Loading...
රොකට් හදන්නේ නැතුව රොකට් අරි​න මොකද්ද මේ නාසා (NASA)?

අපි හැමදෙනාම නාසා (NASA) ආයතනය කියන දේ කුඩා කල සිටම අසා ඇත. නමුත් අප බොහෝමයක් දෙනා ඒ පිළිබඳව සිතා සිටින කාරණා වැරදි බව ඔබ නොදන්නවා විය හැකියි. එයට උදාහරණයක් ලෙස නාසා (NASA) ආයතනය රොකට් හදන්නේ නැති බව ඔබ දන්නවාද ?

NASA මූලස්ථානය | Credit: NASA

National Aeronautics and Space Administration හෙවත් ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනායතනය යනු ඇමරිකාවේ ස්වාධීන රාජ්‍ය ආයතනයකි. මෙහි වගකීම් වන්නේ ඇමරිකාවේ සිවිල් අභ්‍යවකාශ වැඩසටහන කළමණාකරණය කිරීම, අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම සහ ගගනවිද්‍යාව පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමයි. 1958 දී ඇමරිකානු ජනාධිපති Dwight Eisenhower විසින් ජාතික ගගනවිද්‍යා සහ අභ්‍යවකාශ පනත මඟින් එතෙක් කල් පැවති ගගනවිද්‍යාව පිළිබඳ ජාතික උපදේශණ කමිටුව (National Advisory Committee for Aeronautics) ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනායතනය බවට පත් කරන ලදී. NACA ආයතනය විසින් කරගෙන ආ ගගනවිද්‍යා පරීක්ෂණ ඒ ආකාරයෙන්ම NASA ආයතනය භාරයට වැටෙන අතර ආරක්ෂක අංශවලින් කරමින් තිබූ සමහර රොකට් සහ අභ්‍යවකාශ වැඩසටහන් NASA ආයතනයේ භාරයට ලබා දෙන ලදී.

පසුගිය සති කිහිපයේදී චන්ද්‍රයා බලා ගමන් කර ආපසු පැමිණී Orion යානයෙන් ලැබුණු ඡායාරූපයක් | Credit: NASA

අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම NASA ආයතනය ක්‍රියා කරන්නේත් ඇමරිකානු ජනතාවගේ බදු මුදල්වලිනි. 2022 වසර සඳහා ආණ්ඩුවෙන් ඩොලර් බිලියන 24 ක් වෙන් වුණු අතර මෙය ආණ්ඩුවේ අයවැයෙන් 0.48% ක් පමණ වේ. NASA ආයතනයේ මූලස්ථානය (HQ) වොෂින්ටන් DC වල පිහිටා ඇති අතර ආයතනයේ කළමණාකරණය සිදු වන්නේ මෙමඟිනි. කෙසේ නමුත් ආයතනයෙන් සිදු කරන ඉතිරි සියල්ලම සිදු වන්නේ රට පුරා පැතිරුණු මධ්‍යස්ථාන හරහායි.

ජෝන් F. කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය, මෙරිට් දූපත, ෆ්ලොරිඩා ජනපදය - KSC

KSC VAB‌ ගොඩනැගිල්ලේ සිට LC-39B දියත් පුවරුවට ගෙන යන පළමු SLS රොකට්ටුව | Credit: NASA

