Loading...
Windows 10 සඳහා වන සහය දැක්වීම 2025 වර්ෂයේදී නවතාදමන බව Microsoft සමාගම ප්‍රකාශ කරයි

2025 ඔක්තෝබර් මස 10 වන දින Microsoft සමාගම තම Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා සහය දැක්වීම නවත්වන බව දැන් ප්‍රකාශ කොට තිබෙනවා. එම කාලය වන විට Windows 10 එළිදක්වා වසර 10කට මදක් වැඩි වනු ඇති.

වාර්තා වන ආකාරයට Microsoft සමාගම Windows 10 ගැන මෙවැනි ප්‍රකාශයක් කළ පළමුවන අවස්තාව මෙයයි. Microsoft සමාගම නව මෙහෙයුම් පද්ධතියක් එලි දැක්වීමට සූදානම් වෙමින් සිටින බව අප ඔබට මින් පෙර වඩාත් විස්තරාත්මක ලිපියකින් දැනුවත් කළා.

එසේම එළඹෙන සතියේ විශේෂ වැඩසටහනක් පවත්වා මෙම නව පරම්පරාවේ (next generation) මෙහෙයුම් පද්ධතිය එලි දැක්වීමටත් ඔවුන් සුදානම්ව සිටිනවා. ඉහත Twitter දැන්වීම බැලුවොත් ඔබට පෙනේවි Windows logo හි සෙවනැල්ල '11' ආකාරයට සජිවිකරණය කර ඇති අයුරු හා පවත්වන වේලාව උදෑසන 11 බව. එනම්, ඔවුන් කියන්නට උත්සහ කරන දේ ඔබටත් වැටහෙනවා ඇති.  

Microsoft සමාගම ඔවුන්ගේ මීළඟ Windows 10 update එක යයි සැළකු 'Sun valley" update එක මගින් Windows 10 හි පෙනුම (interface) විප්ලවකාරී වෙනසකට ලක් කරන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. එහි පෙරනිමිති ලෙස Explorer සඳහා නව icons, Windows 10X අතහැර දැමීම වැනි ප්‍රවෘත්ති දැකගන්නටත් හැකි වුණා.

Sun Valley update එක මගින් Windows වල පෙනුම් වැඩි දියුණු කිරීමට වැඩි අවධානයක් දී ඇති බවට මත පළවනවා. Image: WindowsCentral
මෙලෙස නවත්වා දැමු Windows 10X හි ඇතැම් විශේෂාංග නව Windows 10 සංස්කරණයට එක කරනු ඇතැයි සිතිය හැකියි. Image: The Verge

ලොව පුරා devices බිලියන 1.3 ක මෙම Windows 10 මෙහෙයුම් පද්ධතිය run වන නිසා ඒ සෑම එකකටම පාහේ හොඳ අත්දැකීමක් ලබා දෙන්නට, අවුරුදු ගණනක් පැරණි software වුවත් භාවිත කරන්නටද හැකි වන පරිදි සැකසු මෙහෙයුම් පද්ධතියක් නඩත්තුවට විශාල ශ්‍රමයක් වැය වන බව ඇත්තක්.

74.54% ක අගයක් රඳවාගනිමින් තවමත් Windows මෙහෙයුම් පද්ධති Desktop OS හි පෙරමුණ ගෙන සිටිනවා. Source: StatCounter

එම සංකීර්ණ බව නිසාම පෙර මෙන් තනි තනිව සංස්කරණ නිකුත් නොකර Windows 10 යනු සේවාවක් ලෙස සලකා updates මගින් මෙහෙයුම් පද්ධතිය දියුණු කිරීමයි Microsoft සමාගමේ සැලැස්ම වී තිබුණේ.

කෙසේ නමුත් අතීතයේ පටන් තම මෙහෙයුම් පද්ධතියක් සඳහා Microsoft සමාගම සහය දැක්වුයේ ආසන්නව වසර 10ක කාලයකට පමණයි (උදා: Windows XP - 2001 සිට 2009 දක්වා, Windows 7 - 2009 සිට 2020 දක්වා).

ඉතින් 2015 දී නිකුත් වූ Windows 10 සඳහා 2025 දී සහය දීම නැවත්වීමට ගත් තීරණය Microsoft සමාගම තම සුපුරුදු සම්ප්‍රදායට අනුව ගත් තීරණයක් ලෙස සැලකිය හැකියි.

Sources: Thurrott, The Verge