Loading...
2027දී iPhone 18 Pro මාදිලිවලට Full 5G Satellite Internet පහසුකම ලැබෙන බවට තොරතුරු වාර්තා වේ

ජංගම දුරකථන සන්නිවේදනයේ විශාල තාක්ෂණික පෙරළියකට Apple සමාගම සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. ඒ 2026 වසරේදී Apple සමාගම විසින් නිකුත් කිරීමට නියමිත නවතම iPhone මාදිලි සඳහා Full 5G Satellite Internet පහසුකම ලබා දීමට Apple සමාගම සුඳානම් වන බවට තොරතුරැ වාර්තා වීමත් සමඟයි.

මෙමඟින් සිදුවන්නේ, භූමියේ පිහිටි Cell Towers හෝ වෙනත් සන්නිවේදන මධ්‍යස්ථාන මත යැපීමකින් තොරව, කෙළින්ම අභ්‍යවකාශයේ Satellite ජාලයක් හරහා iPhone දුරකථනයට පූර්ණ අන්තර්ජාල ප්‍රවේශයක් ලබා ගැනීමට හැකිවීමයි. මෙය යථාර්ථයක් බවට පත් වුවහොත්, ලෝකයේ කිසිදු ප්‍රදේශයක් Dead Zone ලෙස ඉතිරි නොවන යුගයක් උදා වනු ඇත.

වර්තමානයේදී, iPhone 14 මාදිලියේ සිට නවතම iPhone මාදිලිවලට Satellite තාක්ෂණය එක් කර ඇතත්, එය ඉතා සීමිත අරමුණු සඳහා පමණක් ක්‍රියාත්මක වනවා. මෙම "Emergency SOS via Satellite" ලෙස හඳුන්වනු ලබන අතර, එය භාවිතා වන්නේ:

  1. හදිසි අවස්ථා සඳහා වූ පණිවුඩ යැවීමට (Emergency SOS): ජංගම දුරකථන සංඥා නොමැති ප්‍රදේශවල සිරවී සිටින විට හදිසි සේවා වෙත කෙටි පණිවුඩ යැවීම.
  2. Find My සහ Messages: iPhone දුරකථනය අහිමි වූ විට සොයා ගැනීමට සහ කෙටි, සීමිත පණිවුඩ යෙදුම් භාවිතය සඳහා පමණි.
  3. මාර්ග ආධාර සේවා (Roadside Assistance): ඇතැම් රටවල හදිසි මාර්ග ආධාර ඉල්ලීම් සඳහාද මෙම සේවාව යොදා ගැනේ.

කෙසේ වෙතත්, මෙම සීමිත පහසුකම් පවා නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම්, පරිශීලකයාට අහස හොඳින් පෙනෙන ස්ථානයක සිටීමට සිදු වනවා

Image Source - stuff.tv

නවතම වාර්තාවලට අනුව, Apple සමාගම විසින් මෙම සීමාවන් ඉක්මවා ගොස්, සාම්ප්‍රදායික Wi-Fi හෝ Cellular ජාලයකින් ලැබෙන අන්තර්ජාල ප්‍රවේශයට සමාන පූර්ණ 5G අන්තර්ජාල ප්‍රවේශයක් Satellite හරහා කෙළින්ම iPhone වෙත ලබා දීමට සුඳානම් වන බව දක්වන්න පුලුවන්.

Full Satellite Internet Support ලැබෙන මුල්ම iPhone මාදිලි ලෙස iPhone 18 Pro සහ iPhone 18 Pro Max මාදිලි බලාපොරොත්තු විය හැකි අතර, දීර්ඝ කාලයක් තිස්සේ කටකතා පැතිරෙන ඇපල් සමාගමේ Foldable iPhone එළිදැක්වීම 2026 වසරේදී සිදුවුවහොත්, එම මාදිලියද මෙම සුවිශේෂී 5G Satellite පහසුකමින් සමන්විත වීමට ඉඩ පවතිනවා.

වර්තමානයේදී Apple සිය සීමිත Emergency SOS සේවාව සඳහා Globalstar සමාගම සමඟ එක්ව කටයුතු කරනු ලබන නමුත් Full 5G Satellite Internet සේවාවක් ලබා දීම සඳහා ලොව පුරා වඩාත් ප්‍රබල ජාලයක් හිමි සමාගම වන්නේ Elon Musk සතු SpaceX සමාගමේ Starlink ජාලයයි. ඒ අනුව බොහෝ විට මෙය සත්‍ය වුවහොත් නිසක වශයෙන්ම Apple සමාගම SpaceX සමඟ මෙම පහසුකම ලබා දෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

Source: www.macrumors.com