බොහෝ දෙනා NASA ආයතනය කියා දන්නා තැන මෙයයි. NASA ආයතනයේ දියත් කිරීම් සිදු කරන මූලික ස්ථානය කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන අතර ඒ නිසා එය අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටා ඇත. Launch Complex 39 දියත් කිරීම් සංකීර්ණය මෙම මධ්‍යස්ථානයේ පිහිටන අතර ඒ තුළ LC-39A සහ LC-39B ⁣දියත් පුවරු දෙක පිහිටයි. මේවා Saturn V රොකට් දියත් කිරීම්වලට ඉදි කළ අතර ඉන්පසු ෂටල් සඳහා භාවිතා කරන ලදී. වර්තමානයේදී 39A පුවරුව SpaceX සමාගමට කුලියට දී ඇති අතර 39B පුවරුව SLS රොකට් දියත් කිරීම් සඳහා යොදා ගනියි. රොකට් දියත් කිරීම්වලට අවශ්‍ය වන දියත් පාලක මැදිරි සංකීර්ණයක් මෙහි ඇති අතර ඊට එහා පැත්තේ ඇත්තේ බොහෝ දෙනා NASA ආයතනය කියා සලකන අති විශාල ගොඩනැගිල්ලයි. එය රොකට් එකලස් කරනා Vehicle Assembly Building එකයි. Saturn V රොකට් එකලස් කිරීමට ඉදි කළ මෙය ෂටල් සඳහා භාවිතා කිරීමෙන් පසු වර්තමානයේදී SLS රොකට් එකලස් කිරීමට භාවිතා කරයි. මෙම ගොඩනැගිල්ල තුළ එකලස් කරන රොකට් Crawler Transpoter නම් දැවැන්ත වාහනය විසින් LC-39A හෝ 39B පුවරුව වෙත ප්‍රවාහනය කරනු ලබයි. මීට අමතරව දියත් කිරීම සඳහා ගගනගාමීන් සූදානම් වන මැදිරියක්, දියත් කිරීම් සඳහා අභ්‍යවකාශ යානා සූදානම් කරන මැදිරි ආදිය කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇත.

ලින්ඩන් B. ජො(හ්)න්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, හ්‍යුස්ටන්, ටෙක්සාස් ජනපදය - JSC

JSC තුළ ඇති මෙහෙයුම් පාලක මැදිරියක් | Credit: NASA

බොහෝ දෙනා අසා ඇති "හ්‍යුස්ටන්" මෙයයි. NASA ආයතනයේ මානව අභ්‍යවකාශ වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන මෙය ගගනගාමීන් පුහුණු කිරීමේ සිට මෙහෙයුම් පාලනය දක්වා සියල්ල සිදු කරයි. කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දියත් පාලන මැදිරියකට රොකට්ටුව දියත් කිරීම දක්වා වගකීම් භාර වේ. රොකට්ටුව දියත් පුවරුවෙන් ඉහළට ගමන් කළ පසු මෙහෙයුම ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් පාලන මැදිරියකට භාර වේ. ඒ නිසා ගගනගාමීන් මෙහෙයුම පුරාවට සන්නිවේදනය කරන්නේ මේ මෙහෙයුම් මැදිරියක් සමඟයි. "හ්‍යුස්ටන්" කියා ඔවුන් අමතන්නේ ඒ නිසාය. ගගනගාමී පුහුණුවන විශාල ජල තටාක ⁣මෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළේ සහ අභ්‍යවකාශ යානාවල අනුරූ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇත.

⁣ජෝ(ර්)ජ් C. මා(ර්)ෂල් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානය, හන්ට්ස්විල්, ඇලබාමා ජනපදය - MSFC

අභ්‍යවකාශ ෂටල් සංවර්ධනය කරන සමයේ Enterprise යානය MSFC හි පරීක්ෂා කරන අයුරු | Credit: NASA

NASA ආයතනයේ විශාලතම මධ්‍යස්ථානය වන මෙහි මූලික වගකීම රොකට් සංවර්ධනයි. NASA ආයතනය විසින් භාවිතා කරන රොකට් සැලසුම් කිරීම සහ සංවර්ධනය මෙහි සිදු කරන අතර ඉන්පසු නිෂ්පාදනය සඳහා පෞද්ගලික/පොදු සමාගම්වලට කොන්ත්‍රාත්තු ලබා දෙයි. Saturn රොකට් පෙළපත සැලසුම් කිරීමෙන් පසු අභ්‍යවකාශ ෂටල් සංවර්ධනය MSFC එකෙන් සිදු කළ අතර වර්තමානයේ SLS රොකට්ටුවේ කළමණාකරණය සිදු කරන්නේ මෙමඟිනි.

