Loading...
ලෝකයම පුබුදු කරන Inspiration4

නාසා ආයතනය Commercial Crew වැඩසටහන ආරම්භ කරන්නේ ඒ පෞද්ගලික සමාගම් මුල් කාලයේ නාසා ආයතනයේ මුදල් හා දැනුම මත පදනම්ව සංවර්ධනය වී පසුව පෘථිවි කක්ෂයේ ස්වාධීන වාණිජ මෙහෙයුම් සිදු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන්ය. ඒ අනුව සංවර්ධනය කරන ලද SpaceX සමාගමේ Crew Dragon යානය මේ වන විට භාවිතයට එක්ව ඇති අතර Boeing සමාගමේ Starliner යානය මේ වසරේ පරීක්ෂණ මෙහෙයුම් අවසන් කර සාමාන්‍ය මෙහෙයුම්වලට යොදා ගැනීමට නියමිත වේ.

මේ වන විට සිදු කරන නාසා ආයතනයේ මෙහෙයුම්වලට අමතරව තමන්ගේ පළමු වාණිජ මෙහෙයුම සැප්තැම්බර් මස සිදු කිරීමට SpaceX සමාගම තීරණය කර ඇත. Inspiration4 නමින් හඳුන්වන මේ මෙහෙයුම හේතු ගණනාවක් නිසා වැදගත් වේ. අභ්‍යවකාශ වැඩසටහන්වල ආරම්භයේදී ගගනගාමීන් යනු දක්ෂ හමුදා ගුවන් නියමුන්ට වෙන් වූ රැකියාවක් විය. පසුව එයට සිවිල් ගුවන් නියමුවන් එක් වූ අතර වර්තමානයේදී ගගනගාමීන් යනු විද්‍යා අංශයේ ඉහළට ඉගෙන ගත් පුද්ගලයින් බහුතරයක් සුදුසුකම් ලබන රැකියාවක් වී ඇත.

කෙසේ නමුත් 21 වන සියවසේ ආරම්භයේ සිට ධනවත් පුද්ගලයින් මුදල් ගෙවා අභ්‍යවකාශයට ගමන් කරන අයුරු දැක ගැනීමට හැකි විය. නමුත් මේ සෑම මෙහෙයුමකම මුදල් ගෙවා යන සචාරකයා සමඟින් පළපුරුදු ගගනගාමීන් සහභාගී විය. 2021 වර්ෂයේදී අභ්‍යවකාශයට මුදල් ගෙවා ගමන් කළ හැකි, සංචාරකයින් පමණක් ගමන් ගන්නා අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ වූවත් ඒවා පෘථිවි කක්ෂයට ගමන් කරන්නේ නැත. මේ තත්වය වෙනස් කරමින් වෘත්තිමය වශයෙන් ගගනගාමීන් නොවන සිවිල් පුරවැසියන්ගෙන් පමණක් සැදුම් ලත් පළමු කක්ෂීය මෙහෙයුම Inspiration4 මෙහෙයුම වේ.

Jared Isaacman

මේ මෙහෙයුමේ ප්‍රධානියා වන්නේ තාක්ෂණික ව්‍යවසායකයෙක් හා වාර්තා පිහිටවූ ගුවන් නියමුවෙක් වන Jared Isaacman ය. ඔහු විසින් මේ මෙහෙයුම හරහා St. Jude ළමා රෝහලට ආධාර සෙවීමට බලාපොරොත්තු වන අතර Crew Dragon යානයේ ආසන 4 ටම මුදල් ගෙවන්නේ ඔහු විසින්මයි. එනම් ඔහුට අමතරව ගමන් ගන්නා ඉතිරි ගගනගාමීන් තිදෙනාටම මේ අභ්‍යවකාශ චාරිකාව නොමිලේ ලැබේ. මේ වාසනාවන්ත තිදෙනා තෝරා ගන්නා ආකාරය Jared විසින් පවසන ලදී.

Jared Isaacman

Hayley Arceneaux

එක් ආසනයක් හිමි වන්නේ St. Jude රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවිකාවකටයි. සෞඛ්‍ය අංශය සිදු කරන සේවයට උපහාරයක් වශයෙන් මෙය සිදු කරන අතර ඒ වාසනාව හිමි වන තැනැත්තා පෙබරවාරි 22 වනදා හඳුන්වා දෙන ලදී. ඒ අස්ථි පිළිකාවකින් සුව වී වර්තමානයේ St. Jude ළමා රෝහලේ වෛද්‍ය සහායිකාවක් ලෙස කටයුතු කරන 29 හැවිරිදි Hayley Arceneaux ය. ඇය පෘථිවි කක්ෂයට ගමන් ගන්නා ලාබාලතම ඇමරිකානු ජාතිකයා වනු ඇත.

Hayley Arceneaux

Chris Sembroski

තවත් ආසනයක් හිමි වන්නේ දානපතියෙක්ටයි. ඔහු හෝ ඇය විසින් St. Jude රෝහලට සිදු කර ඇති පරිත්‍යාග අනුව එම පුද්ගලයාව තෝරා ගැනීම සිදු වූ අතර ඒ පුද්ගලයාව මාර්තු 30 වනදා හඳුන්වා දෙන ලදී. ඒ ආසනය හිමිවී ඇත්තේ ඇමරිකා ගුවන් හමුදාවේ Minuteman මිසයිල වැඩසටහනේ සේවය කළ Lockheed Martin සමාගමේ සේවකයෙක් වූ Chris Sembroski ටයි.

