Loading...
ලොව පළමු අභ්‍යවකාශ සංචාරකයා මෙවර හඳට යෑමට සූදානම් වෙයි

ලෝකයේ පළමු අභ්‍යවකාශ සංචාරකයාව ඔබට මතකද? 2001 වසරේදී රුසියානු අභ්‍යවකාශ ඒජන්සියට ඩොලර් මිලියන 20 ක් ගෙවා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට ගමන් කළ ඇමරිකානු ජාතික Dennis Anthony Tito නැවත වරක් අභ්‍යවකාශගත වීමට සූදානම් වන බව ඊයේ දැනුම් දෙන ලදී. නමුත් ඔහු මීට පෙර සිදු කළ දින 8 ක අභ්‍යවකාශ මෙහෙයුමට වඩා මෙය සංකීර්ණ මෙහෙයුමක් වේ. 82 හැවැර​දි Tito මෙවර සූදානම් වන්නේ SpaceX සමාගමේ Staship යානයකින් චන්ද්‍රයා බලා ගමන් කිරීමටයි. ඒ ඔහුගේ බිරිඳ වන Akiko Tito සහ තවත් පුද්ගලයින් 10 දෙනෙක් සමඟයි.

1940 දී උපත ලද Tito අධ්‍යාපනයෙන් ඉංජිනේරුවෙක් විය. පසුව ඔහු මූල්‍ය අංශයට එක් වූ අතර මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියනකට වැඩි වත්කමකින් යුක්ත වේ. 2001 වසරේදී NASA ආයතනයේ අකමැත්ත හමුවේ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමීන් දෙදෙනෙකු සමඟින් Soyuz TM-32 යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට ගමන් කළ Tito පසුගිය දශක 2 පුරාවටම චන්ද්‍රයා බලා ගමන් ගන්නා මෙහෙයුමක් පිළිබඳ සිතමින් සිටි බව පවසයි.

Tito අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළේ 

SpaceX සමාගම වර්තමානයේ සංවර්ධනය කරමින් පවතින Starship රොකට්ටුව/අභ්‍යවකාශ යානය ලෝකයේ බලවත්ම රොකට්ටුව වනු ඇත. නමුත් වැදගත් දෙයක් වන්නේ මෙය සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කළ හැකි වන නිසා එක් මෙහෙයුමයක පිරිවැය ඉතා අවම වීමයි. මේ නිසාම NASA වැනි රාජ්‍ය අභ්‍යවකාශ ආයතන මෙන්ම‌ අභ්‍යවකාශය ගැන උනන්දු ධනවතුන් මේ ගැන අවධානය යොමු කර ඇත.

Starship යනු අදියර 2 ක කක්ෂීය රොකට්ටුවකි. Super Heavy Booster නමින් හදුන්වන රොකට්ටුවේ පළමු අදියර SpaceX සමාගමේ Raptor 2 රොකට් එන්ජින් 33 කින් බලගැන්වේ.

Super Heavy Booster එකේ රොකට් එන්ජින් සහ එන්ජින් පරීක්ෂාවක්

ඊට ඉහළින් ඇති Starship අභ්‍යවකාශ යානය රොකට්ටුවේ දෙවන අදියර ලෙස ක්‍රියා කරන අතරම ගගනගාමීන් සහ භාණ්ඩ රැගෙන යෑමට අවශ්‍ය පහසුකම්වලිනුත් යුක්ත වේ.

රොබෝ අත් දෙකෙන් ඉහළට ඔසවන Starship යානය Super Heavy Booster එක මත සවි කරන අයුරු

SpaceX සමාගම වර්තමානයේ භාවිතා කරන Falcon 9 රොකට්ටුවේ පළමු අදියර ගොඩබසින ආකාරයට වඩා ටිකක් වෙනස් ආකාරයකට Starship රොකට්ටුවේ අදියර ගොඩබැසීමට සැලසුම් කර ඇත. Falcon 9 රොකට්ටුවක ගොඩබසින්නේ පළමු අදියර පමණි. දෙවන අදියර මෙහෙයුම අවසානයේ අතහැර දමයි. නමුත් Starship රොකට්ටුවේ අදියර 2 ම ගොඩබසියි. එහිදී රොකට්ටුව දියත් කරන පුවරුව අසළ ඇති කුළුණේ ඉහළින් ඇති විශාල රොබෝ අත් දෙක භාවිතා කරමින් අහසේදී මෙම අදියර දෙක අල්ලා ගැනීමට බලාපොරොත්තු වේ. විද්‍යා ප්‍රබන්දයක සිදුවීමක් ලෙස සිතුනත් SpaceX සමාගමේ ඉංජිනේරුවන්ගේ බලාපොරොත්තුව මෙය සාර්ථක කර ගැනීමයි.

