Loading...
Google Pixel 6 ජංගම දුරකතනය සමඟින් හදුන්වා දෙනු ලැබූ Google Tensor chipset එක ගැන ඔබ දැනගත යුතු සියළුම ​දෑ

මීට දින කිහිපයකට පෙර ගූගල් සමාගම විසින් ඔවුන්ගෙ නවතම පික්සල් ජංගම දුරකතනය වන පික්සල් 6 සහ පික්සල් 6 ප්‍රෝ ජංගම දුරකතනය එලි දැක්වීම සිදු කරනු ලැබුවා. ගූගල් සමාගම විසින්ම නිර්මාණය කරන ලද නවතම චිපසෙට් එක වන ගූගල් ටෙන්සර් නම් චිපසෙට් එක යොදා නිකුත් කල ප්‍රථම ජංගම දුරකතන මාලව මෙය වන අතර එම ජංගම දුරකතන දෙක පිළබඳවම අප විසින් සවිස්තරත්මක විස්තරයක් ඔබ වෙත ගෙන එනු ලැබුවා. නමුත් ගූගල් සමාගම විසින් එලිදැක්වූ මෙම චිප්සෙට් එක පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් මේ වන තුරුත් නියමාකාරයෙන් සිංහල භාෂාවෙන් නොමැති බව අප දුටු බැවින් ඒ පිළිබඳ්අවත් නිවැරදිව හා තේරුම් ගත හැකි ආකාරයෙන් ඔබ වෙත ගෙන ඒමට කල්පනා කලෙමු.

Google Tensor Chip එක කියන්නේ මොකක්ද?

ගූගල් ටෙන්සර් චිප් සෙට් එක කියන්නෙ ගූගල් සමාගම විසින් ප්‍රථම වතාවට ඔවුන්ගේම තාක්ෂණයන්ට අනුව ගූගල් සමාගම තුලදීම නිර්මාණය කරන ලද ගූගල් සමාගමේම චිප්සෙට් එකක් වන අතර එය මුල්ම වතාවට යොදා ගනු ලැබුවේ Pixel 6 සහ Pixel 6 Pro ජංගම දුරකතන සඳහාය.

එම චිප්සෙට් එකේ සඳහන් වන Tensor යන නාමය පැමිණෙන්නේ ගූගල් සමාගමේ Machine Learning චිප් එක වන Tensor Processing Unit හෙවත් TPU එක නිසාවෙනි. මෙම Tensor Processing Unit එක මේ වන විට ගූගල් සමාගම විසින් ඔවුන්ගේ data center වල භාවිතා කරන අතර ඒ හරහා ඔවුන් විසින් විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර AI සඳහා විශාල සහයක් ඒ හරහා ගූගල් සමාගමට ලැබෙනවා.

ගූගල් සමාගම විසින් ඔවුන්ගේම චිප්සෙට් එකක් නිර්මාණය කරන්නේ ඇයි?

Google Tensor චිප්සෙට් එක ගැන ගැඹුරින් කතා කරන්න කලින් අපි මුලින්ම දැන ගෙන ඉන්න ඕනේ ඇයි ගූගල් සමාගම විසින් Snapdragon චිප්සෙට් භාවිතාවෙන් බැහැරව ඔවුන්ගේම චිප්සෙට් එකක් නිර්මාණය කරන්න පෙළඹුනේ ඇයි කියන කාරණාව පිළිබඳව. ඒ සඳහා මූලික වුනු ප්‍රධාන කාරනු තුනක් පවතිනවා.

