ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන NASA හි 15 වන පරිපාලකවරයා ලෙස බිලියනපති ව්‍යවසායකයෙකු සහ වාණිජ අභ්‍යවකාශගාමියෙකු වන ජැරඩ් අයිසැක්මන් (Jared Isaacman) පත් වී තිබෙනවා. 2025 දෙසැම්බර් 17 වන දින ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් ඔහුගේ පත්වීම තහවුරු කරන ලද අතර, ඔහු දෙසැම්බර් 18 වන දින නිල වශයෙන් දිවුරුම් දුන්නා.
වසරකට ආසන්න කාලයක් පැවති දේශපාලනික සහ පරිපාලනමය අවිනිශ්චිතතාවයකින් පසුව, NASA ආයතනයට ස්ථීර නායකත්වයක් ලැබීම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකීමට පුලුවන්.
කවුද මේ ජැරඩ් අයිසැක්මන්?
ජැරඩ් අයිසැක්මන් යනු හුදෙක් ව්‍යාපාරිකයෙකු පමණක් නොව, අභ්‍යවකාශය පිළිබඳ සැබෑ අත්දැකීම් සහිත පුද්ගලයෙක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. ඔහු ලොව ප්‍රථම සිවිල් අභ්‍යවකාශ මෙහෙයුම වූ Inspiration4 මෙහෙයුම මෙහෙයවූ අතර, Polaris Dawn මෙහෙයුමේදී ලොව ප්‍රථම වරට සිවිල් පුද්ගලයෙකු ලෙස අභ්‍යවකාශ ඇවිදීමක් (Spacewalk) සිදු කරමින් ඉතිහාසගත වූයේද මොහුයි.

එමෙන්ම මොහු Shift4 Payments සමාගමේ නිර්මාතෘවරයා වන අතර, දක්ෂ ජෙට් යානා පියාසර කරන්නෙකු ද වන අතර වයස අවුරුදු 42ක් වන ඔහු, NASA ඉතිහාසයේ එම පදවියට පත්වූ ලාබාලතම පරිපාලකවරයා ලෙසද සැලකෙනවා.
මේ පත්වීම ගැන විශේෂයෙන් කතා වන්නේ ඇයි?
තාක්ෂණික විචාරකයින් පෙන්වා දෙන්නේ, අයිසැක්මන්ගේ පත්වීම සම්බන්ධයෙන් යම් කනස්සල්ලක් ඇති වීමට හේතු කිහිපයක් පවතින බවයි.
- SpaceX සමඟ ඇති සමීප සබඳතාව: අයිසැක්මන් සහ Elon Musk (SpaceX හිමිකරු) අතර පවතින සමීප මිත්‍රත්වය සහ ව්‍යාපාරික සබඳතා හේතුවෙන්, NASA ආයතනය විසින් SpaceX සමාගමට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වනු ඇතැයි ඇතැම් විචාරකයෝ බිය පළ කරනවා.
- අභ්‍යවකාශ වැඩසටහන්වල අනාගතය: ඔහු විසින් යෝජනා කරන ලද "Project Athena" නම් ප්‍රතිසංස්කරණ සැලසුම මඟින් NASA ආයතනයේ ඇතැම් මධ්‍යස්ථාන වසා දැමීමට හෝ පිරිවැය දැඩි ලෙස කපා හැරීමට ඉඩ ඇති බවට කටකතා පැතිරී තිබෙනවා.
- අයවැය කප්පාදු: 2026 වසර සඳහා වූ අයවැය යෝජනා මඟින් NASA හි විද්‍යා අංශයේ පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් විශාල ලෙස කපා හැරීමට නියමිත අතර, එය අයිසැක්මන්ගේ පාලන කාලය තුළ සිදු වීම විද්‍යාඥයන්ගේ දැඩි කනස්සල්ලට හේතුවී තිබෙනවා.
අයිසැක්මන්ගේ ඉදිරි දැක්ම
තමාට එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අයිසැක්මන් ප්‍රකාශ කර ඇත්තේ, තම එකම අරමුණ ඇමරිකාව අභ්‍යවකාශ තරඟයෙන් ජයග්‍රහණය කරවීම බවයි. එමෙන්ම නැවතත් මිනිසුන් සඳ මතට ගොනයෑමේ Artemis මෙහෙයුම් කඩිනම් කිරීම ඔහුගේ ප්‍රමුඛතාවය බවත් චීනයට පෙර මිනිසුන් සඳ මතට ගොඩබැස්සවීමට ඔහු කැපවී සිටින බවත් දක්වා තිබෙනවා.
විශේෂත්වයක් ලෙස, ඔහු සිය NASA පරිපාලක වැටුප U.S. Space & Rocket Center හි Space Camp වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කිරීමටත් පොරොන්දු වී තිබෙනවා. අයිසැක්මන්ගේ පැමිණීමත් සමඟ NASA ආයතනය පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් සමඟ වඩාත් සමීපව කටයුතු කරන නව යුගයක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.
Source: www.space.com en.wikipedia.org www.bgr.com








