NASA විසින් ප්‍රථම වරට වෙනත් ග්‍රහලෝකයක් මත සාර්ථකව ඔක්සිජන් නිපදවීමට සමත් වේ

මෙහෙම ගියොත් අඟහරු මත ජීවයක් තියාගන්න පුළුවන් වෙයිද?

· 1 min read
NASA විසින් ප්‍රථම වරට වෙනත් ග්‍රහලෝකයක් මත සාර්ථකව ඔක්සිජන් නිපදවීමට සමත් වේ

අඟහරු මත මේ වනවිට තම පර්යේෂණ කටයුතුවල යෙදී සිටින Perseverance රෝවර් එකට පුළුවන් වෙලා තියෙනවා තවත් ඓතිහාසික කාර්යයක් සිදු කරන්න. ඒ තමයි අඟහරුගේ වායුගෝලයේ බහුලව පවතින කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් බවට පත් කරන්න.

Perseverance රෝවර් එකේ ඇතුලතින් දකුණු පැත්තේ සවි කරලා තියෙන කාර් බැටරියක ප්‍රමාණයක් වෙන MOXIE (Mars Oxygen In-Situ Resource Utilization Experiment) කියන උපාංගය තමයි මේ වැඩේ සිද්ධ කළේ.

MOXIE ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 17.1 ක් වෙන අතර, පරිමාව සෙන්ටිමීටර 24 x 24 x 31 ක් වෙනවා. වොට් 300 ක ජවයක් අවශ්‍ය වෙනවා එයට ක්‍රියාත්මක වෙන්න. Perseverance රෝවර් එක අඟහරු මත ලෑන්ඩ් කරලා ගත වුණ 60 වෙනි අඟහරු දිනයේදී තමයි මේ ටෙස්ට් එක සිද්ධ වුණේ. ඒ කියන්නේ අප්‍රේල් 20.

මේ ඔක්සිජන් අඟහරු මත වාසය කරන මිනිසුන්ට වගේම රොකට් වලටත් එක සේ වැදගත් වෙනවා. අනාගතයේ දවසක අඟහරු වල ඉන්න මිනිසුන්ට ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙනවා වගේම, අඟහරු මත තියෙන රොකට් වලට නැවත පෘථිවියට පැමිණෙන්න අවශ්‍ය ඉන්ධන දහනයේදී දහන පෝෂකය ලෙසත් ක්‍රියාත්මක වෙන්න තමයි මේ නිපදවන ඔක්සිජන් භාවිත කරන්න සැලසුම් කරලා තියෙන්නේ.

මේ වෙනකොට ගණන් බලලා තියෙන විදියට මිනිසුන් හතර දෙනෙකුගෙන් සමන්විත යානාවක් අඟහරු වල ඉඳන් නැවත පෘථිවියට පැමිණෙන්න මෙට්‍රික් ටොන් 7 ක ඉන්ධන වගේම මෙට්‍රික් ටොන් 25 ක ඔක්සිජන් අවශ්‍ය වෙනවලු.

මිනිසුන් හතර දෙනෙක්ට අවුරුද්දක් අඟහරු මත ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නෙත් මෙට්‍රික් ටොන් 1 ක ඔක්සිජන් විතරලු. ඉතින් අඟහරු මත නිපදවන මේ ඔක්සිජන් වල අවශ්‍යතාවය අපි හිතනවට වඩා සංකීර්ණයි. අඟහරු ගේ වායුගෝලයේ 96% ක්ම තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඔක්සිජන් තියෙන්නේ 0.13% ක් පමණයි. MOXIE කරන්නේ විද්‍යුත් විච්ඡේදනය මඟින් කාබන් ඩයොක්සයිඩ් වල තියෙන ඔක්සිජන් පරමාණු වෙන් කරලා ඔක්සිජන් හදන ක්‍රියාවලිය.

මේ වැඩේදී කාබන් මොනොක්සයිඩ් වායුව අතුරුඵලයක් ලෙස වායුගෝලයට නිදහස් වෙනවා.

2CO2 ⟶ 2CO + O2

ඉදිරි පරීක්ෂණ වලදී මෙම කාබන් මොනොක්සයිස් ජලය සමඟ ප්‍රතික්‍රියා කරවලා, මීතේන් හදන්න සැලසුම් කරලා තියෙන්නේ. මීතේන් කියන්නේ හොඳ රොකට් ඉන්ධනයක්.

කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පත් කරන මේ සංකීර්ණ ක්‍රියාවලිය සිදු වෙන්නේ සෙල්සියස් අංශක 800 ක් තරම් වූ ඉහළ උෂ්ණත්වයකදී. ඊට ඔරොත්තු දෙන විදියට MOXIE නිර්මාණය වෙලා තියෙන්නේ 3D-ප්‍රින්ටඩ් නිකල් සහිත මිශ්‍ර ලෝහයකින්.

MOXIE එක ඇතුළේ නිපදවන විකිරණ තාපයෙන්  Perseverance එකේ අනිත් උපාංග වලට වෙන හානිය නවත්තන්න MOXIE එකේ වටේම රත්තරන් වලින් සිදු කරපු ආලේපයක්/කෝටින්ග් එකක් තියෙනවා.

MOXIE ගේ පළවෙනි උත්සාහයේදී පැයක් ඇතුළත ඔක්සිජන් ග්‍රෑම් 5.4 ක් නිපදවන්න සමත් වුණා. එය සාමාන්‍ය මිනිසෙකුගේ විනාඩි 10 ක හුස්ම ගැනීමකට ප්‍රමාණවත්.

පැය 2 ක Warmup සෙෂන් එකකට පස්සේ තමයි MOXIE මේ වැඩේ පටන් ගත්තේ. මුල් වෙලාවේදී පැයට ග්‍රෑම් 6 ක සීඝ්‍රතාවයෙන් වැඩේ වුනත්, සුළු වෙනස් කිරීම් දෙකක් කරන්න වුණ නිසා අන්තිමට වැඩේ වුණේ පැයට ග්‍රෑම් 5.4 කට විතරයි.

MOXIE ප්‍රොජෙක්ට් එක භාරව කටයුතු කරන්නේ MIT (Massachusetts Institute of Technology) විශ්වවිද්‍යාලයේ Haystack Observatory ප්‍රධානී Michael Hecht. ඔහු Event Horizon Telescope එක මඟින් “ලොව ප්‍රථම කළු කුහරයක ඡායාරූපය” නිපදවීම වෙනුවෙන් 2020 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයද දිනා ගත්තා.  

මේ පලවෙනි අඟහරු වර්ෂය (ආසන්න වශයෙන්  පෘථිවි වර්ෂ දෙකක්) ඇතුළත, මෙවැනි ඔක්සිජන් නිපදවීම් අවම වශයෙන් 9 ක් වත් MOXIE විසින් සිදු කරාවි. ඒ විවිධ පරිසර තත්ව යටතේදී මෙහි ක්‍රියාකරීත්වය පරීක්ෂා කර බැලීමේ අරමුණින්. "වෙනත් ග්‍රහලෝකයක් මත ප්‍රථම වරට ඔක්සිජන් නිපදවූ අවස්ථාව" හැටියටයි මේ සිදුවීම ඉතිහාසයට එක් වෙන්නේ.