Loading...
ශ්‍රී ලංකාවට අයත් චන්ද්‍රිකාවක් ව​න රාවණා 1 චන්ද්‍රිකාව තම මෙහෙයුම් සාර්ථකව අවසන් කිරීමෙන් පසු විනාශ වේ

ශ්‍රී ලංකාවට අයත් පළමු හා එකම චන්ද්‍රිකාව විනාශ වී ඇත. නමුත් මෙය අනතුරක් නොවේ. මෙය බලාපොරොත්තු වූ ලෙසින්ම සිදු වූ දෙයකි. ජපානයේ Kyushu Institute of Technology (Kyutech) නමින් හදුන්වන රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් සිදු කරන Joint Global Multi-Nation BIRDS Satellite Project (BIRDS) නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වැනි අභ්‍යවකාශ ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාවක් නොලැබුණු රටවලට පළමු චන්ද්‍රිකාව නිපදවීමට, පරීක්ෂා කිරීමට, දියත් කිරීමට හා ක්‍රියා කිරවීමට අවස්ථාව ලබා දෙන ව්‍යාපෘතියකි.

මේ ව්‍යාපෘතියේ තුන්වන මෙහෙයුම වන BIRDS-3 මෙහෙයුමේදී ශ්‍රී ලංකාව ​හා නේපාලයට තම පළමු චන්ද්‍රිකාව නිපදවීමට අවශ්‍ය පහසුකම් සපයන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉංජිවෙන්රුවන් දෙදෙනක් වන තරිදු දයාරත්න හා දුලානි චාමිකා ජපානයේ Kyutech විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන්ගේ උපකාර ඇතිව ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව සෑදීම ආරම්භ කරන ලදී. BIRDS-3 මෙහෙයුම 2017 ඔක්තෝබර් 4 වනදා ආරම්භ වන අතර BIRDS-3 මෙහෙයුමේදී එක සමාන චන්ද්‍රිකා 3 ක් නිෂ්පාදනය කරන ලදී. මෙම චන්ද්‍රිකා සම්මත 1U (සෙන්ටිමීටර් 10 × 10 × 10) ප්‍රමාණයේ CubeSat වන අතර මෙම BIRDS-3 චන්ද්‍රිකාවල මූලික අරමුණු 4 ක් ඇත.

BIRDS-3 චන්ද්‍රිකා

LoRa Demonstration Mission (LDM) - LoRa හෙවත් Long Range යනු ප්‍රංශය විසින් හදුන්වාදුන් අඩු බලැති ලොකු පරාසයක් ඇති සන්නිවේදන ක්‍රමයකි. BIRDS-3 චන්ද්‍රිකාවල RFM95W Semtec Long Range (LoRa) සන්නිවේදන උපකරණ 2 ක් අඩංගු වූ අතර කක්ෂයේදී ඒ දෙක අතර සන්නිවේදනය කිරීම මෙම BIRDS-3 මෙහෙයුමේ එක් අරමුණකි.

Imaging Mission (CAM mission) - මේ චන්ද්‍රිකාවල තවත් අරමුණක් වූයේ චන්ද්‍රිකාවේ ඇති කැමරාවෙන් ලබා ගන්නා ඡායාරූප ඒ ඒ රටවල මාධ්‍ය හරහා පෙන්වීමෙන් මේ පිළිබද ජනතාවගේ අවධානය දිනා ගැනීමයි.

Raavana-1 චන්ද්‍රිකාවෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ඡායාරූපයක්

Attitude Determination and Control Mission (ADCS) - අභ්‍යවකාශ යානයක් Attitude යනු එය ත්‍රිමාණ අවකාශයේ ඇති දිශාවයි. ජ්‍යාමිතියේදී මෙය x, y, z අක්ෂ පද්ධතියට සාපේක්ෂව දක්වනු ලැබේ. BIRDS-3 චන්ද්‍රිකාවල Attitude නිර්ණය කිරීම (Determination) හා අවශ්‍ය ආකාරයට එය පාලනය කිරීම (Control) හෙවත් චන්ද්‍රිකාව අවශ්‍ය දිශාවට හැරවීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් විය. මේ චන්ද්‍රිකාවල අක්ෂ තුනේ 3-axis Magnetorquer (MTQ) එකක් අන්තර්ගත වේ.

