Loading...
පෘථිවිය මත ජීවය ඇති වූයේ පිටසක්වලින් ද? - පැන්ස්පර්මියා කල්පිතය (Panspermia Hypothesis)
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වන්සජ මාපලගම සොයුරා විසින් ලියැවුණකි.

නූතනයේ වැඩිපුරම කතා බහට ලක්වන තවත් එක් මාතෘකාවක් විදිහට පෘථිවිය මත ජීවය ආරම්භ වූයෙ කෙසේද යන්න සලකන්න පුලුවන්. තවමත් ස්ථිර වශයෙන්ම විසඳුමක් සොයාගෙන නැතත් බොහෝ විද්‍යාඥයන් ඒ සඳහා විවිධ මත පල කරලා තියෙනවා. ඒ අතර එක් මතයකි, පැන්ස්පර්මියා කල්පිතය.

සරලව කිව්වොත් පැන්ස්පර්මියා කල්පිතයෙන් කියවෙන්නේ පෘථිවියට ජීවය පැමිණියේ අභ්‍යාවකාශයෙන් බවයි. එනම් මේ පොලෝ තලයේ ජීවය ඉබේ හටගත්තා නොව අභ්‍යාවකාශ දූවිලි ලෙසින් හෝ වෙනත් ග්‍රහලෝකයක හෝ ග්‍රාහයක හෝ කිසියම් වූ අභ්‍යාවකාශ වස්තුවක සිට ජීවය මෙලොවට පැමිණි බවයි මින් කියැවෙන්නේ.

කරුණු කාරණා සලකා බලන විට මෙම මතයද අහක දැමිය නොහැකි මට්ටමේ කල්පිතයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. මෙහිදී මා විසින් ජීවය ලෙස සලකන්නේ ක්ෂීරපායින්, උරඟයින්, පක්ෂීන් පමණක් නොව බැක්ටීරියා, දිලීර වැනි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්ද ඇතුලුව පොදුවේ සියලුම ජීවී විශේෂ බව ආරම්භයේදීම පවසා සිටින්නම්.

කාල නිර්ණය සලකා බලා ඇතැම් විද්‍යාඥයන් දක්වන්නේ මහා පිපුරුමෙන් පසුව පෘථිවිය නිර්මාණය වී වර්ථමානය දක්වා පැමිණි කාලය සලකා බලන විට පෘථිවි තලය මත ජීවයක් නිර්මාණය වී (බැක්ටීරීයාවක් වැනිවූ ක්ෂුද්‍රජීවී කාණ්ඩයක්) පසුව එය පරිණාමය වීම මගින් ජීවයක් ඇතිවීමට තරම් කාලයක් තවම ගත වී නොමැති බවයි. ඒ නිසා පැන්ස්පර්මියා කල්පිතය නිවැරදි විය යුතු ලෙසයි ඇතැමුන් පවසන්නේ. කෙසේ නමුත් මෙය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් වී නැහැ. පැන්ස්පර්මියා මතයට අනුව නම් අපි නිර්මාණය වූයේ අභ්‍යාවකාශය හරහා පැමිණි ජීවී කාණ්ඩයක් පරිණාමය වීමෙනි.

කොහොමද ජීවයක් එක් තැනක සිට තවත් තැනකට සංක්‍රමණය වන්නේ?

ඒ සඳහා සරලම පිළිතුර ලෙස නූතන තාක්ෂණයේ දියුණුව පෙන්වා දෙන්න පුලුවන්. අභ්‍යාවකාශ යානා මගින් ජීවය සංක්‍රමණය වීම සිදුවිය හැකියි. නමුන් මිනිසුන් වැනි පිරිසකට එසේ සංක්‍රමණය විය හැකිද? දැනට තිබෙන තත්ව යටතේ නම් එය පහසු කාරණාවක් නොවේ. හේතුව නම් මිනිසුන් සතු අභ්‍යාවකාශ යානා ගමන් කරන වේගය සාපේක්ෂව අඩු නිසා එවැනි ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයක් වෙතට යාමට තරම් හැකියාවක් නොමැති වේ. නමුත් දීර්ඝ කාලයක් නොනැසී පවතින ජීවී කාණ්ඩ බොහෝමයක් පෘථිවි තලයේම දැනගත හැකියි. එවැනි ජීවී කොට්ඨාසයක් අභ්‍යාවකාශ යානාවක දමා යැවුවහොත් සමහර විට යම් කාලයකට පසුව ඔවුන් එලෙස නව නිවහනක් සොයාගනු ඇත. නමුත් එය සිදුවීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවයක්.

මේ හැර ජීවීන්ට සංක්‍රමණය වීමට නම් උල්කාපාතයක්, ග්‍රාහකයක්, වල්ගාතරුවක් තුල සිරවුන ජීවයක් ලෙස ගමන්කල හැකිය. එසේ ග්‍රාහක ආදියට ජීවය පැමිණෙනේ කෙසේද යන්න ඔබට ප්‍රශ්නයක් නැගෙනු ඇත. ජීවය පවතින ග්‍රහලෝකයක් සමඟ ඇතිවන ඝට්ටනයකින් පසු කැඩී වෙන්වුන කොටස් වල නොනැසුනු ජීවය පැවතිය හැකියි. මේවා අභ්‍යාවකාශයේ විසිරී යාමෙන් ජීවය බෙදාහැරිය හැකියි.

