Loading...
ඉතිහාසය අලුත් කරමින් SpaceX Crew-1 මිෂන් එක සාර්ථකව අවසන් වෙයි

වසර 53 කට පසු ඇමරිකානු ගගනගාමීන් රාත්‍රියකදී පෘථිවියට පැමිණෙයි

2020 නොවැම්බර් 16 දින ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි Kennedy Space Center එකේ LC-39A ලෝන්ච් පෑඩ් එකෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) ගිහින් එහේ මාස 6 ක් හිටපු NASA ගගනගාමීන් වන Mike Hopkins, Victor Glover, Shannon Walker සහ JAXA ගගනගාමී Soichi Noguchi රැගත් SpaceX Crew Dragon - Resilience කැප්සියුලය ISS එකේ Harmony Module එකේ zenith port එකෙන් ඉවත් වුණේ 2021 මැයි 1 වෙනිදා.

ISS සිට නැවත පෘථිවියට පැමිණෙන ගමන ආරම්භ කරපු Resilience කැප්සියුලය අවසාන ක්‍රියාවලියට පැමිණුනේ ඉන් පසුවයි.

ISS එකෙන් Undocking වීමත්, Splashdown එකත් අතර තමයි මුළු ක්‍රියාවලිය පැවතෙන්නේ.එය ප්‍රධාන පියවර 7කින් සමන්විතයි.

01. Departure

ISS එකෙන් Resilience එක අයින් වුණේ 2021 මැයි 1 වෙනිදා ප.ව.8:35 ට. සුළු engine burns 2ක් කරලා තමයි ඒ වෙන්වීම වුණේ.

02. Phasing burns

Resilience එක ක්‍රමානුකූලව කක්ෂය මාරු කරමින් පහළට එන එකත්, වේගය ක්‍රමයෙන් අඩු කරන වැඩෙත් කලේ phasing burns 3 ක් මගින්.

කෙටි burns කීපයකින් සමන්විත වුණ පලවෙනි phasing burn එක වුණේ ප.ව.8:40 ට.

තත්පර 42 ක දෙවෙනි phasing burn එක වුණේ ප.ව.9:28 ට.

තත්පර 61 ක තුන්වෙනි phasing burn එක වුණේ ප.ව.10:14 ට.

03. Trunk Jettison

යානයේ බර සැහැල්ලු කර ගැනීමත්, ඉන්ධන ඉතුරු කර ගැනීමත් සඳහා යානයේ පහළ කොටස ගැලවීම සිදු වුනේ මැයි 2 වෙනිදා පෙ.ව.1:58 ට. එහි ස්කන්ධය කිලෝග්‍රෑම් 2700 කට ආසන්නයි.

04. Deorbit Burn

අවසාන පහළට ඒමේ deorbit burn එක වුණේ පෙ.ව.2:03 ට. මෙය විනාඩි 16 තත්පර 27 ක් පුරාවට පැවතුණා. මෙයින් Resilience එකේ වේගය පැයට කිලෝමීටර 400 කින් පමණ අඩු වුණා.

05. Re Entry

යානය පෘථිවි වායුගෝලයට ඇතුල් වුණේ පෙ.ව.2:45 ට. ඒ පැයට කිලෝමීටර 27,400 ක් වේගයෙන්. එහිදී යානය වටා ගොඩ නැගුණු උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000 කට ආසන්නයි.

06. Parachutes Deploy

මුලින්ම කුඩා ප්‍රමාණයේ Drogue parachutes ක්‍රියාත්මක වුණේ කිලෝමීටර 5.5 ක් ඉහළ අහසේදී. ඒ පෙ.ව.2:52 ට. එහිදී යානයේ වේගය පැයට කිලෝමීටර 550 ක් පමණ වුනා.

විනාඩියකට පමණ පසුව ප්‍රධාන පැරශූට් 4 ක්‍රියාත්මක වුණේ කිලෝමීටර 2 ක් ඉහළ අහසේදී. එහිදී යානයේ වේගය පැයට කිලෝමීටර 190 ක් පමණ වුනා.

07. Splashdown

Resilience යානය මුහුදට පතිත වුණේ පෙ.ව.2:57 ට. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි පැනමා නගරයට ආසන්න මුහුදු ප්‍රදේශයටයි. එහිදී යානයේ වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ වුනා.

මේ splashdown එක ඉතිහාසය අලුත් කරපු එකක් වුණා. වසර 53 කට පසුව තමයි ඇමරිකානු ගගනගාමීන් රැගත් යානයක් රාත්‍රී කාලයේදී පෘථිවියට පැමිණුනේ.

අවසාන වතාවට එවැනි සිදුවීමක් වාර්තා වුනේ 1968 දෙසැම්බර් 27 දින. Bill Anders, Frank Borman සහ Jim Lovell රැගත් Apollo 8 යානය පැසිෆික් සාගරයට පතිත වෙද්දී වේලාව ප.ව.9:21.

Splashdown එකෙන් පස්සේ Resilience යානය රිකවර් කරන්න මුහුදට ගියේ GO Navigator කියන SpaceX Rescue Ship එක. GO Navigator එක ඇතුලට අරන් Dragon Nest එක උඩින් තියපු Crew Dragon යානයේ hatch එක ඇරලා පරිස්සමට හතර දෙනාව එලියට අරන් හෙලිකොප්ටර් එකකින් ගොඩබිමට ගෙනිහින් NASA ප්ලේන් එකට මාරු කිරීම සිදු කරා.

මේ වනවිට හතර දෙනාම හොඳ සනීපෙට මහන්සි අරින්නේ Houston වල NASA Space Center එකේ.

මේ NASA SpaceX Crew-1 මිෂන් එක තවත් වාර්තාවක් තිබ්බා. ඒ තමයි අභ්‍යවකාශයේ වැඩිම කාලයක් හිටපු ඇමරිකානු Crew Mission එක හැටියට. මේ මුළු මිෂන් එක දවස් 168 ක්. (ISS එක ඇතුලේ දවස් 167 යි, යන එන ගමන් දෙකට දවස් 1 යි)

මීට කලින් ඒ වාර්තාවට හිමිකම් කිව්වේ දවස් 84 ක් අභ්‍යවකාශයේ හිටපු අවසන් Skylab මිෂන් එක. ඒ 1974 පෙබරවාරි වල.

Hopkins, Glover, Shannon සහ Noguchi මේ දවස් 168 ක කාලයේ පෘථිවිය වටා පරිභ්‍රමණ 2,688 ක් සිදු කරලා තියෙනවා. එහි මුළු දුර Statute Miles මිලියන 71 ක්. ඒ කියන්නේ කිලෝමීටර් මිලියන 115 ක්.

Hopkins, Glover සහ Noguchi විසින් spacewalks 5 ක් මේ කාලය අතරතුරේ කරා.

වාර්තා තබපු දවස් 168 ක NASA SpaceX Crew-1 මිෂන් එක ඔන්න ඔහොමයි ඉවර වුනේ. නැවත මිෂන් එකකින් හම්බෙමු.

* * * (සැ.යු. - සියළුම වේලාවන් පැසිෆික් වේලාවෙන් බව සලකන්න. ශ්‍රී ලංකා වෙලාවට සකස් කරගැනීමට පැය 9 විනාඩි 30 ක් එකතු කරන්න)