Starship රොකට්ටුව මේ වන විට එක් අභ්‍යවකාශ මෙහෙයුමක්වත් සිදු කර නොමැත. පළමු අභ්‍යවකාශ මෙහෙයුම මෙම වසර අවසානයට ඉලක්ක කර ඇති අතර ගගනගාමීන් නොමැති පරීක්ෂණ මෙහෙයුම් ගණනාවකට පසු Staship රොකට්ටුවක ගගනගාමීන් ගමන් කරනු දැක ගැනීමට හැකි වනු ඇත. මේ වන විට NASA ආයතනය ඔවුන්ගේ Artemis වැඩසටහනේදී ගගනගාමීන් චන්ද්‍ර කක්ෂයේ සිට චන්ද්‍රයා මතුපිටට ගෙනයෑමට Lunar Starship නම් මඳක් වෙනස් Starship යානා භාවිතා කිරීමට බලාපොරොත්තු වේ. ඒ වෙනුවෙන් NASA ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න මුදලක් SpaceX සමාගමට ලබා දී ඇත. 2025 දී Artemis III මෙහෙයුමේදී Lunar Starship යානයකින් NASA ගගනගාමීන් චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයට ගොඩබැසීමට නියමිත අතර ඊට පෙර ගගනගාමීන් නොමැති පරීක්ෂණ මෙහෙයුමක් SpaceX සමාගම සිදු කළ යුතු වේ.

NASA ගගනගාමීන් රැගත් Orion යානයක් චන්ද්‍ර කක්ෂයේදී Lunar Starship යානයක් සමඟ (CGI)

Starship රොකට්ටුවේ මුල්ම මෙහෙයුම්වල දියත් කිරීමට බලාපොරොත්තු වන්නේ SpaceX සමාගමේ අන්තර්ජාල සේවා සපයන Starlink චන්ද්‍රිකායි. ඒවා SpaceX සමාගමේම නිසා පරීක්ෂණ මෙහෙයුමකදී රොකට්ටුව විනාශ වුවහොත් බාහිර ගණුදෙනුකරුවෙකුගේ අභ්‍යවකාශ යානාවක් විනාශ වීමේ අවදානමක් නැත. Starship රොකට්ටුවේ ආරක්ෂිතබාවය තහවුරු වූ පසු බාහිර ගණුදෙනුකරුවන්ගේ චන්ද්‍රිකා දියත් කිරීමට බලාපොරොත්තු වන අතර ඉන්පසු ගගනගාමීන් දියත් කිරීම සිදු කරනු ඇත.

2021 වසරේදී Inspiration4 මෙහෙයුමේදී අභ්‍යවකාශ ගත වූ ඇමරිකානු බිලියනපති Jared Isaacman මේ වන විට SpaceX සමාගම සමඟ Polaris නම් වැඩසටහනක් ආරම්භ කර ඇත. එහි මුල් මෙහෙයුම් 2 Crew Dragon යානාවලින් සිදු කරන අතර 3 වන සහ අවසාන මෙහෙයුම Starship යානයක ගගනගාමීන් ගමන් ගන්නා පළමු මෙහෙයුම වනු ඇත. ඉන්පසු ජපන් ව්‍යවසායක Yusaku Maezawa විසින් Starship යානයකින් චන්ද්‍ර කක්ෂයට ගමන් කිරීමට බලාපොරොත්තු වන අතර Dennis Tito ගේ මෙහෙයුම සිදු වනු ඇත්තේ මෙයටත් පසුවයි.

Tito පවසන්නේ Starship රොකට්ටුවේ සංවර්ධනය අනුව තවත් වසර 5 කින් පමණ පියාසර කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 87 ක් පමණ වනු ඇත. මේ වන විට අභ්‍යවකාශයට ගමන් කළ වයස්ගතම පුද්ගලයා අවුරුදු 90 ක් වේ. Tito පවසන්නේ ඉදිරි වසර කිහිපය පුරවට තමන්ගේ ශරීර සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.