Loading...
Gamersලාගේ ලැප්ටොප් මහගෙදර, MSI වෙතින් ශ්‍රී ලංකාවේදී එළිදැක්වුනු නවතම Gaming Laptop එක, MSI Katana GF66 12U; Review

මේ වෙනකොට ලෝකය පුරාවටම උන්මාදයක් වගේ පැතිරගෙන යන දෙයක් තමයි පරිගණක ක්‍රීඩා කියන්නේ. මේ පරිගණක ක්‍රීඩා වලට මේ වන විශාල තරුණ තරුණියන් පිරිසක් පෙළඹෙමින් සිටින්නේ තමන් ක්‍රීඩා කරන පරිගණක ක්‍රිඩාවන් online stream කිරීම හරහා පහසුවෙන් විශාල මුදලක් ඉපයීමේ හැකියාව නිසාවෙනි. මේ සඳහා ඔවුන් පරිගණක ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම සඳහාම විශේෂිත වූ පරිගණක නිර්මාණය කරගැනීමේ නියැලී සිටිනවා.

ඒ අතරතුරේදී එයිනුත් පිරිසක් වෙනමම පරිගණකයක් නිර්මාණය කිරීම, එහෙමත් නැත්තම් Gaming PC එකක් build කිරීම වෙනුවට පරිගණක ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම සඳහාම නිර්මාණය කෙරුනු ලැප්ටොප් පරිගණකයන්, එසේත් නැති නම් Gaming Laptops මිලදී ගැනීමට පෙළඹී සිටින්නේ Gaming PC එකක් build කරනවා වෙනුවට අඩු මුදලක් වැය කරමින් Gaming Laptop පරිගණකයක් මිලදී ගැනීමට ඇති හැකියාව නිසාවෙනි.

මීට පෙරදී ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට පෙර අප විසින් සලකා බැලිය යුතු කරුණු සහ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී එම ලැප්ටොප් පරිගණකය සතුව තිබිය යුතු ගුණාංගයන් පිළිබඳව ලිපි ද්විත්වයකින් ඔබට කරුණු ගෙන ආවා මතක ඇති. ඉහත ඇති සබැදියන්ගෙන් ඔබට එම ලිපි වෙත පිවිසිය හැකියි.

Gaming Laptop එකක් කියන්නේ Gaming PC එකකට ආසන්න වශයෙන්ම බලය ලබා දෙන පරිගණක විශේෂයකි. සාමා​න්‍ය ලැප්ටොප් පරිගණකයකට වඩා Gaming Laptop එකක ඇති වේගවත් බව සහ එහි ඇති අනෙකුත් බලවත් උපාංග හේතුවෙ​​න් ඉක්මනි​න් සහ පහසුවෙ​න් තම වැඩකටයුතු කරගැනීමට ඇති හැකියා​ව හේතුවෙන් මේ වන විට Gamersලාට අමතරව විවිධ ක්ෂේස්ත්‍රයන්ගේ නියැලී සිටින විශාල පිරිසක් Gaming Laptop මිලදී ගැනීම සඳහා පෙළඹී සිටින්නේ, ඒවා​ගේ වේගවත් බවත්, තැනින් තැනට පහසුවෙන් රැගෙන යාමේ හැකියාව සහ වැඩි වේලාවක් බැටරි බලයෙන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව නිසාවෙනි.

Software engineerවරුන්, graphic design ශිලිපීන්, video editorsලා වැනි වෘත්තිකයන් මේ වන විට බහුලව Gaming Laptop පරිගණක භාවිතා කිරීමට පෙළඹී සිටිනවා. ඒ සඳහා වඩාත්ම බලපාන ලද කාරණාව වී ඇත්තේ Gaming Laptops වල ඇති බහුකාර්ය හැකියාවට ඇ​ති හේතුව නිසා ලෙහෙසියකට හිරනොවී, කල් නොයවා වඩාත් පහසුවෙන් තම කාර්යයන් කරගැනීමට හැකිවීමයි. ඒ වගේම Gaming Laptop සඳහා ලබා දී ඇති මනා heat management system එක හේතුවෙන් ඉතාමත් බර වැඩි ක්‍රියාවකදී වුව​ද එම පරිගණකයන් වල ඇති කාර්යසාධනය (performances) ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් එම කටයුතු සිදු කරගැනීමට ඇති හැකියාවයි.

