Loading...
SpaceX Crew Dragon Demo-2 නැවත පැමිණීමට සියල්ල සූදානම්

අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් පෞද්ගලික ආයතනයක් නිපදවූ අභ්‍යවකාශ ‍යානයකින් අභ්‍යවකාශගත වූ ප්‍රථම පුද්ගලයන් ලෙස NASA ගඟනගාමීන් වන Robert Behnken සහ Douglas Hurley රැගත් SpaceX Crew Dragon Endeavour යානය International Space Station එකට ගියේ පසුගිය මැයි 30 වෙනිදා.ඒ ෆ්ලොරිඩාවේ පිහිටා ඇති Kennedy Space Center එකට අයත් 39A Complex එකෙන් පිටත් වූ SpaceX Falcon 9 රොකට් එකෙන්.

මැයි 31 ISS එකට ඩොක් වුණ Crew Dragon එක මාස 2කට පස්සේ නැවත August 2 පෘථිවියට පැමිණීමට නියමිතයි.

මේ ඒ නැවත පැමිණීමේ කතාවේ විශේෂම කාරණා 10ක්.

1. කොහෙටද යානය Splashdown (වතුරට වැට්ටවීමේ ක්‍රමයක්) කරන්නේ?

NASA සහ SpaceX විසින් මේ වෙනකොට Florida ආශ්‍රිත ස්ථාන 7ක් යානය Splashdown කරන්න හඳුනාගෙන තියෙනවා. ඒ Pensacola, Tampa, Tallahassee, Panama City, Cape Canaveral, Daytona, සහ Jacksonville ආශ්‍රිත මුහුදු තීර.

2. හරිම Splashdown location එක කොහොමද තීරණය කරන්නේ?

ඒකට සාධක ගොඩක් බලපානවා. ප්‍රධානම එක තමයි යානය හරියටම ISS එකෙන් undock වෙන දවස සහ වෙලාව.

අනිත් ප්‍රධානම සාධකය තමයි "කාලගුණය".

Undocking එකයි Splashdown එකයි අතර අඩුම කාලයක් තබා ගැනීම සහ Daylight එකක් තියෙන වෙලාවේ Splashdown එක සිද්ධ වීම කියන කාරණා 2ත් මෙහිදී විශේෂයෙන් සළකා බලනවා. කොහොමත් undock කරන්න පැය 6කට කලින් තමයි Splashdown location එක ගැන අවසාන තීරණය ගන්නේ.

3. යානයට පෘථිවියට එන්න කොච්චර වෙලාවක් යනවද?

සියළුම සාධක හරියටම තිබුණොත් පැය 6කින් යානයට පෘථිවියට එන්න පුලුවන්.
නැත්තන් පැය 30ක් වෙනකන් කාලයක් යන්නත් පුලුවන්ලු. බැරිවෙලාවත් කාලගුණය හරස් වුනොත් නැවත Splashdown location එක සෙට් කරගන්න පෘථිවි කක්ෂයට වෙලා රැඳිලා ඉන්න වෙන නිසා තමයි එච්චර වෙලාවක් යන්නේ.

4. නැවත පැමිණීමේ විශේෂ කාරණා මොනාද?

Crew Dragon යානය ISS එකෙන් undock වෙනකොට ඒකේ බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 12,500ක් විතර වෙනවා.

Undock වෙද්දි සුළු Engine burnouts 2 ක් වෙන්න නියමිතයි. ISS එකෙන් රිලීස් වුනාම departure burns 4 ක් කරලා තමයි ISS එකෙන් යානය ඈත් වෙන්නේ. මේක වෙන්නේ සම්පූර්ණයෙන්ම මිනිස් පාලනයෙන් තොර ස්වයංක්‍රීය ක්‍රියාවලියකින්.

පැය කීපයකට පස්සේ මිනිත්තු 6ක කාලයක් පුරා වෙන Departure Phasing burn එකෙන් තමයි යානය පෘථිවි කක්ෂයට ඇතුළත් වෙන්නේ. Crew Dragon එකේ පහළ බඳ ගැලවිලා යන්නේ ඊටපස්සේ. ඒක වායුගෝලයේදී ගිණි අරගෙන විනාශ වෙන්න නියමිතයි.

අවසාන Deorbit burn එක වෙන්නේ ඊටපස්සේ. ඒකෙන් splashdown location එකට හරියටම පාත් එක සෙට් කර්ගන්න එක තමයි වෙන්නේ. මේ සියළුම කොටස් ගැලවීම්, ඉන්ධන දහනයන් වලින් පස්සේ ඉතිරි වන Crew Dragon කැප්සියුල් එකේ බර වෙන්නේ ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 9,600ක්.

5. පෘථිවියට එද්දි යානයේ වේගය සහ මතුපිට උෂ්ණත්වය කොහොම තියෙයිද?

පෘථිවි වායුගෝලයට ඇතුල් වෙද්දි යානයේ වේගය පැයට කිලෝමීටර 28,200ක් පමණ වෙනවා. එවිට යානයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,900ක් විතර වෙයි කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. මේ කාලසීමාව විනාඩි 6ක් වගේ වන අතර, මේ කාලයේදී යානයත් පෘථිවියේ පාලක මැඳිරි අතර සම්බන්ධය තාවකාලික ඇණහිටීමකට ලක්වෙන්න නියමිතයි.

6. පැරශූට් දාන්නේ මොන වෙලාවේද?