Hardware මනාව පාලන පාලනය කිරීමේ හැකියාව

ගූගල් සමාගම විසින් පික්සල් 2 සහ 3 ජංගම දුරකතන සඳහා ඔවුන් විසින් නිර්මාණය කරන ලද Pixel Visual Core නම් co-processor හෙවත් සහයක ප්‍රොසෙසර් එකක්ද, පික්සල් 4 ජංගම දුරකතන සඳහා Pixel Neural Core ප්‍රොසෙසර් එකක් සහ Titan M නම් security chip එකක්ද භාවිතා කරනු ලැබුවා. මෙම සහයක චිප්සෙට් භාවිතා කරමින් ගූගල් සමාගම තම කෘත්‍රීම බුද්ධිය සහ computational photography යන අංශ දෙකම ඔවුන්ගේ ජංගම දුරකතන සඳහා ඇතුලත් කිරීම සිදු කල අතර ප්‍රධානම චිප්සෙට් එක ලෙස දිගටම යොදාගනු ලැබුවේ Qualcomm සමාගම විසින් Snapdragon චිප්සෙට්ය.

ගූගල් සමාගම වැනි තාක්ෂණික ලෝකයේ පුරෝගාමියෙකුට ඔවුන්ගේම චිප්සෙට් එකක් තිබෙනවාය යනු ඉතාමත් විශාල පියවර කිහිපයකින් කෙටිකාලයක් තුලදී ඉදිරියට යාමේ හැකියාව පවතිනවා. හොඳම උදාහරණය තමයි ඇපල් සමාගම විසින් iPhone සඳහා යොදා ගන්නා A මාදිලියේ bionic chipsets සහ ඔවුන්ගේ පරිගනක සඳහා යොදා ගන්නා M මාදිලියේ චිප්සෙට් වලින් ඔවුන් තමන් විසින් නිෂ්පාදිත උපාංග වල හැකියාවන් වල සීග්‍ර වර්ධනයක් ඇති කරගැනීමට සමත් වීම. එයට හේතුව වන්නේ, ඇපල් සමාගමට තම මෘදුකාංග ඔවුන්ගේ චිප්සෙට් සඳහා උපරිමය සහය දක්වන ආකාරයට සකස් කිරීමේ හැකියාව පැවතීමයි.

ගූගල් සමාගමද ඇපල් සමාගම පියවර තැබූ මඟ ඔස්සේ පියවර තබමින් ඔවුන්ගේම චිප්සෙට් එකක් නිපදවා ගැනීම හේතුවෙන් ඉදිරියේදී පික්සල් ජංගම දුරකතන අති විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලබනු ඇතැයි සිතාගත හැකිය. එයට හේතුව වන්නේ පෙරදී ගූගල් සමාගම ඔවුන් විසින්ම නිෂ්පාදිත සහයක ප්‍රොසෙසර්ස් භාවිතා කලද ඇතැම් විට ඒවා සතු ක්‍රියාකාරීත්වයට Snapdragon මාදිලියේ චිප්සෙට් වලින් උපරිම සහය නොලැබීම නිසා ඇතැම් අවස්ථාවන් වලදී පික්සල් ජංගම දුරකතන වල හැකියාවන් තරමක් පහත වැටුණු අවස්ථා තිබුනු බැවිනි.

නමුත් ගූගල් සමාගම විසින්ම නිපදවනු ලැබූ මේ Google Tensor Chipset එක හේතුවෙන් ඔවුන්ගේ දැනට පවතින සහ ඉදිරියේදී එලිදැක්වීමට නියමිත තාක්ෂණයන්ට සීමාවකින් සහ බාධාවකින් තොරව වසර කිහිපයක් ගතවන තුරු සහය දැක්වීමේ හැකියාව පවතී. නමුත් ගූගල් සමාගම විසින් මෙම චිප්සෙට් එක වෙනත් සමාගම් වෙත ලබා දෙනවාද යන්න තවමත් ප්‍රකාශ කර නැති නිසා ඉදිරියේදී Android මෙහෙයුම් පද්ධතිය සඳහා උපරිම සහය දක්වමින් Android ලෝකයේ පෙරමුණ ගන්නා ජංගම දුරකතනය ලෙස Google Pixel දුරකතන වනු නොඅනුමානයි.