කෙසේ නමුත් අභ්‍යාවකාශයේ තිබෙන විශේෂිත තත්ව යටතේ දී පවා නොමැරී ජීවත් වීමේ හැකියාවක් තිබීම අනිවාර්ය වේ. එනම් විචලනය වන පීඩනය, උෂ්ණත්වය, විකිරණ වැනි ඒවාට ඔරොත්තු දීමේ හැකියාවක් තිබිය යුතු වේ. එයද එතරම් පහසුකටයුත්තක් නම් නොවේ. කොහොම නමුත් එසේ විවිධ තත්ව යටතේදී පවා නොනැසී සිටින ජීවී කාණ්ඩ සිටිනවා. උදාහරණයක් ලෙස මොරොක්කෝ වෙන් හමුවූ බැසිලස් බැක්ටීරියාවට (Bacillus bacteria) 420'C වැනි උෂ්ණත්වයේදී පවා ජීවත් විය හැකියි.

ජීවය පවතින ග්‍රහලෝකයක් සමඟ ඇතිවන ඝට්ටනයකින් පසු කැඩී වෙන්වුන කොටස් වල නොනැසුනු ජීවය පැවතිය හැකියි.

තවද අභ්‍යවකාශයේ ඇති දූවිලි මගින්ද ජීවය සංක්‍රමණය වනු ඇති බවත් මෙම න්‍යායෙන් පැවසෙනවා. මේ ගැන පසුව කතා කරමු.

Keplar Space Mission එක මගින් ලබාගත් දත්ත වලට අනුව, 2013 නොවැම්බර් 4 දින තාරකා විද්‍යාඥයන් ඉදිරිපත් කල සමීක්ෂණ වාර්ථාවේ සඳහන් වන්නේ, පෘථිවිය ට සමාන ලක්ෂණ ඇති, එසේම අපේ සූර්යයා මෙන් තරුවක් වටා ජීවය පැවතිය හැකි කලාපයේ පිහිටි ග්‍රහලෝකයන් බිලියන 40ක් පමණ මේ විශ්වය පුරා පැවතිය හැකි බවයි. එසේ බලන විට ජීවය පවතින එකම ග්‍රහලෝකය ලෙස අප දන්නේ පෘථිවිය පමණක් වුවත් අප වැනිම ජීවීන් සිටින තවත් ග්‍රහලෝක පැවතීමේ වැඩි ඉඩක් ඇත. එසේ නම් පැන්ස්පර්මියා කල්පිතයට අනුව මෙවැනි ග්‍රහලෝකයකින් වෙනත් ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයක් වෙත ජීවය සංක්‍රමණය වීම සිදුවිය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

Keplar අභ්‍යවකාශ දුරේක්ෂය 

පැන්ස්පර්මියා කල්පිතට අනුව ජීවය පැමිනෙන ආකාර අතර එකකි, අභ්‍යාවකාශ දූවිලි මගින් ජීවයේ විකාශනය. බොහෝවිට මෙය නම් නොවිය හැක්කක් ලෙස ඔබට සිතෙනවා වුවත් මෙය ඇත්තෙන්ම බොහෝ සේ සාකච්ඡාවට බඳුන් වූ කල්පිතයක්. Severe Acute Respiratory Syndrome එහෙමත් නැත්නම් SARS ලෙසින් හඳුන්වන වෛරසය ගැන ඔබ අසා ඇති.

මේ පිලිබඳ පර්යේෂණ පැවැත්වූ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුලු පර්යේෂකයන් සිදුකල පර්යේෂණ වලදි පෘථිවි තලයේ සිට 41km ඉහල අපරිවර්තී ගෝලයේ (stratosphere) පවා ජීවත් වන ක්ෂුද්‍රජීවී කාණ්ඩ හමුවී තිබෙනවා. ඔහු පවසන පරිදි මෙම ක්ෂුද්‍රජීවී කාණ්ඩ අති විශාල ප්‍රමාණයක් මෙසේ අපගේ වායු ගෝලයේ ජීවත්වන බවයි.

ඒවා අතර බැක්ටීරියා මෙන්ම වෛරස කාණ්ඩද තිබෙන බවත් දක්වා තිබෙනවා. දිනකදී එක් වර්ග මීටරයකට 20 000 ක පමණ බැක්‍ටීරියාවන් වායුගෝලයේ සිට පෘථිවි තලයට පතිත වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

SARS හි විකාශනය සිදුවූ ආකාරය ගැන පැහැදිලි කරමින් ඔවුන් පවසා සිටින්නේ මෙසේ වෛරස සුලු ප්‍රමාණයක් හිමාලය ආශ්‍රිය ප්‍රදේශයේන් (විද්‍යාඥයන් පවසන්නේ අපරිවර්තී ගෝලයට ආසන්නම ප්‍රදේශය වන නිස වැඩි බලපෑමක් ඇති වන බවයි) ආරම්භ වී ක්‍රමයෙන් දකුණුදිග චීනයට සංක්‍රමණය වූ බවයි. එනම් කාලෙන්කාලෙට විවිධ වසංගත ඇතිවන්නේ, හඳුනානොගත් වෛරස අභ්‍යාවකාශ දූවිලි ලෙසින් පැමිණ, SARS විකාශනය වූ ආකාරයට වායුගෝලය හරහා පැමිණ මෙසේ පෘථිවිය පුරා විසිරියාමෙන් විය හැකියි.

මේ ආකාරයට බලන විට පැන්ස්පර්මියා කල්පිතය ලෙසින් හඳුන්වන, පෘථිවිය මත ජීවය ඇති වූයේ පිටසක්වලින්ය යන මතය ඉවත හැරිය නොහැකි ලෙස විද්‍යාඥයන් තුල මුල් බැසගෙන ඇති බව දැන් ඔබට වැටහෙනු ඇත.