Loading...
Xiaomi devices වල ලොකුම අවුල මොකක්ද?

මේ වගේ ලිපියක් ලියන්න මම දැන් ටික කාලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද මමත් දැන් ටික කාලෙක ඉඳන් Xiaomi එකක් පාවිච්චි කරනවා. Redmi Note 8 එකක්. මේක කට්ටිය Trigger වෙන මාතෘකාවක් නිසා මම පුළුවන් තරම් පරිස්සමින් මේක ලියන්නෙ. Xiaomi විරෝධී සහ Xiaomi fans දෙපිරිසම රැකගනිමින් මේක ලියන්න මම උපරිම උත්සාහ කරන්නම්. මම මගේ අත්දැකීම් එක්ක මේක ලියන්නෙ. එහෙනම් කතාව පටන්ගනිමු.

අදාළම නැති අවුල්

මේවට අදාළ නැති අවුල් කියන්නෙ, මේවා මට ආවෙ නැති නිසා. ඒ ටිකත් කතා කරලා ඉමුකො.

Signal අවුල

Xiaomi වල මම නිතර දකින ප්‍රශ්ණයක් තමයි Signal අවුල. විශේෂයෙන් Redmi Note 8, Note 8 Pro වල. මම නිතර දකිනවයි කිව්වෙ Facebook එකේ group වල නිතරම මේ ගැන කට්ටිය අහනවා, සාකච්ඡා කරනවා, මඩත් ගහ ගන්නවා.

මට මෙහෙම ප්‍රශ්ණයක් තාම ඇවිල්ලා නැහැ. මගේ ළඟ Motorola, Samsung, Nokia කියන වර්ග තුනෙන් දුරකථන තුනක්, 3G router එකක්, 4G Wi-Fi dongle එකක්, 4G router එකක් ආදී උපාංග තියෙනවා. මේ ඔක්කොම එක්ක කරපු පරීක්ෂණ එක්ක, මගේ Redmi Note 8 එකේ signal දෝෂයක් නම් මට විශේෂයෙන් අහු වුණේ නෑ. ඇත්තටම කිව්වොත්, 4G Wi-Fi dongle එකට වඩා Redmi Note 8 එකේ signal receiving power එක මඳක් වැඩියි කියලා මට දැනුණා. Signal කතාව ගැන එපමණයි.

Wi-Fi අවුල

මේක ගැන කතා වෙලා තිබුණෙ gsmarena, XDA developers වගේ අඩවි/forum වල. වැඩි දෙනෙක් කියලා තිබුණ විදියට, Redmi Note 8 දුරකථන වල Wi-Fi සහ Bluetooth එකවර ක්‍රියාත්මක කිරීමේදී Wi-Fi සම්බන්ධතාව මන්දගාමී වීම කියන දෝෂය තියෙනවා. ඒකට හේතුව වශයෙන් එතන සාකච්ඡා වෙලා තිබුණේ Wi-Fi සහ Bluetooth එකම module එකක් ලෙස පැමිණීම සහ මෘදුකාංග වල අවුලක්. මේක මෘදුකාංග අවුලක් නම්, updates වලදි fix වෙන්න ඕන. මගේ කතාවෙදි, මම Bluetooth පාවිච්චි කරන්නෙම නැති තරම්. ඒ නිසා මේක මට බලපාන කාරණාවක් නෙවෙයි. අනික් දේ තමයි, කොහොමත් slow කනෙක්ෂන් පාවිච්චි කරන ලංකාවෙ අපිට, මේ slow වීම ලොකු අවුලක් වෙන එකක් නෑ කියන එක.

Ghosting අවුල

හොල්මන් අවුලකුත් තියේ. මේ කියන්නෙ, දීර්ඝ වේලාවක් එකම විදියේ window එකක් open කරන් හිටියම screen එක burn වීම. එතකොට, වෙන window එකක් ඕපන් කළත් (වෙන app එකකට ගියත්) කලින් ඕපන් කරන් හිටිය ඇප් එකේ හොල්මනක් (ඡායාවක්) අලුත් window එකෙත් පේනවා.

මේක නම් බොහෝ Midrange/Budget දුරකථන වලට පොදු LCD අවුලක්. ගොඩක් අය ඉන්නවා මේ අවුල ආව. ඒකට විකල්පයක් නම් නැත. සමහර අය කියන දෙයක් තමයි, Display Settings වල color scheme එක Auto සහ Cool දාලා තිබුණොත් ඔය අවුල එනවා අඩුයි කියන එක. මට නම් ඔය අවුල මගේ device එකේ දැකගන්න බැරි වුණා. (තවම)

බැටරි අවුල්

ගොඩක් බැටරි අවුල් නම් මානසික ප්‍රශ්න. තරහ වෙන්න එපා, අපේ අය ගොඩක් කැමතියි ෆෝන් එකේ බැටරිය සදාකාලික නම්. බැටරිය චාජ් කළාම බහිනවා. ඒකයි ස්වභාවය. අපිට පේන්න තියෙන ඇප්ස් වලට අමතරව background එකේ run වෙන ඇප්ස් සහ විවිධ software optimization අවුල් නිසා බැටරිය ඉක්මනින් බහින්න පුළුවන්. බැටරිය ඉක්මනින් බහින්න හේතු නම් බොහොමයි.

