Loading...
Google Assistant විශ්‍රාම ගැනීමට සුදානම් වේ; 2026 සිට Android දුරකථන සඳහා Gemini සහාය

දශකයකට ආසන්න කාලයක් Android පාරිභෝගිකයින්ගේ සමීපතම හඬ සහායකයා වූ Google Assistant සේවාව සම්පූර්ණයෙන්ම නතර කර, ඒ වෙනුවට කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන Gemini සේවාව හඳුන්වා දීමට Google සමාගම තීරණය කර තිබෙනවා. මෙය මේ වසර (2025) අවසානයේදී සිදුවීමට නියමිතව තිබුණද, පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් ලබා දීම සඳහා එම කාලසීමාව 2026 වසර දක්වා දීර්ඝ කර ඇති බව Google නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එනම්, 2016 වසරේදී ආරම්භ වූ Google Assistant යුගය හරියටම වසර 10කට පසු අවසන් වී, වඩාත් බුද්ධිමත් සහ දියුණු AI යුගයක් එළඹෙන වසරේ සිට උදාවන බවයි. මුලින් සැලසුම් කර තිබුණේ 2025 වසර අවසන් වන විට බොහෝ ජංගම උපාංගවල ඇති Assistant සේවාව Gemini වෙත යාවත්කාලීන කිරීමයි. කෙසේ වෙතත් Google දැන් පවසන්නේ බාධාවකින් තොරව මෙය සිදු කිරීම සඳහා එම කාලසටහන 2026 වසර දක්වා සකස් කළ බවයි.

ඒ අනුව 2026 දී මෙම ක්‍රියාවලිය අවසන් වූ පසු, Android දුරකථන සහ ටැබ්ලට් පරිගණකවල Google Assistant තවදුරටත් ලබා ගත නොහැකි වනු ඇත. එසේම, iOS සඳහා වන ස්වාධීන Assistant App එක ද නතර කරනු ඇත.

කෙසේ වෙතත් නවතම Pixel 10 Series එකේ පරිශීලකයින්ට අවශ්‍ය නම් Gemini වෙනුවට නැවත Google Assistant වෙත මාරු වීමේ විකල්පය ලබා දී ඇති නමුත් 2026 වන විට එම විකල්පය ද ඉවත් වනු ඇත.

Source: 9to5google.com www.theverge.com