Loading...
Crew-1 කණ්ඩායම ISS එකට සාර්ථකව ඇතුල් වෙයි

ඉතිහාසයේ ප්‍රථම නාසා-බලපත්‍රලාභී මිනිසුන් ගෙන යාහැකි පෞද්ගලික වාණිජ අභ්‍යවකාශ යානය ඊයේ (නොවැම්බර් 16) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.57 ට ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Launch Complex 39A මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත තම ගමන ආරම්භ කලා.

පෘථිවි කක්ෂයට ඇතුලත් වුන Resilience යානය ISS එකට සම්බන්ධ වෙන්න කරන්න ප්‍රධාන වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි ISS එකේ වේගය වන පැයට කිලෝමීටර 27,000 ක වේගයක් Resilience යානය ලබා ගන්න ඕනේ.අනිත් එක තමයි ISS ගමන් කරන පෘථිවියට කිලෝමීටර 400 ක් ඉහලින් ඇති කක්ෂයට ඇතුල් වෙන්න ඕනේ.

මේ වැඩ දෙකම සාර්ථක කරගන්න Resilience යානය සිදුකරන්න ඕනේ "බර්න්ස්" (එන්ජින් දහනයන්) 5 ක් සාර්ථකව සිදුකළා. ඒ තමයි,

  1. Phase Burn - ඊයේ (නොවැම්බර් 16) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.43 ට,
  2. Boost Burn - ඊයේ පස්වරු 9.47 ට ,
  3. Close Burn - ඊයේ පස්වරු 10.32 ට ,
  4. Transfer Burn - අද (නොවැම්බර් 17) පෙරවරු 4.00 ට ,
  5. Coelliptic Burn - අද පෙරවරු 5.05 ට.

Resilience යානය ISS සීමාවට ඇතුලත් වුනේ ඉන් අනතුරුවයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 8.39 ට.සියළුම මෙහෙයුම් කටයුතු Resilience යානය විසින් ස්වයංක්‍රීය පාලනයකින් සිදුකෙරුණු අතර එය නිරීක්ෂණය කිරීමේ කටයුතු Crew-1 නියමුවන් විසින් අඛණ්ඩව සිදු කළා.

Resilience යානය ISS එකට සම්බන්ධ වුණේ Harmony මොඩියුලයේ තියෙන International Docking Adapter (IDA) එක හරහායි. Soft Capture එක සහ Hard Capture එක සිදුවුණේ පිලිවෙලින් ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.32 ට සහ පෙරවරු 9.46 ට. ඒ ඇමරිකාවේ අයිඩහෝ ප්‍රාන්තයට කිලෝමීටර 400 ක් ඉහල අභ්‍යවකාශයේදී.

ISS එකේ හැච් එක විවෘත කරන්නේ මේ වනවිට ISS එකේ රැඳී සිටින NASA අභ්‍යවකාශගාමී Kathleen Rubins විසින්. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.53 ට. ලීක්ස් චෙක් කරලා, ප්‍රෙෂර් බැලන්ස් කරලා, ඇඳුම් මාරු කරගෙන ඉවර වෙලා Resilience යානයේ හැච් එක අරින්නේ පෙරවරු 11.48 ට.

Crew-1 කණ්ඩායම, ඒ කියන්නේ NASA අභ්‍යවකාශගාමීන් වන Michael Hopkins, Victor Glover සහ Shannon Walker සමඟ JAXA අභ්‍යවකාශගාමී වන Soichi Noguchi, ISS එකට ඇතුල් වෙන්නේ ඉන් අනතුරුවයි. ඔවුන්ව පිළිගන්නේ NASA අභ්‍යවකාශගාමී Kathleen Rubins සමඟ Roscosmos අභ්‍යවකාශගාමීන් වන Sergey Ryzhikov සහ Sergey Kud-Sverchkov විසින්.

Resilience යානය ISS එකට එන ගමනේ Phase Burn එකයි Boost Burn එකයි අතර වුන විශේෂ දේවල් දෙකක් අමතක නොකරම බැහැ. ඒ තමයි Crew-1 මිෂන් එකේ Zero-G Indicator එක ලෙස "Baby Yoda" අනුරුවක් යොදාගන්න බව ප්‍රකාශ කිරීම සහ තම ප්‍රථම අභ්‍යවකාශ ගමනට එක් වුණ NASA අභ්‍යවකාශගාමී Victor Glover හට "Gold Astronaut Pin" එක ප්‍රදානය කිරීම.

Crew-1 කණ්ඩායම ISS Expedition 64 එක්ක මේ විදියට එකතු වෙන්නේ මාස 6 ක් ISS වල රැඳී සිටීමේ අරමුණින්. ඒ අතර මානව ඉතිහාසයේ සුවිශේෂී පරීක්ෂණ කටයුතු රාශියක් ඔවුන් විසින් සිදු කරනවා.

ඒ පරීක්ෂණ වල අප්ඩේට්ස් එක්ක නැවත හමුවෙමු.