Software Updates පහසුවෙන්

ගූගල් සමාගමට ඔවුන්ගේ නම චිප්සෙට් එකෙන් හිමිවන තවත් එක් ප්‍රධානතම වාසියක් වන්නේ Android සංස්කරණයන් Pixel 6 ජංගම දුරකතන සඳහා පහසුවෙන් නිකුත් කිරීමට ඇති හැකියාව සහ දිගු කාලයක් පුරාවට මෙහෙයුම් පද්ධති සංස්කරණයක් සඳහා සහය දැක්වීමට ඇති හැකියාවයි. ඒ අනුව ගූගල් සමාගම ආරම්භයක් ලෙස Pixel 6 සහ Pixel 6 Pro ජංගම දුරකතන සඳහා වසර 3ක් දක්වා මෙහෙයුම් පද්ධති සහ ආරක්ෂක සංස්කරණයන්ද, වසර තුනකට පසුව තවත් වසර දෙකක් දක්වා ආරක්ෂක සංස්කරණයන්ද නිකුත් කිරීමට කටයුතු කර ඇත. මෙම කාල සීමාවන් ඉදිරියේදී නිකුත් වීමට නියමිත පික්සල් ජංගම දුරකතන වලදී වැඩි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

Ecosystem එක පුළුල් කිරීමට ඇති හැකියාව

ගූගල් සමාගම විසින් තමන්ගේ ecosystem එකට මේ වන විට විශාල උපාංග ප්‍රමාණයක් එක් කර තිබෙනවා. මෙ වනකොට Google ecosystem එකට smartwatches, smart speakers, Chromebooks සහ තවත් විශාල උපාංග ප්‍රමාණයක් අයත් වනවා. ආරම්භයක් වශයෙන් පික්සල් 6 මාදිලීන් හරහා මෙම චිප්සෙට් එක එලිදැක්වූවත් ඉදිරියේදී එලිදැක්වීමට නියමිත අනෙකුත් උපාංග සඳහාද ගූගල් සමාගම විසින් නිමැවූ custom chipset එකක් භාවිතා කරනු ඇත.

Google Tensor: CPU

ගූගල් සමාගම තමන්ගේම චිප්සෙට් එකක් නිර්මාණය කිරීමට යනවාය යන්න පුවත මීට දිගු කාලයකට ප්‍රථම කරලියට ආ පුවතක් වූ අතර එය හැදින් වූයේ Whitechapel කියන කේත නාමය හෙවත් කෝඩ් නේම් එකෙනි. පසුව එය Google Tensor නමින් හැදින්වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

Google Tensor චිප්සෙට් එක නිපදවා තිබෙන්නේ 5nm process එකෙන් වන අතර එය octa-core වර්ගයේ චිප්සෙට් එකකි. මෙම චිප්සෙට් එක සතුව 2.8GHz Cortex-X1 cores දෙකක්ද, 2.25GHz Cortex-A76 cores දෙකක්ද, 1.8GHz Cortex-A55 cores 4ක්ද අඩංගු වේ. නමුත් මේ වන විට Cortex A-78 නිකුත්ව තිබියදීත් ගූගල් සමාගම විසින් Cortex A-76 තෝරා ගැනීමට හේතුව වී තිබෙන්නේ A-76, A-78 වලට වඩා අඩු තාපයක් නිෂ්පාදනය කිරීමයි.

Google Tensor චිප් සෙට් එක High performance cores දෙකකින්ද, Mid core දෙකකින්ද, High-efficiency cores හතරකින්ද සමන්විත වන අතර ඒවා පිලිවෙලින් Cortex-X1, Cortex-A76 සහ Cortex-A55 ලෙස වනවා.

