Loading...
ලොව ප්‍රථම වරට උඩු ගුවනේදී ද්‍රව ඉන්ධන රොකට්ටුවක් අභ්‍යවකාශයට දියත් කරයි

ලෝක ඉතිහාසයේ විශිෂ්ට සලකුණක් තබමින් ලොව ප්‍රථම වරට උඩු ගුවනේදී ද්‍රව ඉන්ධන රොකට්ටුවක් අභ්‍යවකාශයට දියත් කරන්න Virgin Orbit අභ්‍යවකාශ ආයතනයට පුළුවන් වුණා.

Virgin Galactic ට අනුබද්ධ Virgin Orbit ආයතනයට අයත් LauncherOne කියන රොකට් එක තමයි මෙහිදී අභ්‍යවකාශ ගත කලේ. මෙය උඩු ගුවනේදී "එයාර් ලෝන්ච්" කරන වගකීම පැවරුණේ "Cosmic Girl" ට.

මෙය ටෙස්ට් ෆ්ලයිට් එකක් නොවීමත් විශේෂයක් වුනා. NASA ආයතනයට අනුබද්ධ වැඩසටහනක් තමයි ELaNa (Educational Launch of Nanosatellites) කියන්නේ.

STEM (Science, Technology, Engineering and M athematics) වලට සම්බන්ධ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ CubeSats උඩු ගුවනට යවන්න උදව් කරන වැඩේ තමයි මූලිකවම ELaNa එක කරන්නේ. (10cm x 10cm x 10cm ප්‍රමාණයේ කුඩා චන්ද්‍රිකා වර්ගයකට තමයි CubeSats කියන්නේ. ඒක ගැන වෙනම ලියන්නම්)

ඉතින් මේ ELaNa මිෂන් එකේ 20 වෙනි එක යටතේ CubeSats 10 ක් අභ්‍යවකාශගත කරන වැඩේ භාර වුණේ LauncherOne එකට.

මේ CubeSats 10 තමයි,

  1. CACTUS-1 – Capitol Technology University, Laurel, Md.
  2. CAPE-3 – University of Louisiana at Lafayette
  3. EXOCUBE – California Polytechnic State University, San Luis Obispo
  4. MiTEE – University of Michigan, Ann Arbor, Mich.
  5. PICS 1 – Brigham Young University, Provo, Utah
  6. PICS 2 – Brigham Young University, Provo, Utah
  7. PolarCube – University of Colorado at Boulder
  8. Q-PACE – University of Central Florida, Orlando, Fla.
  9. RadFXSat-2 – Vanderbilt University, Nashville, Tenn.
  10. TechEdSat-7 – NASA Ames Research Center, Moffett Field, Calif.

මේ නිසාම මේ සම්පූර්ණ මිෂන් එකට නම් දෙකක් තියෙනවා. Virgin Orbit යටතේ මේ මිෂන් එක Launch Demo 2 හැටියටත් NASA එක යටතේ මේ මිෂන් එක ELaNa 20 හැටියටත් හඳුන්වනවා.

Cosmic Girl කියන්නේ විශේෂයෙන් සකස් කරන ලද Boeing 747-400 වර්ගයේ ගුවන් යානයක්. Virgin Atlantic ගුවන් සමාගමේ මගී ගුවන් යානයක් ලෙස 2001 සිට 2015 දක්වා සේවය කළ මෙම යානය Virgin Galactic විසින් මිලදී ගෙන වෙනස් කළේ එයාර් ලෝන්චස් වලටමයි.

ග්‍රිනිච් වේලාවෙන් ප.ව.6.38 ට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි Mojave Air and Space Port එකෙන් LauncherOne රැගත් Cosmic Girl පිටත් වුණේ පැසිෆික් සාගරය දෙසට. ඒ කියන්නේ ඇමරිකාවෙන් බටහිර පැත්තට.

අඩි 30,000 ක් ඉහළ අහසේදී Cosmic Girl විසින් LauncherOne මුදා හැරියේ චැනල් දූපත් වලට සැතපුම් කීපයක් නිරිත දෙසට වෙන්න තියෙන ඩ්‍රොප් සෝන් එකේදී. ඒ ග්‍රිනිච් වේලාවෙන් ප.ව.7.39 ට.

තත්පර තුනක් නිදහසේ පහලට වැටුණු LauncherOne එකේ පළමු දහනය කළේ පළවෙනි කොටසේ තියෙන NewtonThree එන්ජිම. විනාඩි 3ක දහනයකට පස්සේ පළමු කොටස වෙන්වෙලා ඉවත් වුනා.

දෙවෙනි කොටසේ NewtonFour එන්ජිම ක්‍රියාත්මක වුනේ ඊට පසුවයි. එහි පළමු දහනය විනාඩි 6ක් පැවතුනා.

රොකට්ටුව පෘථිවි වායුගෝලයෙන් මිදී අභ්‍යවකාශයට ඇතුළු වී සුළු මොහොතකට පස්සේ CubeSats දහය ආරක්ෂා කරපු ෆෙයාරින්ග්ස් දෙක ගැලවුණා.

විනාඩි 46ක් තිස්සේ කක්ෂගත වුනු රොකට්ටුව තත්පර 5ක දෙවෙනි දහනයකට පස්සේ නිවැරදි කක්ෂයට පැමිණ CubeSats දහය අදාල කාල පරාසයන්වලදී පෘථිවි කක්ෂයට මුදා හැරියා.

ද්‍රව ඉන්ධන භාවිත කල රොකට්ටුවක් ඉහළ අහසේ සිට අභ්‍යවකාශගත කළ ලොව පළමු අවස්ථාව හැටියට ඉතිහාසගත වුණ LauncherOne හි සාර්ථකත්වයත් එක්ක Virgin Orbit ලොකු වෙනසක් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සිදු කරාවි කියලයි ගොඩක් දෙනෙක් කියන්නේ.