Chris Sembroski

Sian Proctor

අවසන් ආසනය හිමි වන්නේ Jared ගේ Shift4 නම් සමාගමේ Shift4Shop අන්තර්ජාල මූල්‍ය සේවාව භාවිතා කරන ව්‍යවසායකයෙක්ටයි. ඒ පුද්ගලයාවත් මාර්තු 30 වනදා හඳුන්වාදුන් අතර ඒ විද්‍යාඥයෙක් මෙන්ම නාසා ආයතනයේ 2009 ගගනගාමී තෝරාගැනීමේ ක්‍රියාවලියේ අවසානයටම ළඟා වූ කාන්තාවක් වන Sian Proctor ය.

Dr. Sian Proctor

තෝරා ගැනීමේ සිට සිව්දෙනාම මෙහෙයුම සඳහා පුහුණු වීම් සිදු කළ අතර තවත් මාසයකටත් අඩු කාලයකින් දියත් කිරීමට නියමිත නිසා සියලු දෙනා මේ වන විට ඉතාම කැප වීමෙන් මෙහෙයුම සඳහා සූදානම් වෙමින් පවතී. එක් අයෙක්වත් වෘත්තීමය ගගනගාමීන් නොවන නිසා ඔවුන්ට පුහුණු වීමට බොහෝ දේ ඇත.

Inspiration4 මෙහෙයුම 2009 මැයි මස STS-125 ෂටල මෙහෙයුමෙන් පසු කුමන හෝ අභ්‍යවකාශ නැවතුම්පළක් සමඟ සම්බන්ධ නොවන පළමු කක්ෂීය මෙහෙයුම වේ. ⁣එමෙන්ම මෙය 1981 දෙසැම්බර් මස STS-2 මෙහෙයුමෙන් පසු මීට පෙර එක් වරක්වත් අභ්‍යවකාශයට ගමන් කළ ගගනගාමියෙක් නොමැති, නවක පුද්ගලයින් පමණක් ගමන් ගන්නා පළමු ඇමරිකානු කක්ෂීය මෙහෙයුමයි. Inspiration4 මෙ⁣හෙයුම සැප්තැම්බර් 15 වනදා Falcon 9 Block 5 රොකට්ටුවකින් දියත් කෙරෙන අතර දියත් කිරීම සිදු කරන්නේ නාසා ආයතනයේ කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ LC-39A දියත් පුවරුවෙනි. මේ මෙහෙයුමට යොදා ගන්නා පළමු අදියර වන්නේ B1062-3 බූස්ටරයයි.

ගගනගාමීන් තමන්ව ගෙන යන B1062 බූස්ටරයේ ඇති දැලි මත තමන්ගේ අත්සන් තැබීම

ගගනගාමීන් ගමන් ගන්නා යානය Crew Dragon C207-2 "Resilience" වන අතර මොවුන් කිලෝමීටර් 550 ක් ඉහළ කක්ෂයක දින 3 ක් පුරා ගමන් කරනු ඇත. යානය නැවතුම්පළකට සම්බන්ධ නොකරන නිසා යානයේ ඉදිරිපස ඇති සම්බන්ධක පද්ධතිය (Docking System) ගලවා ඇති අතර ඒ වෙනුවට විශාල අර්ධ ගෝලාකාර වීදුරු කවුළුවක් මෙහි සවි වනු ඇත. Cupola නමින් හඳුන්වන මෙය අභ්‍යවකාශයට ගෙන යන විශාලතම කවුළුව වේ.

මේ මෙහෙයුම සදහා Jared විසින් කොපමණ මුදලක් SpaceX සමාගමට ගෙවනවාද යන්න අනාවරණය කර නැත. කෙසේ නමුත් මේ මෙහෙයුම හරහා St. Jude රෝහලට ඩොලර් මිලියන 200 ක පමණ අරමුදලක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන අතර මේ අභ්‍යවකාශ මෙහෙයුම සදහා වැය කරන ප්‍රමාණය ඒ මුදලට වඩා අඩු බව ප්‍රකාශ කර ඇත. Crew Dragon යානයේ ආසනයක මිල ඩොලර් මිලියන 55 ක් වූවත් දින 3 ක් පමණක් නිසා මේ මෙහෙයුමේ වියදම එයට අඩු බව පැහැදිලි වේ.

ගුවන් නියමුවෙකු වන 37 හැවිරිදි Jared Isaacman පැවසුවේ අභ්‍යවකාශයට ගමන් කිරීම යනු ඔහුගේ ළමා කාලයේ සිහිනයක් බවයි. “මට මතකයි මගේ පෙර පාසල් ගුරුවරයාට යම් දවසක මම අභ්‍යවකාශයට යන බව පැවසුවා” ඔහු සිහිපත් කළේය. මේ සම්බන්ධව අදහස් පළ කළ Elon Musk පැවසුයේ ඔහුත් දවසක අභ්‍යවකාශයට යාමට කැමැත්තෙන් පසු වන නමුත් නුදුරේ නම් එය සිදු නොවන බවයි. මේ මෙහෙයුම පිළිබදව Netflix සමාගම හා Time සගරාව එක් වී Countdown: Inspiration4 Mission to Space නම් Netflix වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නියමිත වේ.