Loading...
චීන රොකට්ටුවක් පෘථිවියට කඩා වැටීමට ආසන්නයි

පසුගිය වසරේ දියත් කළ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනායතනය විසින් දියත් කළ Tianhe මොඩියුලය ජූලි 24 වනදා වනතුරු චීන අභ්‍යවකාශ නැවතුම්පළ ලෙස තනිව අභ්‍යවකාශයේ පැවතුණි. නමුත් 25 වනදා අළුයම Tianhe මොඩියුලයට සම්බන්ධ වූ Wentian විද්‍යාගාර මොඩියුලයත් සමඟින් චීන අභ්‍යවකාශ නැවතුම්පළ මොඩියුල් කිහිපයකින් සමන්විත වන අභ්‍යවකාශ නැවතුම්පළක් බවට පත් විය. මීට පෙර ඉතිහාසයේ මොඩියුල එකකට වැඩි අභ්‍යවකාශ නැවතුම්පළවල් ලෙස පැවතියේ Mir සහ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ පමණි. දැන් චීනයත් ඒ මට්ටමට දියුණු වී අවසන්ය.

චීන අභ්‍යවකාශ නැවතුම්පළේ සිට ගත් ඡායාරූපයක්

2021 අප්‍රේල් 29 වනදා දියත් කළ Tianhe මොඩියුලය පවතින්නේ කිලෝමීටර් 390 ක් ඉහළ, සමකයට 41.5° ක් ආනත කක්ෂයකයි. මෙම මොඩියුලය තනිව පවතින කාලයේ Shenzhou 12 සහ Shenzhou 13 යානාවලින් ගගනගාමීන් තිදෙනා බැගින් නැවතුම්පළේ පිළිවෙළින් මාස 3 ක් සහ මාස 6 ක් ගත කරන ලදී. නමුත් ජුනි 05 වනදා Shenzhou 14 යානයෙන් පැමිණි නව ගගනගාමී කණ්ඩායම මාස 6 කට පසු නැවතුම්පළින් පිටව යන විට නම් නැවතුම්පළ තනි මොඩියුලයක් ලෙස පවතින්නේ නැත. ඒ අළුතින් එක් කළ Wentian විද්‍යාගාර‌ මොඩියුලය සහ ඔක්තෝබර් මාසයේ එක් කරන Mengtian විද්‍යාගාර මොඩියුලය නිසායි.

Wentian (“Quest for the Heavens”) විද්‍යාගාර මොඩියුලය කිලෝග්‍රෑම් 22,000 ක ස්කන්ධය ඇති, මීටර් 17.9 ක් දිග, මීටර් 4.2 ක විෂ්කම්භය ඇති මොඩියුලයකි. මෙය තුළ විවිධාකාර ක්ෂේත්‍රයන්වල විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට උපකරණ සහ පහසුකම් අන්තර්ගත වේ. මොඩියුලය තුළ පමණක් නොව මොඩියුලයෙන් පිටතත් විවිධාකාර පරීක්ෂණ රැඳවීමට හැකියාව පවතී. අභ්‍යවකාශයේ රික්තයට සහ විකිරණවලට නිරාවරණය කළ යුතු පරීක්ෂණ මෙලෙස රැඳවීමට හැක.

Wentian මොඩියුලයේ සූර්ය පැනල විවෘත කළ පසු සම්පූර්ණ පළල මීටර් 55 ක් පමණ වේ. මෙම විශාල සූර්ය පැනල මඟින් නැවතුම්පළේ විදුලි බල උත්පාදනය ඉහළ දමයි. ඊට අමතරව ගගනගාමීන්ට නැවතුම්පළින් පිටතට ගමන් කිරීම සඳහා යොදා ගන්නා වා අගුලක් (Airlock) මෙහි අන්තර්ගත වන අතර කුඩා රොබෝ අතකුත් මෙම මොඩියුලයේ පිටත සම්බන්ධ කර ඇත.

