Loading...
HTC වලට මොකද වුනේ?
  • පළවෙනි Android Smartphone එක.
  • පළවෙනි Windows Smartphone එක.
  • පළවෙනි 4G Smartphone එක.
  • පළවෙනි Android Skin එක.
  • පළවෙනි Dual Camera Phone එක.
  • Metal Body එකක් සහිත පළවෙනි Android Phone එක.
  • කලකදී USA වල විශාලතම Smartphone අලෙවිකරු.

මේ ඔක්කොම HTC Phones. කලක් Smartphone ලොවේ අංක 1 වෙලා හිටිය  HTC වලට මොකද වුනේ? මේ ලිපිය ඒ ගැන.

HTC ප්‍රධානි Cher Wang

High Tech Corporation එහෙමත් නැතිනම් HTC ආරම්භ කරන්නේ 1997 දී තායිවාන ජාතික Cher Wang විසින්. 1998 දී ඔවුන් ලොව ප්‍රථම අතේ ගෙනයාහැකි Touch and wireless උපාංග පෙළක් නිෂ්පාදනය කරනවා.  

2004 දී Smartphone නිෂ්පාදනයට අවතීර්ණ වන HTC, Keyboard එකක් සහිත තම ප්‍රථම smarthpone එක release කරනවා. මෙය Windows Mobile OS run  වෙන එකක්.

HTC Dream

2008 දී ඔවුන් ලොව ප්‍රථම Android OS එක සහිත smartphone එක, HTC Dream එළිදක්වනවා. එම වසරේම ලොව ප්‍රථම 4G smartphone එක වන HTC Evo 4G එළිදක්වන ඔවුන්, 2010 දී Google සමාගමේ ප්‍රථම Hardware phone එක වන Nexus 1 smartphone එක design කරන්නත් දායක වෙනවා.

2009 දී එළිදැක්වූ HTC HD2 පළවෙනි Touch Screen එකක් සහිත Windows Mobile phone එක වනවා. මිට පෙර සියලු Windows Devices වල Touch technology එක වුනේ capacitive touch screen එක.

HTC Windows Phone. 

ඔක්කොම කලින් හැදුවා වුණාට HTC විශේෂ වෙන්නේ ඇයි ?

HTC නැගීම

Hardware

ඉස්සර HTC phone එකක් අතට ගනිද්දිම ඒකේ වෙනසක් දැනෙනවා. මොකද HTC phone බහුතරයකට Aluminium Uni Body එකක්, එහෙමත් නැතිනම් තනි Aluminium block එකකින් කපලා හදපු body එකක් තියෙන්නේ. මේ Apple Uni - Body phones හදන්නත් කලින්. Samsung එතකොට plastic කෑලි.

HTC Dual Speakers

ඒ වගේම Sound Quality එකටත් ඔවුන් වැඩි සැලකිල්ලක් දැක්වුවා. Phone එකේ ඉදිරිපස Dual Speakers ආපු design එක ඔබට මතක ඇති. මේ කාලේ Audio Quality එක එච්චර විශේෂ දෙයක් වුණේ නෑ අනෙක් smartphone නිෂ්පාදකයින්ට. ඒ වගේම මුලින්ම Lens දෙකක් භාවිත කරලා Portrait Mode එකක් හඳුන්වා දුන්නෙත් HTC.  

HTC Dual Cameras

Software

කලකදී HTC විසින් එකම phone model එක OS options තුනක් සහිතව එළිදැක්වූවා. 

HTC Sense කියන්නේ Windows වලටත් Android වලටත් වෙනස්ම විදිහකට Customize කරපු skin එකක්. ඒ කාලේ තිබුන Windows Mobile OS එකේ Desktop ගතිය නැති වුනේ මේ HTC skin එකෙන්. ඒ වගේම original Android OS එකේ නැති බොහොමයක් විශේෂාංග එකතු කරලා නවීන interface එකක් Android වලට දෙන්න මේ HTC Sense skin එකට හැකි වුණා. පසුව මේ විශේෂාංග බොහොමයක් මීළඟ Android version වලට Google ආදේශ කරගත්තා.

Samsung අවතීර්ණ වීම

මේ අතර Samsung ද TouchWiz skin එක සහිත Galaxy S android smartphone එක එළිදක්වමින් මේ premium phone තරඟයට එක් වුණා. එයින් නොනැවතී ඔවුන් විවිධ පාරිභෝගික කාණ්ඩ වලට ගැලපෙන devices ගණනාවක් එක විට මුදාහරියා.

විවිධාකාර Samsung Models

මේ වනවිට වෙළඳපොළේ ද විශාල smartphone රැල්ලක් හැදෙමින් තිබුණා. සාමාන්‍ය phone භාවිතයට වඩා smartphone වෙළඳාම එන්න එන්නම වැඩි වෙද්දී Apple සහ HTC අතර තිබුන තරඟය HTC + Samsung හා Apple ලෙස වෙනස් වුණා. වෙළඳපොල රටාව අනුව Apple සමඟ තරඟයට තවත් එක් සමාගමකට විතරයි අවකාශය තිබුනේ. ඒ HTC නැත්නම් Samsung. දෙකම නොවෙයි. මේ HTC ට  නව්‍යකරණය හා අලෙවිකරණය සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගන්නට තිබු කාලයක්.

HTC මේ කාලයේ  Hardware නිෂ්පාදන සමාගම් මිලට ගැනීම, Video Streaming වලට සම්බන්ධ වීම වැනි ආයෝජන කීපයක් සිදු කලත් එයින් ඔවුන් අපේක්ෂා කළ වාසියක් සිදුවුනේ නෑ.