මෙය භාවිතා කරමින් පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මඟින් සුළු බලයක් චන්ද්‍රිකාව මත උපදවා ගෙන චන්ද්‍රිකාව හරවයි. මෙය සරලව විද්‍යුත් චුම්භකයක් මඟින් ඇති කරන චුම්භක ක්ෂේත්‍රය වෙනස් කරමින් එය අසළ ඇති ස්ථිර චුම්භකයකින් විද්‍යුත් චුම්භකය මත ක්‍රියාකරන බලය වෙනස් කිරීමයි. BIRDS-3 චන්ද්‍රිකාවල ඇති MTQ එක ඇමිපියර් 0.03 ක විදුලි ධාරාවක් යොදා ගෙන නිව්ටන්-මීටර් 2.12 x 10⁻⁶ ක ඝූර්ණයක් චන්ද්‍රිකාව මත ඇති කරයි.

Software Configurable Backplane Mission (BPB) - මෙහිදී චන්ද්‍රිකාවේ සියළු පරිපථ එකට සම්බන්ධ කරන Backplane එක මෘදුකාංග මගින් වෙනස් කිරීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට බලාපොරොත්තු විය. නමුත් මෙහි ඇති අවධානම නිසා ශ්‍රී ලංකා හා නේපාල චන්ද්‍රිකා දෙකට මෙය අන්තර්ගත කළේ නැත. BIRDS-3 මෙහෙයුමේ 3 වන චන්ද්‍රිකාව වන ජපන් Uguisu චන්ද්‍රිකාවට පමණක් මෙය අන්තර්ගත කරන ලදී. අනිත් චන්ද්‍රිකා දෙකේ Backplane එක සකස් කළ ආකාරයටම මෙහෙයුම පුරා පවතී.

BIRDS-3 කණ්ඩායම

Raavana-1 ලෙසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව 437MHz රේඩියෝ තරංග ඔස්සේ සන්නිවේදනය කරයි. මෙය ආධුනික රේඩියෝ ශිල්පීන්ට පවා ග්‍රහණය කර ගත හැක. මෙම සන්නිවේදන පද්ධතියේ මූලික වගකීම හා දත්ත එකතු කිරීමේ කාර්යය තරිදු දයාරත්නටත්, චන්ද්‍රිකාවේ පරිගණක පද්ධතිය හා ADC පද්ධතියේ වගකීම දුලානි චාමිකාටත් පැවරී තිබුණි. මීට අමතරව සියළු කාර්යයන් සදහා ජපාන ඉංජිනේරුවන්ගේ සහාය හිමි විය. වසර දෙකක සංවර්ධනයකින් පසු 2019 වසරේදී චන්ද්‍රිකා 3 දියත් කිරීමට සූදානම් කළ අතර ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) යටතේ මෙම චන්ද්‍රිකා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට යවා, නැවතුම්පළේ Kibo ජපාන විද්‍යාගාර මොඩියුලයේ සිට පෘථිවි කක්ෂයට මුදා හැරීම සැලසුම විය.

Cygnus NG-11 දියත් කිරීම

ඒ අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට භාණ්ඩ රැගෙන යන ඇමරිකාවේ Northrop Grumman සමාගමේ 11 වන Cygnus යානයට මෙම චන්ද්‍රිකා ඇතුල් කරන ලදී. Cygnus NG-11 නමින් හැඳින්වූ මෙහෙයුම යටතේ 2019 අප්‍රේල් 18 වනදා පෙ.ව. 02.16 ට ඇමරිකාවේ ‌වර්ජිනියා ජනපදයේ නාසා වොලොප්ස් පියාසර මධ්‍යස්ථානයේ “මධ්‍යම-අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපළේ” (Mid-Atlantic Regional Spaceport) Pad-0A වේදිකාවෙන් දියත් කළ Northrop Grumman සමාගමේ Antares 230 රොකට්ටුව සාර්ථකව එහි ගෙන ගිය Cygnus "S.S. Roger Chaffee" යානය නැවතුම්පළ බලා ගමන් ගන්නා කක්ෂයකට මුදා හරින ලදී. පසුව එය අප්‍රේල් 19 වනදා නැවතුම්පළ සමග සම්බන්ධ විය.