Wentian මොඩියුලය දියත් කළේ චීනයේ බලවත්ම රොකට්ටුව වන Long March 5B මගිනි. මීටර් 53.66 ක් උස මේ රොකට්ටුවේ ඉන්ධන පිරවූ පසු ස්කන්ධය කිලෝග්‍රෑම් 837,500 ක් පමණ වේ. මෙමඟින් පහළ පෘථිවි කක්ෂයට කිලෝග්‍රෑම් 25,000 ක් පමණ දියත් කළ හැක. ඒ නිසා මෙය වර්තමාන ලෝකයේ තෙවෙනියට බලවත්ම රොකට්ටුව බවට පත් වේ. මීටර් 5 ක විෂ්කම්භය ඇති පළමු අදියරේ ඇත්තේ ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන්වලින ක්‍රියා කරන YF-77 එන්ජින් දෙකකි. මේ එන්ජින් දෙක දියත් කිරීමේ සිට පහළ පෘථිවි කක්ෂය දක්වාම ක්‍රියා කරන අතර නිව්ටන් මිලියනක පමණ තෙරපුම් බලයක් උත්පාදනය කරයි.

නමුත් මෙම එන්ජින් දෙකට තනිවම රොකට්ටුව පොළවෙන් ඉහළට එසවීමට හැකියාවක් නොමැත. ඒ සඳහා රොකට්ටුවේ බූස්ටර් 4 ක් ඇත. පිරිසිදු කළ භූමිතෙල් (RP-1) සහ ද්‍රව ඔක්සිජන්වලින් ක්‍රියා කරන YF-100 රොකට් එන්ජින් 2 බැගින් එක් බූස්ටරයක ඇති අතර එක් එන්ජිමකින් නිව්ටන් මිලියන 1.2 ක් පමණ උත්පාදනය කරයි. මෙම එන්ජින් 10 න්ම බලගැන්වූ රොකට්ටුව චීනයේ Wenchang චන්ද්‍රිකා දියත් මධ්‍යස්ථානයේ LC-101 දියත් පුවරුවෙන් ඉහළට නැඟුනේ ජූලි 24 වනදා පෙ.ව. 11.52 ටයි.

Wentian මොඩියුලය සමඟ අභ්‍යවකාශය බලා යන Long March 5B-Y3

දියත් කිරීමෙන් මිනිත්තු 3 ක් පමණ ගත වූ විට ඉන්ධන අවසන් බූස්ටර් 4 ගලවා දැමූ අතර මිනිත්තු 8 ක දහනය අවසානයේ පළමු අදියර කිලෝමීටර් 182 x 299 x 41.4º ක පහළ පෘථිවි කක්ෂයකට ඇතුළු විය. ඉන්පසු Wentian මොඩියුලය මුදා හරින ලදී. පැය 13 ක් පුරාවට තම කක්ෂය ඔසවා ගත් Wentian මොඩියුලය 25 වනදා පෙ.ව. 12.43 ට පමණ Tianhe මොඩියුලයේ ඉදිරිපස සම්බන්ධක දොරටුව සමග සම්බන්ධ විය. පසුව මෙය දකුණු පස හෝ වම් පස දොරටුව වෙත මාරු කරනු ඇති.

Wentian මොඩියුලය, ගගනගාමීන් පැමිණි Shenzhou 14 යානය, Tianhe මොඩියුලය සහ භාණ්ඩ ප්‍රවාහන Tianzhou 4 යානය

අතහැර දැමූ රොකට්ටුවේ පළමු අදියර අස්ථාවර පහළ පෘථිවි කක්ෂයක පවතී. වායුගෝලීය ප්‍රතිරෝධී බලය (Drag) නිසා කෙමෙන් කෙමෙන් ප්‍රවේගය අඩු වන මෙම අදියර සති කිහිපයකින් පාලනයකින් තොරව පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇත. ඉන්ධන නොමැතිව ටොන් 20 ක පමණ ස්කන්ධයක් ඇති නිසා වායුගෝලයට ඇතුළු වීමේදී ඉතිරි වන කොටස්වලින් සුළු ප්‍රමාණයක් පොළවට ළඟා වීමට ඉඩ ඇත. 2020 දී දියත් කළ පළමු Long March 5B රොකට්ටුව මේ ආකාරයටම පාලනයකින් තොරව වායුගෝලයට ඇතුළු වූ අතර ඉතිරි වූ කොටස් කිහිපයක් අයිවරි කෝස්ට් රාජ්‍යයට කඩා වැටුණි.