Google Tensor: GPU

XDA Developerලාගේ වාර්තාවකට අනුව Google Tensor චිප්සෙට් එක සඳහා භාවිතා කර තිබෙන්නෙ සැම්සුන් සමාගමේ Galaxy S21 ජංගම දුරකතනය (Exynos මාදිලිය) සඳහා භාවිතා කරන ARM සමාගමේ Valhall architecture එක භාවිතා කරමින් නිපදවා ඇති Mali-G78 GPU එක භාවිතා කර ඇති බවයි. සැම්සුන් සමාගම Galaxy S21 සඳහා 14-core Mali-G78 GPU එක භාවිතා කර ඇත. නමුත් Google සමාගම විසින් Tensor චිප්සෙට් එක සඳහා 20-core Mali-G78 GPU එක භාවිතා කර ඇත.

කෙසේ නමුත් Google සමාගම විසින් ඔවුන් Tensor චිප්සෙට් එක සඳහා භාවිතා කල GPU එක පිළිබඳව නිල වශයෙන් හෙලි කලේ නොමැති උනත් Pixel 5 දුරකතනයේ GPU එකට වඩා 370%ක වේගයක් Pixel 6 සඳහා භාවිතා කර ඇති GPU එක සතුවන බව Google සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

Pixel 6 සහ Pixel 5 ජංගම දුරකතන වල CPU සහ GPU අතර සංසන්දනාත්මක රූපණ සටහ​න

​‍Google Tensor: AI & ML

Artificial Intelligence සහ Machine Learning යනුවෙන් Google Tensor චිප්සෙට් එක ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. Google සමාගමට අනුව Tensor චිප්සෙට් එක මඟින් කැමරාව සඳහා මෙන්ම (විශේෂයෙන් වීඩියෝ), speech recognition, voice commands, translation, captioning සහ dictation යන අංශ වල ක්‍රියාකාරීත්වයන්හි අති විශිෂ්ඨ වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. එහි ප්‍රථිඵලයක් ලෙස Pixel 6 ජංගම දුරකතනක් භාවිතා කරමින් චලනය වෙමින් පවතින වස්තුවක පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව හිමිවී ඇත.

Google Tensor: Security & Benchmarks

ගූගල් සමාගම විසින් Pixel 5 ජංගම දුරකතනය තෙක් Titan M නම් වූ security chip එකක් භාවිතා කල අතර මෙවර පියවරක් ඉදිරියට තබමින් මෙවර Titan M2 නම් නව security chip එකක් භාවිතා කර ඇත. මෙම නවතම Titan M2 chipset එක හරහා Google සමාගම hardware security level layer එකක් වන අතර ඒ හරහා වෙන කිසිදු Android ජංගම දුරකතනයක නොමැති ආකාරයේ ආරක්ෂාවක් Pixel 6 දුරකතන මාලාව වෙත ලැබී ඇති අතර Android මෙහෙයුම් පද්ධතිය මඟින් බල ගැන්වෙන ලොව ඇති වඩාත්ම ආරක්ෂිත දුරකතනය ලෙස Pixel 6 ජංගම දුරකතන මාලාව හැදින්වෙනවා.

මෙම චිප්සෙට් එක කෙතරම් ආරක්ෂිතද යන්න පවසනවා නම්, benchmarking service එකකට පවා Tensor චිප්සෙට් එකේ නිවැරදිම අගය මැන ගැනීමට නොහැකි වී තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ තවමත් Kernel source එලිදක්වා නොතීබීම විය හැකියි. මෙවැනිම සමාන සංසිද්ධියක් හුවාවි සමාගම විසින් ප්‍රථම වරට ඔවුන්ගෙ Kirin චිප්සෙට් එළිදැක්වූ අවස්ථාවේදීම සිදු වූ බව ඔබට මතක ඇති.

ඒ ආකාරයෙන් Google Tensor පිළිබදව ඔබ නොදත් සහ ඔබට මගහැරුණු දෑ අප විසින් ඔබ වෙත ගෙන ආවෙමු. ඔබත් දන්නා කරුණු පහත කමෙන්ට් සෙක්ශන් එකේ සඳහන් කරන්න.