අනික් දේ, මේ ස්මාට්ෆෝන් වල තියෙන ප්‍රභල processors, අති විශාල display, GPU chips ආදී දේවල් වලට බැටරි බලය ගොඩක් උවමනායි. ඉතින් බැටරිය මෙච්චර බැස්සා, අච්චර බහිනවා කියලා චුරු චුරු ගාන එක හොඳ දෙයක් නෙවෙයි. අපි මීට කලින් බැටරි ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කළා. ඒකත් බලන්න.

MIUI උපාංග වල බැටරිය ටිකක් වැඩියෙන් පාවිච්චි කරන්න පොඩි tip එකක් දෙන්නම්. WhatsApp, Telegram වගේ background processes අත්‍යවශ්‍ය ඇප්ස් හැරෙන්න, අනික් ඒවා background එකේ close කරලා දාන්න පුළුවන් මෙන්න මෙහෙම.

MIUI Security ඇප් එකට යන්න. Battery & Performance කියන tile එකට යන්න. Battery Saver on කරන්න, App battery saver කියන තැනට යන්න, එතැනින් ඔයාට අත්‍යවශ්‍ය නොවන apps තෝරගන්න. එහෙම අත්‍යවශ්‍ය නොවන app එකක් තියේ නම් ඒක උඩ tap කරලා Restrict background activity දෙන්න.

මේ ක්‍රමයට පුළුවන් Greenify තරම් නොවුණත් ඊට ටිකක් හෝ ළඟ තරමට බැටරිය ආරක්ෂා කරගන්න.

ඇත්තම අවුල (Actual Problem)

මේ Phone එකේ තියෙන ඇත්තම අවුල වුණාට මේවා ගැන කතා වෙනවා නම් මම දැකලම නෑ. දෙයියනේ කියලා අපේ කොල්ලන්ට පේන්නෙ වෙනම ජාතියක අවුල්.

Bloatware!

MIUI වල මම දැක්ක අති සුවිශාල අර්බුදය, අනවශ්‍ය Apps! MIUI කියන්නෙ අනවශ්‍ය apps කඳු පිටින් ඔබ්බවලා එවන android skin එකක්. මේවා ගැන අපිට complain කරන්න බෑ, කං කෙඳිරි ගාන්න බෑ. මෙන්න මේ bloatware නිසා තමයි අපිට මෙච්චර feature එක්ක Xiaomi සමාගමෙන් අඩුවට ෆෝන් දෙන්නෙ.

Xiaomi Business Model (මිළ අඩු ඇයි?)

මේ bloatware මාතෘකාව යටතේ අපි Xiaomi Business Model එක ගැනත් කතා කරමු. Xiaomi දුරකථන වලට බොරුවටත් එක්ක ආතල් එකට මඩ ගහන පිරිසක් ඇති වීමේ එක් හේතුවක් තමයි මේවයෙ අඩු මිල. අඩු මිලට මේවා දෙන්නෙ කොහොමද? මේ ප්‍රශ්ණෙට උත්තර නොමැති තැන තමයි කට්ටිය නිගමනයකට එන්නෙ, මේවා බාල බඩු නිසා තමයි මේ අඩුවට දෙන්නේ කියලා. ඒක හේතුවක් කරගෙන ඔන්න මඩ ගහනවා. ඇත්තටම ඒක එහෙමද? මේවයෙ තියෙන්නෙ බාල උපාංග ද? නෑ. සහ ඔව්. Xiaomi විතරක් නෙවෙයි, ඕනම දුරකථන නිෂ්පාදන සමාඟමක Mid Range, Budget කියන කැටගරියෙ තියෙන දුරකථන වල තියෙන්නෙ Flagship උපාංග වලට වඩා කොලිටියෙන් අඩු උපාංග තමයි. හැබැයි Xiaomi දුරකථන මිළෙන් අඩු ඒ නිසාම නෙවෙයි. එහෙනම් මෙයාලා අඩු ගාණට ෆෝන් දෙන්නෙ කොහොමද? ඒ මෙහෙමයි.

Xiaomi සමාඟම එයාලගෙ දුරකථන වලින් වක්‍රාකාරව සල්ලි හොයනවා. ඒවා යන්නේ අපේ අතින්ම නෙවෙයි. හැබැයි අතින්ම යන්නත් පුළුවන් සල්ලි වලට වඩා වටින දේවල් (පෞද්ගලික දත්ත වගේ) වලින්.