Tianhe මොඩියුලය දියත් කළ දෙවන Long March 5B රොකට්ටුවේ පළමු අදියර කඩා වැටුනේ ලංකාවට නිරිත දෙසින් ඉන්දියානු සාගරයටයි. මෙවර රොකට්ටුවේ පළමු අදියර කුමන ස්ථානයට කඩා වැටෙයිද යන්න තවම ප්‍රකාශ කළ නොහැක. කෙසේ නමුත් වායුගෝලයට ඇතුළු වන රොකට් අදියරක කොටසක් ඔබට හානියක් කිරීමට ඇති සම්භාවිතාව නොගිණිය හැකි තරම් කුඩා වේ.

රතු කොටුවකින් දක්වා ඇත්තේ කඩා වැටීමට නියමිත පළමු අදියරයි

Wentian මොඩියුලයෙන් පසුව Mengtian මොඩියුලය ඔක්තෝබර් මස දියත් කරනු ඇත. මීට අමතරව චීනය තවත් වැදගත් කොටසක් නැවතුම්පළට එක් කිරීමට සූදානම් වේ. එක් කරනවා කීවාට මෙම කොටස නැවතුම්පළට සම්බන්ධ වන්නේ විටින් විටයි. වැඩි කාලයක් මෙය කක්ෂයේ පවතින්නේ තනිවමයි. 2023 වසරේ දියත් කරන Chinese Survey Space Telescope (CSST) අභ්‍යවකාශ දුරේක්ෂය චීන අභ්‍යවකාශ නැවතුම්පළ පවතින කක්ෂයට ඉතා ආසන්න කක්ෂයකට ඇතුල් කිරීමට නියමිත වේ. මෙය විටින් විට නැවතුම්පළ හා සම්බන්ධ වන්නේ අළුත්වැඩියා කිරීම් හා පිළිසකර කිරීම් සදහායි.

මීටර් 2 ක විෂ්කම්භය ඇති දර්පණයක් ඇති මේ දුරේක්ෂයේ මෙගා පික්සල් 2,500 ක කැමරාවක් අන්තර්ගත වේ. ටොන් 15.5 ක ස්කන්ධයක් ඇති මේ අභ්‍යවකාශ දුරේක්ෂය නැවතුම්පළේ මොඩියුල සේම Long March 5B රොකට්ටුවකින් දියත් කරනු ඇත. ජුනි මාසයේ නැවතුම්පළට පැමිණි Chen Dong, Liu Yang සහ Cai Xuzhe විසින් Wentian මොඩියුලයේ සම්බන්ධ කිරීම අධීක්ෂණය කළ අතර Mengtian මොඩියුලය සම්බන්ධ කිරීමත් ඔවුන්ගේ මෙහෙයුම් කාලය තුළ සිදු කරනු ඇති. මේ වන තෙක් නැවතුම්පළට ගගනගාමී කණ්ඩායමක් ගියේ කලින් සිටි කණ්ඩායම පෘථිවියට පැමිණි පසුවයි.

නමුත් තවදුරටත් එසේ වන්නේ නැත. මින් ඉදිරිය⁣ට අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළේ මෙන් අළුත් ගගනගාමී කණ්ඩායම පැමිණි පසු දැන් සිටින කණ්ඩායම පෘථිවිය බලා පිටත් වනු ඇත.

මොඩියුල 3 ම නිසි පරිදි සවි කළ පසු චීන අභ්‍යවකාශ නැවතුම්පළ (Render)
Sources: US Today