Cygnus "S.S. Roger Chaffee" යානය නැවතුම්පළේ ප්‍රධාන රෙබෝ අතෙන් අල්ලා ගැනීමෙන් පසු

කිලෝග්‍රෑම් 3,436 ක භාණ්ඩ රැගෙන ගිය මේ යානයේ තිබූ CubeSat ගණනාවක් අතර කිලෝග්‍රෑම් 1 ක පමණ ස්කන්ධය ඇති ශ්‍රී ලංකාවේ Raavana-1 චන්ද්‍රිකාවත් අන්තර්ගත විය. 2019 ජුනි 17 වනදා ප.ව. 03.45 ට Kibo මොඩියුලයේ රොබෝ අතට සම්බන්ධ කළ CubeSat Dispenser එකක් මඟින් නේපාලයේ NepaliSat-1, ශ්‍රී ලංකාවේ Raavana-1 හා ජපානයේ Ugiusu යන BIRDS-3 චන්ද්‍රිකා 3 පෘථිවි කක්ෂයට මුදා හරින ලදී.

BIRDS-3 චන්ද්‍රිකා මුදා හැරීම

මෙම චන්ද්‍රිකා දියත් කරන මොහොතේ නැවතුම්පළ පැවති කිලෝමීටර් 420 ක් උස, ආසන්න වශයෙන් වෘත්තාකාර, සමකයට 51.6°ක ආනතියක් ඇති කක්ෂයකට චන්ද්‍රිකා 3 ත් ඇතුල් විය. නමුත් පහළ පෘථිවි කක්ෂයේ ඇති තුනී වායුගෝලය නිසා චන්ද්‍රිකා මත වායුගෝලීය ප්‍රතිරෝධී බලයන් (Drag) ක්‍රියා කරයි. මේ නිසා කාලය සමඟ චන්ද්‍රිකාවේ වේගය කෙමෙන් අඩු වන අතර ඒ සමඟ ඒවායේ කක්ෂය පහළට පැමිණේ. අභ්‍යවකාශ නැවතුම්පළ විටින් විට එහි රොකට් එන්ජින් හෝ එයට සම්බන්ධ කර ඇති අභ්‍යවකාශ යානාවල රොකට් එන්ජින් මඟින් තම කක්ෂය ඔසවා ගන්නා නමුත් මේ කුඩා CubeSat වලට එසේ කිරීමට නොහැක.

මේ නිසා වසර 2 ක් පුරා ටිකෙන් ටික පහළට පැමිණි Raavana-1 චන්ද්‍රිකාව දින කිහිපයකට පෙර කිලෝමීටර් 200 නුත් පහළට පැමිණෙන ලදී. මෙවැනි උසකදී පෘථිවි වායුගෝලය සැලකිය යුතු වායු ප්‍රතිරෝධී බලයක් ඇති කරන අතර Raavana-1 චන්ද්‍රිකාවේ වේගය ඉක්මණින් අඩු වීමට ආරම්භ විය. අවසානයේ ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව වූ Raavana-1 පෙරේදා (03) ප.ව. 09.39 ට ඇමරිකාවට බටහිර දෙසින් ශාන්තිකර සාගරයට ඉහළින් පෘථිවියේ ඝනකම් වායු ස්ථරවලට ඇතුල් වී දැවී විනාශ වූයේ එහි මෙහෙයුම සාර්ථකව අවසන් කරමිනි.