Loading...
Samsung සමාගම අභිබවමින් Xiaomi සමාගම ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා බවට පත්වේ

Xiaomi කියන්නේ ඉන්දියානු ජංගම දුරකථන වෙළඳ පල ඉතාමත් වේගයෙන් තමන්ගේ අණසකට යටත් කරගත් ජංගම දුරකතන නිපදවන සමාගමක් වූයේ ඉන්දියාවේ අංක එකේ ජංගම දුරකතන සන්නාමය වීමත් සමඟයි. මෙවර Xiaomi සමාගම ගෝලීය වෙළඳ පල ආක්‍රමණය කිරීමට සමත්ව තිබෙනවා. මෙම වසරේ ජූනි මාසයේදී Xiaomi සමාගම උපයාගත් ආදායමත් සමඟින් ඔවුන් Samsung සමාගම පරදවා ගෝලීය වෙළඳපලේ අංක එකේ ජංගම දුරකතන නිෂ්පාදකයා බවට පත්වීම තිබෙනවා.

Counterpoint සමාගම විසින් පල කල ඔවුන්ගේ වාර්තාවට අනුව 2021 වර්ෂයේ ජූනි මාසයේදී අනෙකුත් මාස වලට වඩා 26% ප්‍රමාණයකින් තම ජංගම දුරකතන ඒකකයන් අලෙවි කර ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සමඟම ලොව වැඩිම කාලයක් අංක එකේ ස්ථානයේ රැඳී සිටි ජංගම දුරකතන නිෂ්පාදන ලොවේ දැවැන්තයා ලෙස සැලකුනු කොරියානු සමාගම් වන Samsung සමාගම දෙවන ස්ථානයට පසු බැස තිබෙනවා.

2021 වර්ෂයේ මැයි මාසයේදී Apple සමාගම අභිබවා යමින් යුරෝපනු වෙළඳපලේ දෙවන විශාලතම දුරකතන නිෂ්පාදකයා බවට පත්වීමට Xiaomi සමාගම සමත් වූ අතර, 2020 දෙසැම්බර් මාසයේදී ගෝලීය වෙළඳපලේ තෙවන ස්ථානයට පත්වූයේ Apple සමාගම ලැයිස්තුවේ සිව්වන ස්ථානය දක්වා ඇද දමමිනි. ඒ කෙසේ වෙතත් ජංගම දුරකතන අලෙවියෙන් ලැබෙන ආදායමෙන් තවමත් මුල් ස්ථානය ආරක්ෂා කර ගැනීමට Samsung සමාගම සමත්ව සිටිනවා.

Samsung සමාගම තවමත් අලෙවි ආදායමෙන් ලොව් මුල් ස්ථානයට පත්ව සිටියත් ඉන්දියාව සහ තවත් කලාප කිහිපයකදී Samsung සමාගමේ අලෙවි ආදායම ඉක්මවා යාමට Xiaomi සමාගම සමත්ව තිබෙනවා. එහි වැඩි කොටසක් අයත්ව තිබෙන්නේ Mi 11 මාදිලියේ ජංගම දුරකතන අලෙවියෙන් ලත් ආදායමටයි.

Counterpoint සමාගමේ වාර්තාවේ සඳහන් වන ආකාරයට Samsung සමාගමේ මෙම පසුබැසීමට හේතු කිහිපයක් දක්වා තිබෙනවා. එහි ප්‍රධානම හේතුව ලෙස දක්වා තිබෙන්නේ, Samsung සමාගමේ ජංගම දුරකතනයන්ගෙන් වැඩි නිෂ්පාදනයක් සිදු කරන වියට්නාමයට COVID-19 වසංගතයේ වැඩි බලපෑමක් එල්ල වීමත් සමඟ නිෂ්පාදන කටයුතු අඩාල වීමත් සමඟ ලොව ඉල්ලුමට සරිලන ජංගම දුරකතන ඒකක ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි වීමයි. එමෙන්ම Huawei සමාගමේ පසු බෑමද Xiaomi සමාගමේ මේ විශාල පිම්මට හේතුවක් ලෙස එහි දක්වා තිබෙනවා.

මෙම තත්වයන් යටතේ එහි වාසිය උපරිමයෙන් ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වූ Xiaomi සමාගම විසින් Redmi 9, Redmi Note 9 සහ Redmi K40 මාදිලියේ ජංගම දුරකතන වල අලෙවියෙන් පමණක් වෙළඳපලේ වැඩි ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ජයග්‍රහණය Xiaomi සමාගම ලබා ගන්නා විට ඇමරිකානු වෙළඳපල Xiaomi සමාගම වෙත දොර වසා තිබීමයි.

Counterpoint Research Monthly Market Pulse, July 2021

ඉහතින් දැක්වෙන්නේ Counterpoint ආයතන විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව Xiaomi, Samsung සහ Apple සමාගම් වල දුරකතන ඒකක වල අලෙවියේ කොටසයි. ඒ අනුව 2021 ජූනි මාසය වන විට Xiaomi සමාගම එයින් 17.1%ක කොටසක් ලබාගෙන ඇති අතර Samsung සමාගම සහ Apple සමාගම පිළිවෙලින් 15.7%ක සහ 14.3%ක අගයක් අත්පත්කරගෙන ඇත.

වියට්නාමයේ දැනට පවතින තත්වය මෙලිසින් දිගටම පැවතුනකොට Samsung සමාගම තවත් කාලයකට දෙවන ස්ථානයේම රැඳී සිටිනු ඇතැයිද මෙම වාර්තාවේ සඳහන්වනවා.

Source: CounterPoint Research