ජෝන් C. ස්ටෙනිස් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, හැන්කොක්, මිසිසිපි - SSC

Saturn V රොකට්ටුවේ F-1 එන්ජිමක් SSC හි පරීක්ෂා කරන අයුරු | Credit: NASA

NASA ආයතනයේ රොකට් එන්ජින් පරීක්ෂණ සිදු කරන්නේ මෙහිදීය. තනි තනි එන්ජින් හෝ සම්පූර්ණ රොකට් අදියර ලෙසින්ම පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් මෙහි ඇති අතර රොකට් එන්ජින් නිෂ්පාදනය කරන බොහෝ සමාගම් මෙම මධ්‍යස්ථානය භාවිතා කරයි.

ගොඩා(ර්)ඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානය, ග්‍රීන්බෙල්ට්, මේරිලන්ඩ් ජනපදය - GSFC

GSFC තුළ එකලස් කරන James Webb අභ්‍යවකාශ දුරේක්ෂයේ ප්‍රාථමික දර්පණය | Credit: NASA

අභ්‍යවකාශ දුරේක්ෂ සහ පෘථිවිය නිරීක්ෂණය කරන NASA චන්ද්‍රිකා බොහෝමයක් කළමණාකරණය සහ පාලනය සිදු කරන්නේ මෙම මධ්‍යස්ථානයෙනි. ඊට අමතරව අභ්‍යවකාශ මෙහෙයුම්වලට අවශ්‍ය වන නව තාක්ෂණයන් සංවර්ධනය ආදී කාර්යයන් සහ NASA ආයතනයේ සන්නිවේදන ජාල බොහෝමයක් පාලනය කරන්නේ මෙමඟිනි.

ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය, California Institute of Technology විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ජනපදය - JPL

අගහරුට යැවීම සදහා රෝවරයක් සූදානම් කරන JPL | Credit: NASA

Caltech විශ්ව විද්‍යාලය යටතේ කළමණාකරණය කරන විද්‍යාගාරයක් වන මෙය මූලික වශයෙන්ම NASA ආයතනයෙන් ලැබෙන මුදල්වලින් ක්‍රියා කරයි. Surveyor, Viking, Cassini, Galileo, Juno, Magellan, Mariner, Voyager ආදී NASA ආයතනයේ ප්‍රධාන විද්‍යා මෙහෙයුම් බොහෝමයක් මෙන්ම අඟහරුට යැවූ සියළු රෝවර් සංවර්ධනය කළේ JPL ⁣එකෙනි. වාර්ෂිකව NASA ආයතනයේ මුදල්වලින් වැඩිම ප්‍රමාණයක් වියදම් වන්නේ JPL එකටයි.

ඒම්ස් පරීක්ෂණ මධ්‍යස්ථානය, සිලිකන් වැලි, කැලිෆෝනියා ජනපදය - ARC

ARC හි පරීක්ෂා කරනා නව තාප ආවරණයක් | Credit: NASA

Pioneer 10 සහ 11, LCROSS, Kepler වැනි මෙහෙයුම් මෙමඟින් සිදු කළ අතර NASA ආයතනයේ පැරෂුට් සහ තාප ආවරණය සම්බන්ධ පරීක්ෂණ සිදු කරන්නේ මෙහිදීය.

ඉතිරි මධ්‍යස්ථාන වැඩි අවධානය යොමු කරන්නේ ගගනවිද්‍යා සහ තාක්ෂණික උපකරණ සංවර්ධනයටයි. වර්තමානයේ වාණිජ ගුවන් යානාවල භාවිතා කරන නව තාක්ෂණයන්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් NASA ආයතනය විසින් සංවර්ධනය කර ඇත.

