ඔන්න YouTube එකෙන් එයාලා තව දුරටත් එයාලගෙ ප්‍රධානතම Ad Slot එකේ පළනොකරන වෙළෙඳ දැන්වීම් කිහිපයක් ගැන ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ඔවුන් පවසන්නේ තම වෙබ් අඩවියේ හා App එකේ ඉහළින්ම පෙන්වන ප්‍රධානතම වෙළෙඳ දැන්වීම් (Masthead Ad Slot) කොටසට තවදුරටත් මත්පැන්, සූදුව, දේශපාලනය හෝ බෙහෙත් වට්ටෝරු නියමයන් සම්බන්ධ කිසිඳු ආකාරයේ දැන්වීමක් භාර නොගන්නා බවයි.
තම පරිශීලකයන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබා දෙන්න මේ පියවර ඔවුන් විසින් ගත්තා කියලා තමයි Google ආයතනය නිවේදනය කරලා තියෙන්නෙ. Google ආයතනයේ ප්‍රකාශකයෙක් විසින් කල නිල නිවේදනයක් පහතින් දැක්වේ.
"මෙම යාවත්කාලීන කිරීම පසුගිය වසරේ අප විසින් සිදුකරන ලද වෙනස්කම් මත පදනම් වනු ඇති අතර එය පරිශීලකයින්ට වඩා හොඳ අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු."
මේ "මාස්ට්හෙඩ් ස්ලොට්" එක කියන්නෙ YouTube පරිශීලකයෙක් මුලින්ම YouTube එක Open කරද්දි දකින දේවල් වලින් එකක්.

ඉතින් අපි කලින් සඳහන් කල ආකාරයේ නුසුදුසු වෙලඳ දැන්වීම් මේ කොටසේ පළවීම මගින් වෙන්නෙ YouTube ආයතනයේ හොඳ නම පළුදු වෙන එක. මෙයට උදාහරණයක් විදිහට Donald Trump විසින් 2020 ඡන්ද කාලයෙදි මේ මාස්හෙඩ් ඇඩ් ස්ලොට් එක දින 3ක් සඳහා මිලදී ගත් අවස්ථාවේදී ඒක ගැන ලොකු මතභේදයකුත් ඇති වුනා.
අන්න ඒ වගේ කාරණා වලින් නිදහස් වෙන්න කියලා හිතාගෙන Google ආයතනය මේ තීරණය ගත්තා කියලා හිතන්න පුළුවන්.

YouTube එකේ දකින්න ලැබෙන මත්පැන් සහ සූදුව ආශ්‍රිත වෙළඳ දැන්වීම් ගණන සීමා කිරීමට Google ආයතනය විසින් දැනටමත් ක්‍රමයක් සපයලා තියෙනවා. වසර ගණනක් තිස්සෙ Google සමාගම ඔවුන්ගේ ප්‍රතිපත්ති (Policies) සමතුලිත කරන්න උත්සාහ කරලා තියෙනවා තමන් Ads වල පෙන්වන්න අවශ්‍ය සහ අවශ්‍ය නොවන දේවල් ගැන.
තම පරිශීලකයන්ට සදාචාර සම්පන්න වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන්න Google ආයතනය අරන් තියෙන මේ පියවර, එම සමාගම ගැන තිබෙන විශ්වාසය තවදුරටත් ඉහළ නංවන බව නීති සම්පාදකයන් පවසා තිබෙනවා.
ඉතින් ඔවුන් අරන් තියෙන මේ පියවර ඉතාමත්ම හොඳ පියවරක් බවට අපේ මතයයි.
Sources : The Verge, CNN, Business Insider