විශේෂයෙන්ම Android Studio, Photoshop, Illustrator වැනි බහුකාර්ය මෘදුකාංගයන් භාවිතා කරමින් නිර්මාණකරණයේ යෙදෙන අය විසින් මෙවැනි Gaming laptop මිලදී ගැනීමට බහුල පෙලඹී සිටිනවා.

අපි අද ඔයාලට අරගෙන එන්න යන්නේ ලෝකයේ පෙරලිකාර Gaming පරිගණක නිපදවන ආයතනයක් වන MSI, එහෙමත් නැත්ත​ම් Micro-Star INT'L CO., LTD ආයතනය විසින් මෑතකදී ශ්‍රී ලංකාව තුල එලිදක්වනු ලැබූ Intel i7 12th Gen Processor එකකින් බලගැන්වෙ​න MSI Katana GF66 මාදිලියේ නවතම Gaming laptop එක පිළිබඳවයි.

බාහිර පෙනු​ම

අපි ඕනම දෙයක් ගන්න ගියාම සලකා බලන ප්‍රධානතම කාරණාවක් වන්නේ එහි බාහිර පෙනුම. ඒක නිසා මුලින්ම අපි අවධානය යොමු ක​රේ මේ laptop එකේ බාහිර පෙනුම සහ එහි build quality එක පිළිබඳවයි. Katana GF66 laptop එක නිමවා තිබෙන්නේ කලුපැහැති ප්ලාස්ටික් වලින් වන අතර අඟල් 15.6ක තිරයකින් යුක්ත වන​වා. තරමක් විශාල හැඩයකින් යුක්තව නිමවා තිබෙන මෙම laptop පරිගණකය කිලෝග්‍රෑම් 2.25ක බරකින් යුක්ත වනවා.

Heat Management

සාමාන්‍යෙන් Gaming device එකක් කියන්නේ සෑහෙන්න heat එකක් එන device එකක්. ඉතිං අපි gaming Pc එකක් build කරත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන කාරණාවක් වෙන්නේ build එකේ ventilations ගැන. ඒ සඳහා අපි තරමක් විශාල casing එකක් සහ වැඩිදියුණු කල cooling system එකක් භාවිතා කරනු ලබනවා. නමුත් laptop එකකට, gaming console එකකට වගේ එනකොට අපිට ඒ වගේ customize කරපු cooling system එක භාවිතා කරන්න නම් ලැබෙන්නේ නෑ. නමුත් Gaming laptops නිර්මාණය කරන සමාගම් විසින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නේ heat management එක සඳහා වඩාත් වැඩිදියුණු කරපු heat management system එකක් ලබා දීම සඳහායි.

MSI Kata GF66 laptop එක සඳහා MSI ආයතනය විසින් Cooler booster 5 තාක්ෂණය උපයෝගී කරගෙන තියෙන්නේ වඩාත් කාර්යක්ෂමව heat management එක සිදු කර ගැනීම සඳහායි. මේ සඳහා ඔවුන් විසින් තඹ වලින් නිමැවූ heat pipes 6ක් භාවිතා කර තිබෙනවා. අනෙකුත් gaming laptop වලට වඩා මෙහිදී heat pips දෙකක් වැඩියෙන් භාවිතා කිරීමට MSI ආයතනය කටයුතු කර තිබෙන අතර, සිහින් බවින් අඩු heat pipes භාවිතා කිරීම නිසා ඉතාමත් ඉක්මනින් තාපය අවශෝෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ ආකාරයට heat pipes හරහා අවශෝෂණය කරගනු ලබන තාපය පිට කිරීම සඳහා fans දෙකක් භාවිතා කර තිබෙනවා. එහි වේගය පාලනය කිරීමේ හැකියාවද පවතිනවා.

පොඩ්ඩක් හෝව්... ඇයි මේ අන්තිම ටික මුලින්?

දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඇති ඇයි මේ review එකක මුලින්ම මේ laptop එකේ performance ගැන කියන්නේ නැතුව laptop එක නිමවා ඇති ආකාරය සහ එහි heat management system එක ගැන කිව්වේ කියල. කොච්චර performances තිබුණත් gaming laptop විශාල වශයෙන් අසමත් වන ප්‍රධානතම කාරණා දෙක තමයි heat management ස​හ ඒවා නිමවා ඇති ආකාරය, එහි බර, එහි හැඩය, එහි කල්පැවැත්​ම යන කාරණාවන්. බොහෝ දෙනා gaming laptops මිලදී ගැනීමේදී මේ කාරණා වලට වඩා වැඩියෙන් අවධානය යොමු කරන්නේ performances වලට පමණක් වීම නිසා ඔවුන්ගේ මුදල් නිරපරාදේ නාස්ති වීමට ලක්වන්නේ කාලයක් යාමේදී එම laptop වල performances throttle වීමට ලක්වීමත් සමඟයි. අපි එහෙනම් දැන් බලමු MSI GF66 12UD එකේ අනිත් කාරණාවන් ගැන.

තිර​ය

මේ laptop එකට අපිට ලැබෙන්නේ අඟල් 15.6ක IPS මට්ට​මේ FHD, එහෙමත් නැත්තම් Full HD display එකක්. මේ display එක මිලි මීටර් 5ක් තරම් සිහින් දාරයකින් ආවරණය වී තිබෙනවා. ඒ කිව්වේ display bezels වල ප්‍රමාණය 5mm වගේ කුඩා අගයක් තමයි ගන්නේ. ඒ වගෙම screen-to-body ratio එක ගත්තොත් 81%-85% අතර පවතින design එකකින් තමයි මේ display එක අපිට දක්නට ලැබෙන්නේ.

Gamersලා විශේෂයෙන්ම තිරය සම්බන්ධයෙන් සලකා බලන ප්‍රධානතම කාරණාව වන්නේ ඒ display එකේ refresh rate එක. මේ laptop එක සතුව 144Hz වැනි විශාල අගයක් ගන්නා තිරයක් තමයි තියෙන්නේ. ඒ හරහා වඩා සුපට සහ සුපැහැදිලි දසුන් ලබා දීමට MSI ආයතනය කටයුතු කර තිබෙනවා.

යතුරු පුවරුව

MSI ආයතනය විසින් මේ laptop එක සඳහා Num-pad එකකින් යුතු යතුරුපුරුවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම මේ යතුරු පුවරුව backlit මාදිලියේ යතුරුපුවරුවක් වන අත​ර මෙහිදී අපට backlit එක වශයෙන් දක්නට ලැබෙන්නේ රතු පැහැය පමණක් වන අතර වෙනත් වර්ණයන් සඳහා මාරු කිරීමේ හැකියාවක් නම් ලබා දී නෑ. ඒ වගේම එය off කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

ESC සහ F1-F12 යතුරු පේළිය ලබා දී ඇති අතර, Fan speed පාලන යතුරු ද එහි Fn keys ලෙස යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් ලැප්ටොප්වල Fn key එක ඇත්තේ වම් අත පැත්තෙන් වුවත් මෙහි සාමාන්‍ය ස්ථානයෙන් තොර​ව කීබෝඩ් එකේ දකුණු පස කෙළවර Home, Page Up/Down බොත්තම් සමඟි​න් Fn key එක ස්ථාන ගත කර තිබෙනවා. ඒ අනුව වම් අ​ත පැත්තේ ඇති Ctrl key එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ හරහා ඉතාමත් හොඳ gaming අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

GPU එ​ක

මේ වෙනකොට Gamersලා processor එකටත් ව​ඩා ප්‍රධාන වශයෙන්ම සලකා බලන දෙයක් තමයි තමන් භාවිතා කිරීමට සැරසෙන GPU එක මොකක්ද කියල. Intel Core i7 12th Gen processor එකකින් බල ගැන්වෙන මෙම laptop එක සතුව Display VGA සහ Render GPU ලෙසින් GPU දෙකක් දක්නට ලැබෙනවා.

Display VGA එක වශයෙන් Intel Iris Xe මාදිලියේ VGA එකක් භාවිතා වන අතර එහි vRam එක 128MB ලෙසත්, shared memory එ​ක 8042MB ලෙස​ත් සඳහන් වනවා.

Render VGA එක ලෙසින් මේ laptop එකට යොදාගෙන ඇත්තේ 4GB ධාරිතාවයකින් යුතු NVIDIA® GeForce RTX™ 3050Ti මාදිලියේ laptop GPU එකක් වන අත​ර 1535MHz දක්​වා Boost Clock කිරීමේ හැකියාවෙන්ද යුක්ත වනවා.