3rd Party Bloatware

එයාලා සල්ලි හොයන එක ක්‍රමයක් තමයි 3rd party bloatware ඇතුළත් කිරීම. මොකක්ද මේ කියන්නෙ? මෙහෙමයි. ඔයා හැදුව ඇප් එකක් තියෙනවා. ඒක ජනප්‍රිය ඇප් එකක් නෙවෙයි. ඔයාට ඕනි ඒක ජනප්‍රිය කරවන්න. ඔයා මොකක්ද කරන්නෙ? ඇඩ්ස් දාලා දහසක් නැටුම් නටලා user ලවා මේක ඉන්ස්ටෝල් කරවන්න පුළුවන්. ඒත් ඊට වඩා ලේසි නැද්ද, ඔයාගෙ ඇප් එක ඔයා ගිහින් දෙනවා Xiaomi එකට. ගිහින් දීලා කියනවා මෙහෙම,

"අඩේ Xiaomi බ්‍රෝ, මේ ඇප් එක උඹලා හදන අලුත් ෆෝන් ඔක්කොටම pre-install කරලා යවපල්ලකෝ ප්ලීස්."

කියලා. එතකොට කරදර අඩුයිනෙ. මිනිස්සු අලුත් ෆෝන් එක ගන්නකොටම ඔයාගෙ ඇප් එක එයාලා ගාව තියෙනවා. ඕක කීයෙන් කී දෙනාද අයින් කරන්නෙ? ෆෝන් එකත් එක්කම ආපු ඇප්ස් අපි අයින් කරන්නත් බයයි. ඔන්න ඔහොම අපිට බලෙන් ඔබ්බවපු ඇප්ස් තමයි 3rd party bloatware කියලා මම නම් කළේ. "අඩේ Xiaomi බ්‍රෝ" කියලා දුන්නට එයාලා නිකන් ඕක කරන්නෑ. එයාලා ලොකු ගාණක් App developers ලගෙන් අය කරනවා. හැබැයි ඒක අය කළත් කමක් නෑ, මොකද වැඩේ හෙන effective. ඇප් එක කෝමත් install කරලමයි user ට දෙන්නෙ. User ලවා install කරවන්න අවශ්‍ය නෑ. ඔන්න ඕකෙන් Xiaomi ලට මුදල් ලැබෙනවා.

Xiaomi/MIUI Bloatware

3rd party bloatware වලට අමතරව, Xiaomi සමාඟමත් එයාලගෙම bloatware ගොඩක් එයාලගෙ phone වලට ඔබනවා. ඒවයින් ඔයාට Ads පෙන්නලා සල්ලි හොයනවා. Ads විතරක් නම් මදෑ, personal data එහෙමත් collect කරනවා. අපි වැඩිය නොහිතුවට, මෙන්න මේවයිනුත් විශාල මුදලක් Xiaomi සමාඟම උපයනවා.

මෙන්න මේ මුදල් එයාලා උපයාගත්තම, අර අඩුවට phone විකුණලා ලබන පාඩුව බොහොම අපූරුවට පියවෙනවා. දුරකථනය මිළදීගත්ත කෙනා ඒ දුරකථනය පාවිච්චි කරන මුළු කාලය පුරාවටම එයාලා සල්ලි හොයනවා. කොහොමද වැඩේ? මෙන්න මේවයි නියම ප්‍රශ්ණ. බැටරි බහින එක නෙවෙයි.

එහෙම බැලුවම, බාල parts එක්ක phone විකුණන එකත් හොඳයි. මේක ඊට වඩා දරුණු තත්වයක්. මම මේ ලිපියට Xiaomi වල ලොකුම අවුල විදියට නම් කළේ මෙන්න මේ අවුලයි. මේවා ගැන අපි කතා කරන්නෙ හරි අඩුවෙන්. නමුත් අපි කතා කරන්න ඕනත් මෙන්න මේවා ගැන තමයි. මේ Bloatware නිසා, ඔයාගෙ personal data ටික චීනෙට විකිණෙනවා, ඔයාගෙ RAM එකේ capacity එක අඩු වෙනවා, storage එක ඇහිරෙනවා, Mobile data කැපෙනවා, ඉක්මනින් battery බහිනවා, අන්තිමේ phone එක slow වෙනවා.

දැන් Xiaomi පාවිච්චි කරන අය හොඳටම බය වෙලා ඇති. බය වෙන එක සාධාරණයි. හැබැයි මේවට පිළියම් නෑ කියලා හිතුවොත් ඒකත් වැරදියි. ටිකක් මොළේ පාවිච්චි කරන්න තමයි ඕන. මම මේ Bloatware කරදරේ නැති කරන්න කියලා දෙනවා. OTA updates වලට කිසිම බාධාවක් නොවී, Root නොකර, කිසිම බරපතළ වෙනස්කමක් නොකර සරලවම දෙන්න බෙහෙත් ටිකක් තියෙනවා. ඒක දැනගන්න ඕන අය කරන්න ඕන එකම දෙයයි. ඒ ගැන දැනගන්න ඕන අය පහළින් කමෙන්ට් කරන්න. සැලකිය යුතු තරම් කමෙන්ට්ස් ටිකක් ආවොත්, මම සලකා බලන්නම් ඒක කියලා දෙන එක ගැන!

ඒ වගේම, කිසිම බාධාවක් නැතුව පහළින් ඔයා දන්න දේවලුත් අපිට කියන්න. මම වරද්දලා තියෙන තැනක් තියෙනවා නම් ඒක නිවැරැදි කරන්න මට උපකාර කරන්න.

නැවත හමුවෙමු, ඔබට ජය!