නීල් A. ආම්ට්‍රෝන්ග් පියාසර පරීක්ෂණ මධ්‍යස්ථානය, පාම්ඩේල්, කැලිෆෝනියා ජනපදය - AFRC

ජෝන් H. ග්ලේන් පරීක්ෂණ මධ්‍යස්ථානය, ක්ලීව්ලන්ඩ්, ඔහායෝ ජනපදය

ලැන්ග්ලි පරීක්ෂණ මධ්‍යස්ථානය, හැම්ප්ටන්, වර්ජිනියා ජනපදය

NASA ආයතනයේ පරීක්ෂණවලට යොදා ගන්නා ගුවන් යානා කිහිපයක් | Credit: NASA

මුළින්ම කීවා සේ NASA ආයතනය රොකට් හදන්නේ නැත. ඒවා කරන්නේ ඇමරිකාවේ පෞද්ගලික/පොදු සමාගම් විසිනි. මන්දයත් ⁣රොකට් යැවීම ව්‍යාපාරයක් නිසාය. NASA ආයතනය සිදු කරන්න් ලාබ නොලබන කාර්යයන්ය. මේවා උපකාරී වන්නේ විද්‍යාවේ සහ තාක්ෂණයේ උන්නතිය⁣ටයි. NASA ආයතනය තමන්ගේ මෙහෙයුම් සඳහා රොකට් යැවීම්වලට කොන්ත්‍රාත්තු ලබා දෙන ආකාර කිහිපයක් ඇත.

  1. Apollo-Saturn සහ ෂටල් වැනි ව්‍යාපෘතිවලදී පෞද්ගලික/පොදු සමාගම්වලට සංවර්ධන සහ නිෂ්පාදන කොන්ත්‍රාත්තු ලබා දී ඒ රොකට්/අභ්‍යවකාශ යනා NASA ආයතනය ලබා ගෙන ඔවුන් විසින් ක්‍රියා කරවන ලදී. සංවර්ධන සහ නිෂ්පාදන වියදම සම්පූර්ණයෙන්ම NASA ආයතනය දරා ගනී.
  2. සංවර්ධන වියදමින් කොටසක් පමණක් දරා ගනිමින් පෞද්ගලික/පොදු සමාගම්වලට නව රොකට් සහ අභ්‍යවකාශ යානා සෑදීමට උපකාර කිරීම සහ ඉන්පසු ඔවුන්ගේ ගණුදෙනුකරුවන් අතරින් එක් ගණුදෙනුවක් ලෙස සේවා ලබා ගැනීම. SpaceX සමාගම සමඟ Commercial Crew වැඩසටහන හරහා Crew Dragon යානා සංවර්ධනය කළේ මේ ආකාරයටයි. මේ නිසා Crew Dragon මෙහෙයුම්වල මූලික ගණුදෙනුකරුවා NASA ආයතනය වන අතර SpaceX සමාගම තවත් පෞද්ගලික ගණුදෙනුකරුවන් සමඟත් Crew Dragon මෙහෙයුම් සිදු කරයි.
  3. රොකට් නිෂ්පාදන සමාගම විසින් ඔවුන්ගේ වියදමින් ⁣හෝ ආරක්ෂක අංශයේ වියදමින් සංවර්ධනය කළ රොකට්වලට සාමාන්‍ය පරිදි දියත් කිරීමට පමණක් මුදල් ගෙවීම. උදාහරණයක් ලෙස ULA සමාගමේ Atlas V රොකට්ටුවකින් NASA රෝවරයක් අඟහරුට දියත් කිරීමේදී NASA ආයතනය ගෙවන්නේ දියත් කිරීම් ගාස්තුව පමණි.

ඉතින් NASA ආයතනය වගකියන්නේ ඇමරිකාවේ සිවිල් අභ්‍යවකාශ වැඩසටහනට පමණයි. එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදාව විසින් ඇමරිකාවේ හමුදා අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරයි.

එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදාවේ X-37B රහසිගත අභ්‍යවකාශ යානය| Credit: Boeing/USSF