Roman telescope එකේ තවත් විශාල අරමුණක් වන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පවතින Exoplanets සෙවීමයි.

NASA හි සැලසුම් අනුව Roman විසින් microlensing, transit සහ direct imaging යන ක්‍රම තුනක් භාවිත කරමින් නව exoplanets 100,000ක් පමණ සොයාගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේශයෙන්ම microlensing ක්‍රමය මඟින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවලට සමාන, තම තාරකාවෙන් තරමක් ඈතින් පවතින කුඩා ග්‍රහලෝක සොයාගැනීමට හැකි වේ.

වෙනත් තාරකා වටා ඇති ග්‍රහලෝක ඡායාරූපගත කිරීමේ තාක්ෂණය

Roman සමඟ යවන Coronagraph Instrument එකේ තවත් වැදගත් අරමුණක් වන්නේ වෙනත් තාරකා වටා ඇති ග්‍රහලෝක සෘජුව ඡායාරූපගත කිරීමට අවශ්‍ය නව තාක්ෂණය අභ්‍යවකාශයේදී පරීක්ෂා කිරීමයි.

තාරකාවක අතිශය දීප්තිමත් ආලෝකය අවහිර කරමින්, එය වටා පවතින ග්‍රහලෝකවලින් පරාවර්තනය වන ඉතා දුර්වල ආලෝකය හඳුනාගැනීම මෙහි අරමුණයි. මෙම තාක්ෂණය අනාගතයේදී පෘථිවියට සමාන ග්‍රහලෝක සෘජුව ඡායාරූපගත කිරීමට හැකි telescope නිර්මාණය කිරීම සඳහා වැදගත් පියවරක් විය හැකිය.

Roman සහ James Webb එකට වැඩ කරන්නේ කොහොමද?

Roman Space Telescope එක James Webb Space Telescope (JWST) වෙනුවට පැමිණෙන telescope එකක් නොවේ. Telescope දෙක එකිනෙකට අනුපූරක ලෙස භාවිත කිරීමට හැකි වනු ඇත.

සරලව කිවහොත්, Roman telescope එක විශ්වයේ විශාල පරාසයක panoramic view එකක් ලබාදීමට කටයුතු කරන අතර, Webb telescope එක එම විශාල ප්‍රදේශයෙන් හඳුනාගන්නා විශේෂ වස්තූන් වඩාත් විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට භාවිත කළ හැකිය.

පෘථිවියෙන් මිලියන 1ක් සැතපුම් ඈතට

දියත් කිරීමෙන් පසු Roman telescope එක පෘථිවියේ සිට ආසන්න වශයෙන් මිලියන 1ක් සැතපුම් (කිලෝමීටර් මිලියන 1.5ක් පමණ) දුරින් පිහිටි Sun-Earth L2 Lagrange Point ආසන්නයේ කක්ෂගත කිරීමට නියමිතය.

James Webb Space Telescope එකද මෙම ප්‍රදේශයේම කක්ෂගත වී තිබේ. L2 ප්‍රදේශය මඟින් telescope එකට ස්ථාවර නිරීක්ෂණ පරිසරයක් සහ අහසේ විශාල ප්‍රදේශයකට බාධාවකින් තොරව නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබාදෙයි.

දිනකට 1.4 TB දත්ත

Roman මෙහෙයුමේ විශාලතම අභියෝගයක් වන්නේ එය නිර්මාණය කරන අතිවිශාල දත්ත ප්‍රමාණයයි.

NASA අනුව telescope එකෙන් දිනකට ආසන්න වශයෙන් 1.4 terabytes raw science data පෘථිවියට යැවීමට නියමිත අතර, වසර පහක ප්‍රධාන මෙහෙයුම් කාලය අවසන් වන විට processed data ප්‍රමාණය 20 petabytes පමණ විය හැකිය.

විශේෂත්වයක් වන්නේ Roman විසින් ලබාගන්නා විද්‍යාත්මක දත්ත සැකසීමෙන් පසු විද්‍යාඥයන්ට පොදුවේ ලබාදීමට NASA සැලසුම් කර තිබීමයි. ඒ හරහා ලොව පුරා පර්යේෂකයන්ට එකම දත්ත භාවිත කරමින් විවිධ විද්‍යාත්මක ප්‍රශ්න අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

වසර පහක මෙහෙයුමක්

Roman හි ප්‍රධාන මෙහෙයුම් කාලය වසර පහක් ලෙස සැලසුම් කර ඇති අතර, තවත් වසර පහක extended mission එකකට සහාය වීමට telescope එක නිර්මාණය කර ඇත.

දියත් කිරීමෙන් පසු telescope එක වහාම විද්‍යාත්මක නිරීක්ෂණ ආරම්භ නොකරන අතර, එහි උපකරණ deploy කිරීම, calibrate කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා දින 90ක පමණ commissioning කාලයක් අවශ්‍ය වේ. NASA කණ්ඩායම Roman හි නව images 2027 මුල් භාගය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරයි.

විශ්වය පිළිබඳ නව පරිච්ඡේදයක්

Nancy Grace Roman Space Telescope මෙහෙයුමේ වැදගත්කම පවතින්නේ තවත් අභ්‍යවකාශ ඡායාරූප ලබාගැනීම තුළ පමණක් නොවේ. Dark Matter සහ Dark Energy වැනි විශ්වයේ විශාලතම අභිරහස් දෙක පිළිබඳ සාක්ෂි සෙවීමත්, අපගේ මන්දාකිණියේ සහ ඉන් ඔබ්බෙහි ඇති ග්‍රහලෝක විශාල සංඛ්‍යාවක් සොයාගැනීමත් එහි ප්‍රධාන අරමුණු වේ.

එමෙන්ම Roman විසින් ලබාදෙන විශාල දත්ත ප්‍රමාණය මඟින් අද අප නොදන්නා විශ්වීය phenomena පවා අනාගතයේදී හඳුනාගැනීමට හැකි විය හැකිය. NASA සඳහන් කරන පරිදි, මෙම මෙහෙයුම මඟින් දැනට අප නොසිතූ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට පවා නව අවස්ථා විවෘත වනු ඇත.

Source: science.nasa.gov