මේ GPU එක මඟින් Realtime Ray Tracing පහසුකම සක්‍රීය කිරීමේ හැකියාව පරිශීලකයාට ලැබෙන අතර DLSS 2.0 හරහා AI Enhanced Graphic පහසුකම ලබා දී තිබෙනවා.

අනෙකුත් පද්ධති පිරිවිතරය​න්

අපට review එක සඳහා ලැබුනු MSI GF66 12UD ලැප්ටොප් පරිගණකය බල ගැන්වෙන්නේ 12th Gen Intel® Core™ i7 12700H මාදිලියේ cores 20කි​න් සමන්විත වන processor එකකින් වන අතර එහි clock speed එක ලෙස 2.7GHz දැක්වෙනවා.

16GB RAM එකකින් සමන්විත වන මෙම laptop පරිගණකයේ RAM slots දෙකක් සමන්විත වනවා. මේ laptop එකට 64GB පරිමාණ​යේ උපරිම RAM ධාරිතාවයක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතිනවා. ප්‍රධාන storage එක වශයෙන් මෙහිදී ලබා දී ඇත්තේ 512GB M.2 SSD එකක් වන අතර මේ සතුව NVMe PCIe Gen4 මාදිලි​යේ M.2 SSD slot එකක් සතුවනවා.

මෙම ලැප්ටොප් පරිගණකය සමඟින් Windows 11 Home Single Language සංස්කරණය පෙර ස්ථාපිත ආකාරයට ලැබෙන අතර ව්‍යාපාර කටයුතු සඳහා මෙය භාවිතා කරන්නේ නම් Windows 11 Pro සංස්කරණය වෙත upgrade වන ලෙසින් MSI ආයතනය නිර්දේශ කරනු ලබනවා.

Gaming වලදී නැතුවම බැරි තවත් එක් අංගයක් වන්නේ sound. මේ ලැප්ටොප් එක සතුව Hi-res audio පහසුකම ලබා දී තිබෙනවා. ඒ සඳහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ  2W speakers 2ක්. මේ සඳහා MSI ආයතනය විසින්ම හදුන්වාදී තිබෙන Speaker Tuning Engine එක හරහා වඩාත් හොඳ ශබ්දවාහිනී පද්ධතියක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්ව ඇති අතර, NAHIMIC Sounds Sharing+ හරහා එකවර Headphones/earbuds දෙකකට sounds share කරගැනීමේ හැකියාවද ඇතුලත් කර තිබෙනවා.

මේ වන විට බොහොමයක් gamersලා live streaming සඳහා පෙළඹී ඇති බැවින් ඔවුන්ට වඩාත් හොඳ තත්වයකින් යුතුව තම streaming කටයුතු සිදු කිරීමේ පහසුව ලබා දීමට MSI ආයතනය විසින් Wifi 6 Gig+ තාක්ෂණය ඇතුලත් කිරීමටත් අමතක කරලා නෑ. ඒ හරහා ඉතාමත් වේගයෙන්, බාධාවකින් තොරව හොඳ ගුණාත්මක බවකින් යුතු streaming කිරීමේ හැකියාව streamersලාට ලැබී තිබෙනවා.

Type-C USB 3.2 port එක​ක්, Type-A USB  3.2 ports දෙකක්, Type-A USB 2.0 port එකක්, 60fps 4K දක්වා සහය දක්වන HDMI port එක​ක් මෙන්​ම RJ45 port එකකින් මෙම ලැප්ටොප් එකට ඇතුලත් කර තිබෙනවා. බැටරිය ආරෝපණය කර ගැනීම සඳහා 180W ඇඩැප්ටරයක් ලබා දී ඇති අතර ඒ හර​හා වේගවත් ආරෝපණයක් ලබා ගත හැකියි. මීට අමතරව මෙම ලැප්ටොප් එක සතුව Bluetooth 5.1 පහසුකමද පවතිනවා.

මි​ල

ශ්‍රී ලංකා​වේ අන්තර්ජාල වෙළඳ පලේ මෙම ලැප්ටොප් පරිගණකයේ මිල රුපියල් 365,000 සිට 450,000 දක්වා සඳහන් වනවා.