Loading...
අඟහරු මත ජීවය සොයා ජෙසීරෝ ආවාටය පීරන Perseverance
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික යසස් වික්‍රමතිලක සොයුරා විසින් ලියැවුණකි.

මීට පෙර අඟහරු වෙත යැවුනු Curiosity රෝවරය මගින් අතීතයේ ද්‍රව ජලය අඟහරු මත පැවති බවත් ජීවය ඇතී වීමට අවශ්‍ය මූලික අණු අඟහරු මත තිබුනු බවත් සොයා ගැනුනා. මේ සියල්ල අනාවරණය කර ගත්තේ අඟහරු මත ඇති ගේල් ආවාටය (Gale crater) ආශ්‍රිතව කරන ලද පරීක්ෂණ වලින්.

Perseverance රෝවරය මෙහි ඉදිරි පියවරක් තබමින් අතීතයේ අඟහරු මත යම් කිසි ජීවයක් පැවතුනිද යන්න සාක්ෂි ලබා ගැනීමට පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. මේ සියලු පර්යේෂණ සිදු වන්නේ අගහරුගේ ජෙසීරෝ අවාටය (Jezero crater) ආශ්‍රිතවයි. Perseverance රෝවරයේ අරමුණු 4ක් NASA ආයතනය විසින් ඉදිරිපත් කර තියෙනවා.

අරමුණ A: භූවිද්‍යාව (Geology)

ජෙසීරෝ ආවාටය ආශ්‍රිත පාෂාණ හා භූ දර්ශණය (Landscape) අධ්‍යයනය කිරීම. මෙමගින් බලාපොරොත්තු වෙන්නෙ අතීතයේදී ජීවය පැවතීමට අවශ්‍ය තත්වයක් ජෙසීරෝ ආවාටයේ පැවතුනාද යන්න සොයාබැලීමටයි. මේ සදහා ජෙසීරෝ ආවාටය යොදා ගැනීමට විශේෂ හේතු කීපයක් තියෙනවා. ජෙසීරෝ ආවටයේ අතීතයේදී ගංගා ඩෙල්ටාවක් පැවති බව අගහරු ගහයා මත කක්ශ ගත කරන ලද චන්ද්‍රිකා වලින් සොයා ගත හැකි උනා.

පළවෙනි ඡායාරූපය බැලුවොත් ගංගාවක් ගලාගෙන ගියපු ආකාරයේ භූ විශමතාවයකුත් ඒ ගඟ ආවාටයට එකතු වුනු සලකුනුත් දැක ගන්න පුලුවන්. ඒ වගේම මැටි ආශ්‍රිත ඛණිජ (Clay minerals) සහ කාබනේට් සංයෝග (Carbonates) ඇති බවත් සොයා ගත් හැකි උනා. පෘථිවිය මතදී නම් මේ කාබනේට් සංයෝග හදන්නේ ජීවීන් මගින්.

මේ අනුව ජෙසීරෝ ආවාටය ආශ්‍රිතව ඇති පාෂාණ හා ඛණිජ අධ්‍යයනයෙන් එහි භූ විද්‍යාත්මක විවිධත්වය (Geological diversity) නිර්ණය කීරීමටත් අතීතයේදී ආවාටය ආශ්‍රිතව පැවති කාලගුණය හා පරිසර තත්වය (Historical climate and environment) නිර්ණය කීරීමටත් පළවෙනි අරමුණ යටතේ බලාපොරොත්තු වෙනවා.

අරමුණ B: තාරකා ජීවවිද්‍යාව (Astrobiology)

දෙවෙනි අරමුණ වෙන්නෙ මෙම ප්‍රදේශය ජීවයකට සුදුසු ද කියලා (Habitability) සහ ආදි ජීවීන්ගේ ලක්ෂණ තිබේ දැයි පරීක්ශා කිරීමයි. රෝවරය, ආවාටය ආශ්‍රිතව ඇති මඩ තැන්පතු (deposits) අධ්‍යයනයෙන් ඒ තුල සංරක්ශනය වී ඇති ආදි ක්ශුද්‍රජීවීන්ගේ තොරතුරු සොයා ගැනීමට නියමිතයි.

අරමුණ C: සාම්පල සංරක්ෂණය කිරීම (Sample caching)

අඟහරුගේ පස් හෝ පාෂාණ සාම්පල අනාගතයේදී පෘථිවියට එවීම සදහා සංරක්ෂණය කිරීම රෝවරයේ තුන්වෙනි අරමුණ වෙනවා. ඇත්තටම Perseverance රෝවරය කියන්නෙ අඟහරු මෙහෙයුම් කිහිපයක් එක් මෙහෙයුමක් පමණයි. ඉතින් අනාගතයේදී සිදු කරන මෙහෙයුම් මගින් අඟහරුගේ සාම්පල පෘථිවියට රැගෙන ඒම සදහා තබා ඇති පළමු පියවර මේ රෝවරය කියලා කියන්න පුලුවන්.

අරමුණ D: මිනිසුන් සදහා සූදානම් කිරීම (Prepare for humans)

අනාගතයේදී මිනිස් වාසය අඟහරු ග්‍රහයා මත තහවුරු කිරීමට අවශ්‍ය නවතම තාක්ෂණය පරීක්ශා කිරීම (test) තමයි Perseverance රෝවරයේ අවසාන අරමුණ වෙන්නේ. අපි අනාගතයේදී මිනිස්සු අඟහරු මතට මිනිස්සු යවන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් සපයා ගන්නෙ කොහොමද කියන එක විසදගෙන ඉන්න ඕන ප්‍රශ්නයක්.

ඒ වගේම දැනට භාවිතා කරන රොකට්ටු වල ඉන්ධන විදියටත් ඔක්සිජන් යොදා ගන්නවා. මේ ඔක්කොටම ඕන කරන ඔක්සිජන් පෘථිවියෙන් අරන් යන එක කරදර සහ වියදම් අධික වැඩක්. ඒක නිසා අවශ්‍ය කරන ඔක්සිජන් අඟහරු මතදි හදා ගන්න පුලුවන් නම් ප්‍රශ්නය විසදෙනවා. මේකට දැනට NASA ආයතනය මගින් නිපදවල තියෙන අලුත්ම තාක්ෂණයක් test කරල බලන්න Perseverance රෝවරය බලාපොරොත්තු වෙනවා.

අගහරුගේ වායුගෝලයේ කියන්නෙ දූවිලි වලින් පිරුනු තැනක්. ඉතින් අගහරු මතට මිනිස්සු යවනවා නම් මේ දූවිලි අංශු ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඒක නිසා දූවිලි අංශු වල ප්‍රමාණය හා මතුපිට ස්වභාවය (Morphology) පරීක්ෂා කරන්නත් රෝවරය බලාපොරොත්තු වෙනවා. මීට අමතරව අඟහරු මත තියෙන කාලගුණය ගැන පරීක්ෂණ සිදු කරලා මේ වනවිට නිර්මාණය කරල තියෙන අඟහරු වල වයුගෝලීය ආකෘති වල නිරවද්‍ය තාවය තහවුරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් Perseverance රෝවරය මේ අරමුණු සම්පුර්ණ කර ගන්නෙ කොහොමද කියල ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒ සදහා  රෝවරයට සවි කරල තියෙනවා විශේෂ උපකරණ 7ක්. මේ උපකරණ මොනවද මේව වැඩ කරන්නෙ කොහොමද කියන එක ඉදිරියේදී කතා කරමු.