Loading...
ශ්‍රී ලංකාව තුළ AI සඳහා Data Centres පිහිටුවීමේ මූලික පියවර තබයි

ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් වර්ධනය වන තාක්ෂණික ප්‍රවණතා සමඟ අත්වැල් බැඳගනිමින්, දේශීය මෙන්ම කලාපීය ඉල්ලුම සපුරාලිය හැකි මට්ටමේ AI සඳහා Data Centres ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇත. මෙමගින් රටට අලුතින් විදේශ විනිමය උපයාගත හැකි ප්‍රධාන මාර්ගයක් නිර්මාණය කරගැනීම රජයේ මූලික අරමුණක් වී තිබේ.

ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෑතකදී අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ ජාතික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා මෙම කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් (Procurement processes) මේ වන විටත් සක්‍රීයව සිදුවෙමින් පවතින බවයි.

කලාපීය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව පෙරට

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි, මෙම ව්‍යාපෘතිය හුදෙක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අවශ්‍යතා පියවා ගැනීමට පමණක් සීමා නොවේ. ඉන් ඔබ්බට යමින් සමස්ත දකුණු ආසියාතික කලාපයටම අවශ්‍ය AI දත්ත සේවා සැපයිය හැකි ප්‍රජාවක් සහ Ecosystem එකක් මෙරට තුළ ගොඩනැගීම මෙහි ප්‍රධානතම ඉලක්කයකි.

ලෝකය පුරා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතය ඉහළ යාමත් සමඟ, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්වලට පවතින ගෝලීය ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී. මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගනිමින්, කලාපීය මට්ටමේ AI සේවා සපයන කේන්ද්‍රස්ථානයක් (Regional Hub) ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ස්ථානගත කිරීමට හැකි වනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.

හරිත බලශක්තිය සහ තිරසාර යටිතල පහසුකම්

විශේෂයෙන්ම මෙවැනි දත්ත මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී අධික විදුලි පිරිවැයක් සහ කාබන් විමෝචනයක් සිදු වන බැවින්, ලෝකයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් මේ වන විට Green Data Centres කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. එහිදී ශ්‍රී ලංකාව සතු සුවිශේෂී දේශගුණික තත්ත්වයන් සහ පුනර්ජනනීය බලශක්ති (Renewable energy) විභවය ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමට විශාල රුකුලක් වනු ඇත.

"අපේ රට පුනර්ජනනීය බලශක්තිය අතින් ඉහළ විභවයක් තියෙන රටක්. මේ වාසිය පාවිච්චි කරලා, පරිසරයට මුදාහරින කාබන් විමෝචනය අවම කරන, පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වෙන තිරසාර AI දත්ත මධ්‍යස්ථාන පද්ධතියක් අපිට හදන්න පුළුවන්. ඒක අනෙක් රටවලටත් කදිම ආදර්ශයක් වේවි," යැයි නියෝජ්‍ය අමාත්‍ය වීරරත්න මහතා අවධාරණය කළේය.

තාක්ෂණය උපයෝගී කරගැනීම පමණක් රටක සංවර්ධනයට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව AI තාක්ෂණය හුදෙක් පරිහරණය කරන රටක් පමණක් නොකර, එම තාක්ෂණයන් අලුතින්ම නිර්මාණය කරන දක්ෂ ශ්‍රම බලකායක් බිහිකිරීමේ වැදගත්කම අවධාරණය කරයි. මේ සඳහා අවශ්‍ය නව නිපුණතා සංවර්ධන වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ.

ජාතික ස්වෛරීභාවය සහ දේශීය LLM

රටක සංස්කෘතික සහ සමාජීය අනන්‍යතාවය රැකගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේදී ස්වාධීන වීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම්, සමාජීය පසුබිම මෙන්ම සිංහල සහ දෙමළ භාෂාවන්ගේ අනන්‍යතාවයන් නිවැරදිව නිරූපණය වන පරිදි, ශ්‍රී ලංකාවටම ආවේණික වූ Large Language Model - LLM සංවර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව වැනි රටක ජාතික ස්වෛරීභාවය, අපගේ ශිෂ්ටාචාරය සහ අනන්‍යතාවය අනාගත ඩිජිටල් ලෝකය තුළත් සුරක්ෂිතව ඉදිරියට ගෙන යාමට නම්, අපේම සංස්කෘතියට ගැළපෙන මෙවැනි AI තාක්ෂණයන් පාලනය සහ මෙහෙයවීම අප සතු විය යුතු බව සිහිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම අවසන් කළේය.

Source: www.newswire.lk