Loading...
Google සමාගම විසින් ඔබගේ පැරණි Gmail ලිපිනය වෙනස් කිරීමේ හැකියාව ලබා දෙයි

වසර 20කට අධික කාලයක් Gmail භාවිතා කරන්නන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවකට විසඳුම් ලබා දෙමින්, පවතින Gmail ලිපිනය (Email Address) දත්ත අහිමි වීමකින් තොරව වෙනස් කිරීමේ හැකියාව Google විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව දශක දෙකක් තිස්සේ පැවති මෙම දැඩි සීමාව ඉවත් කරමින් පරිශීලකයින්ට නව @gmail.com අනන්‍යතාවක් තෝරා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

මෙම පහසුකම ප්‍රථමයෙන් හින්දි භාෂාවෙන් යුත් Google සහය පිටුවක (Support Page) දක්නට ලැබුණු අතර, එය මේ වන විට ලොව පුරා පාරිභෝගිකයින් වෙත ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතනවා. කෙසේ වෙතත් තවමත් මෙම පහසුකම අප සඳහා නිකුති වී නොමැති වනවා.


මීට පෙර ඔබගේ Gmail ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් සිදුවූයේ පැරණි ගිණුම ඉවත් කර, අලුත් ගිණුමක් ආරම්භ කර සියලු දත්ත මාරු කිරීමයි. නමුත් නව ක්‍රමය යටතේ එය ඉතා සරල වී තිබෙනවා.

Image Source - support.google.com

මේ මඟින් ඔබ නව Gmail ලිපිනයක් තෝරා ගත් විට, ඔබගේ පැරණි ලිපිනය ස්වයංක්‍රීයව 'Alias' (අන්වර්ථ නාමයක්) ලෙස පද්ධතියේ රැඳී පවතින අතර ඔබගේ පැරණි ලිපිනයට ලැබෙන පණිවිඩ තවදුරටත් ඔබගේ Inbox එකටම ලැබෙනවා. එසේම Google Photos, Drive, YouTube සහ අනෙකුත් දත්ත කිසිවක් මකා නොදැමෙන අතර ඒවා පෙර පරිදිම පවතිනු ඇත. එමෙන්ම ඔබට ඔබගේ පැරණි ලිපිනයෙන් හෝ නව ලිපිනයෙන් Google සේවාවන්ට පුරනය වීමේ හැකියාව පවතිනවා.


මෙහි සීමාවන්;

  • වසරකට වරක් පමණයි: ඔබ ලිපිනයක් වෙනස් කළහොත්, නැවත එය වෙනස් කිරීමට හෝ මකා දැමීමට අවම වශයෙන් මාස 12ක් ගත විය යුතුය.
  • මුළු සීමාව: එක් ගිණුමක් සඳහා තම ලිපිනය වෙනස් කළ හැක්කේ උපරිම 3 වතාවක් පමණි. ඒ අනුව එක් ගිණුමකට ලිපිනයන් 4ක් දක්වා හිමි විය හැකියි.
  • පැරණි ලිපිනය ඔබටමයි: ඔබ අත්හැර දැමූ පැරණි Gmail ලිපිනය වෙනත් කිසිවෙකුට ලබා ගැනීමට ඉඩ නොදෙන අතර, එය සැමවිටම ඔබටම හිමි වනවා.

ඔබේ ගිණුමට මෙම පහසුකම ලැබී ඇත්දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?

මෙම පහසුකම තවමත් ව්‍යාප්ත කිරමින් පවතින අතර සෑම කෙනෙකුටම එකවර මෙය නොලැබිය හැකිය. පහත පියවරයන් ඔස්සේ මේ පහසුකම ලැබුන පසු ඔබගේ ලිපිනය වෙනස් කර ගත හැකි වනු ඇත.

  1. ඔබගේ Google Account වෙත පිවිසෙන්න (myaccount.google.com).
  2. 'Personal Info' ටැබ් එක තෝරන්න.
  3. 'Contact Info' යටතේ ඇති 'Email' යන්න තෝරන්න.
  4. එහි 'Google Account email' යන තැන ලිපිනය වෙනස් කිරීමේ විකල්පය (Edit option) තිබේදැයි බලන්න.
Image Source - support.google.com

බොහෝ දෙනෙකු Gmail ලිපිනය මුලින්ම සැදීමේදී නොදැනුවත්කමින් යොදාගත් ලැජ්ජා සහගත ලිපිනයන් වෙනුවට වඩාත් වෘත්තීය ලිපිනයක් ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව උදා වනු ඇත.

Source: support.google.com 9to5google.com