ඒ වගේම 2011 දී ඩොලර් මිලියන 300 කට Beats Audio සමාගමේ 51% ක කොටස් මිලදී ගත් ඔවුන් පසුව ඒවා ඩොලර් මිලියන 56ක ලාභයක් තබාගෙන විකුණා දැමුවා. ඊළඟ වසරේ Apple සමගම Beats මිලදී ගනිද්දී එහි වටිනාකම ඩොලර් බිලියන 3ක්.

HTC Beats Audio සමඟ 

මේ වගේ තමන් මුහණ දෙන ප්‍රධාන තරඟයට අවශ්‍ය නැති ආයෝජන කිරීමත් ඒ සෑම එකක්ම හොඳ ප්‍රතිඵල දෙන්න අසමත් වීමත් හේතු කරගෙන HTC හි වැටීම ආරම්භ වෙනවා.

HTC වැටීම

මේ අතරේ Samsung විශාල ලෙස hardware පැත්තට ආයෝජනය කළා. Displays, Flash memories වගේ කොටස් iPhone වලටත් වෙනතක් තියා HTC වලටත් සපයන්න ඔවුන්ට හැකි වුනා.

මේ විදිහට ටිකෙන් ටික HTC අධිකාරය වට්ටන්න Samsung ට පුළුවන් වෙනවා.
නමුත් මේ ඔක්කොටම වඩා HTC පරිහානියට බලපෑවේ හොඳ Marketing Stratergy එකක් නැති වීම. ඔබේ product එක අද්විතීය එකක් නොවුනත් හොඳින් market කරොත් ලේසියෙන්ම වෙළඳපොල අල්ලන්න පුලුවන්. හොඳම උදාහරණය Apple iPhone එක.

HTC පසු බැසීමට නිවැරදි අලෙවි සැලැස්මක් නොතිබීම තදින්ම බලපෑවා

මේ කාලයේදී HTC වෙළඳ පාඨය වුනේ Quietly Brilliant. එහෙමත් නැති නම් ඔවුන් නිශ්ශබ්ද ව අද්විතීයයි යන අදහසකින් තමයි marketing කරේ. ඔවුන් හිතුවේ තම නිෂ්පාදන වල quality එක විසින් marketing වැඩේ නිකන්ම කරයි කියලා. එත් එක එහෙම වුනේ නෑ.

2011දී HTC market share එක 67% ඉඳන් 32% දක්වා පහළ යනවිට Smasung 4% සිට 27% දක්වා වර්ධනය වෙන්න සමත් වුණා. 2012 අවසන් වන විට Samsung වල වර්ධන අගය 300%ක්. Apple වල එය 200% ක්.

2012 අවසන් වන විට Samsung වල නැගීම

ඒ වගේම HTC phone නාමකරණයත් ඔවුන්ගේ market share එක පහළ යන්න හේතුවක් වුණා. ChaCha, Salsa වැනි තේරුමක් නැති Model Names වගේම HTC One නමින් විවිධ අවුරුදු වල එකිනෙකට වෙනස් phones release කිරීමත් පාරිභෝගිකයන්ට බොහෝ සෙයින් පැටළිලි සහගත වුණා.

මේ අතරම HTC සමාගම තුල ඇතිවූ අභ්‍යන්තර අර්බුද නිසාත් ඔවුන්ගේ සුවිශේෂී සේවකයින් රැසක් සමාගම අතහැර යනවා. Microsoft සමාගම මේ වෙද්දී HTC මිලදී ගන්න බලා සිටියත් අන්තිමට ඔවුන් Nokia වෙත හැරුණා.

උදාසීන වෙළඳ උපක්‍රම, පැටළිලි සහගත නාමකරණය, වැරදි පරිපාලන තීරණ සහ අනවශ්‍ය ආයෝජන වියදම් හේතුවෙන් කාලයක් ලෝකයේ අංක 1 වූ HTC මේ විදිහට අසාර්ථකත්වයේ පතුලටම යනවා.

කෝ දැන් HTC ?

මෑතකදී ඔවුන් Smartphone වෙළඳාමෙන් ඈත්වී VR Headset නිෂ්පාදනයට අවතීර්ණ වී තිබෙනවා.

HTC Vive VR

2017 දී Google විසින් ඔවුන්ගේ VR team resources ඩොලර් බිලියන 1.1 කට මිලදී ගත් අතර HTC Vive VR Headset එක VR වෙළඳපොලේ ජනප්‍රිය උපාංගයක් බවට පත්වී තිබෙනවා.

ඒ වගේම පසුගිය 2020 වසරේදී පමණ නව නායකත්වයක් යටතේ HTC Budget 5G Smartphone නිෂ්පාදනය ආරම්භ කරන්නට යන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විසින් තම පළමු 5G Smart Phone එක ලෙස HTC Desire 20 Pro සමඟින් HTC U20 5G Smart Phone එක නිකුත් කරනු ලැබුවා. ඉන් පසුව වර්තමානය වන තෙක්ම මොවුන් විසින් මේ Desire Series එකේ සහ Wildfire Series එකේ Smart Phones නිකුත් කරමින් සිටින අතර මේවාටද පෙර මෙන් සාර්ථකත්වය කරා ඒමට අවස්ථාවක් තවමත් ලැබි නොපවතිනවා.

කෙසේ වෙතත් නැවතත් මේ වසරේදී HTC සමාගම විසින් නම U series Smart Phone එකක් සමඟ වෙළෙඳපොළ සඳහා පිවිසීමට සුදානමින් සිටින බවට නිල වශයෙන් තොරතුරු නිකුත් කර තිබෙනවා. මීලග ලිපිය තුලින් අපි මේ නවතම HTC U series එකේ තොරතුරු සමඟින් හමුවෙමු.