පෘථිවියේ සිට අඩි 18,000ක උසකට ආවම තමයි යානය පලවෙනි පැරශූට් යුගලය ක්‍රියාත්මක කරන්නේ. ඒ වෙද්දි යානයේ වේගය පැයට කිලෝමීටර 560ක්. ඊලඟ පැරශූට් යුගලය ක්‍රියාත්මක වෙන්නේ අඩි 6,000ක උසකට ආවාම. එතකොට වේගය පැයට කිලෝමීටර 190ක්.

7. Crew Dragon කැප්සියුල් එකයි Bob සහ Doug වයි අරගන්න යන්නේ කවුද?

මේ වැඩේට SpaceX එකේ recovery ships දෙකක් වෙන Go Searcher සහ Go Navigator සහභාගි වෙනවා. Splashdown Locations 7 මේ නැව් 2න් තමයි කවර් වෙන්නේ. දෙකෙන් එකක් තමයි වැඩේට සම්බන්ධ වෙන්නේ.

මේ එක නැවක කාර්‍ය මණ්ඩලය 40 බැගින් ඉන්නවා. අභ්‍යවකාශ යානා ඉංජිනේරුවරුන්, ජීවිතාරක්ෂක කණඩායම්, වෛද්‍ය කණ්ඩායම්, නැවේ කාර්‍ය මණ්ඩලය සහ NASA බහාලුම්(cargo) විශේෂඟදයෝ මේ 40ට ඇතුලත්.

8. Splashdown එකෙන් පස්සේ එළියට එනකන් කොච්චර වෙලාවක් Doug සහ Bob කැප්සියුල් එක ඇතුලේ ඉන්න ඕනේද?

Splashdown එක වුණ ගමන්ම fast boats 2ක් නැවෙන් යනවා යානයට. එක බෝට්ටුවක් කරන්නේ යානය අවට ඉන්ධන කාන්දු, ඉන්ධන වෂ්ප එහෙම තියෙනවද කියලා පරීක්ෂා කරන එක. අනිත් බෝට්ටුව යන්නේ පැරශූට් 4 රිකවර් කරන්න. මොකද splashdown එක වෙද්දි පැරශුට් ටික කැප්සියුල් එකෙන් වෙන් වෙලා වෙන තැනකට වැටෙන නිසා.

ඊටපස්සේ තමයි නැව ගිහින් කැප්සියුල් එක නැවට ගන්නේ. නැව ඇතුලේ තියෙන විශේෂ කුටීරයකට ගෙනිහින් තමයි කැප්සියුල් එක අරින්න ප්ලෑන් කරලා තියෙන්නේ. මේ ඔක්කොම වැඩවලට මිනිත්තු 45ත් 60ත් අතර කාලයක් යයි.

9. කැප්සියුල් එකෙන් එලියට එන Doug සහ Bob කොහේ යයිද?

මුලින්ම ඒ දෙන්නව බාරගන්නේ නැවේ ඉන්න වෛද්‍ය කණඩායම විසින්. මූලික පරීක්ෂණවලින් පස්සේ ඒ දෙන්නව ගොඩබිමට ගෙනියනවා. ඒ නැවෙන් හරි අවශ්‍යම වුනොත් හෙලිකොප්ටරයෙන්.

ගොඩබිමට එන Bob සහ Doug ව එතනින් බාරගන්නේ NASA එක. NASA ප්ලේන් එකකින් එයාලා යන්නේ කෙලින්ම Houston වලට.

10. ඊළඟට මොකද වෙන්නේ?

SpaceX Crew Dragon කැප්සියුල් එක කෙලින්ම අරන් යන්නේ SpaceX Dragon Lair එකට. ඒ සියලුම පරීක්ෂණ කටයුතුවලට. මේ පරීක්ෂණ වලින් පස්සේ තමයි NASA එක SpaceX එකට "මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් සඳහා SpaceX යානා සුදුසුකම් ලැබීමේ සහතිකය" ඔෆීශලි නිකුත් කරන්නේ.

මේ මිශන් එක ඇත්තටම trial එකක්. ඒකයි මේකට Demo-2 කියන්නේ. මේකෙන් කලේ NASA එක පරීක්ෂා කරනවා ඇත්තටම SpaceX යානා මිනිස්සු ගෙනියන වැඩේට හොඳද කියන කාරණය.
එහෙම බැලුවාම මේ trail එක නිරීක්ෂණය කරන්න ආපු NASA පරීක්ෂකවරු දෙන්නා තමයි Doug සහ Bob.

මේ ඔක්කොගෙන්ම පස්සේ NASA එකයි SpaceX එකයි කරන හරිම පළවෙනි මිශන් එක තමයි Crew-1 mission එක. NASA අභ්‍යවකාශගාමීන් වන Michael Hopkins (commander), Victor Glover (pilot) සහ Shannon Walker (mission specialist) සමඟ JAXA (Japan Aerospace Exploration Agency) ගඟනගාමී Soichi Noguchi (mission specialist) කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ISS එකට ගෙනියන එක තමයි මිශන් එක.
මේක 2020 සැප්තැම්බර් පහුවෙලා කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ.

ඇත්තටම මේ ප්ලෑන් එකට Crew Dragon Demo-2 එක පෘථිවියට ආවද? මොනාද වුණ සුවිශේෂී සිදුවීම්? ඒ තොරතුරුත් එක්ක නැවත හමුවෙමු.