Loading...
ශ්‍රී ලංකාවේ නිර්මාණය වුනු ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය, ගජමෑන් හැදුනේ මෙහෙම​යි

ලංකාවේ අපි පිටරටවලින් එන 3D Animated Movies ගොඩක් නරඹලා තියෙනවා. ඒත් ඒ වගේ දෙයක් ලංකාවෙන් කවදා හැදෙයි ද කියලා ගොඩක් දෙනෙක් බලන් හිටපු අතරේ Studio 101 කියන්නේ 25 දෙනෙක්ගෙන් විතර සමන්විත, ලංකාවේ ප්‍රථම 3D Animated Movie එක නිර්මාණය කිරිම කියන දැවැන්ත කඩඉම ජයගත්ත කණ්ඩායමයි. මේ Studio 101 Team එක එයාලගේ මුල්ම Movie එකට පාදක කරගන්නේ 70 දශකයේ ඉඳන් ජනප්‍රිය වුණු ගජමෑන් කියන චිත්‍ර කතාවයි.

ගජමෑන් කතාව කෙටියෙන්..

ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරන මගෝඩිස් තුමාගේ සුරූපි දියණිය පද්මාවතී වසර කිහිපයකට පසු නැවත ගමට ඒමට තීරණය කරන්නේ ඇගේ හොඳම මිතුරිය වූ ස්වීටි සමඟය. බලාපොරොත්තු වූ පරිදිම, මගෝඩිස් තුමා ගජමෑන්ට තම මෝටර් රථයෙන් ඔවුන් ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් ආරක්ෂිතව ගමට ගෙන ඒමේ වැදගත් කාර්යය භාර දෙයි. ගජමෑන් ගුවන් තොටුපළට නියමිත වේලාවට පෙර පැමිණෙන අතර ඔහුගේ වැදගත් අමුත්තන් පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටී. අවසානයේ ඔහු පද්මාවතී දෙස දෑස් යොමු කරන විට ඔහු ඇය වෙනුවෙන් හිස ඔසවද්දී ඔහුගේ ලෝකය උඩු යටිකුරු වේ.

ඉදිරි දින කිහිපයේ සහ සති කිහිපය තුළ, ප්‍රේමයෙන් වෙළුණු ගජමෑන් පද්මාවතී වෙත ළඟා වී ඇය කෙරෙහි තම හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඔහු ඇය සමඟ කතා කිරීමට සහ සමහර විට ඇයව පුදුමයට පත් කිරීමට හැකි මට්ටමකට ඉංග්‍රීසි හැදෑරීමට ඉංග්‍රීසි පන්තියකට පවා යාමට තීරණය කරයි.

ගජමෑන් තම දියණිය කෙරෙහි ඇති ඇල්ම පිළිබඳ තොරතුරු මගෝඩිස් තුමා වෙත වාර්තා වන අතර ඔහු කෝපයට පත් වේ. ඔහු ගජමන්ගේ නිවසට කඩා වැදී ඔහුව ගමෙන් පිටුවහල් කරයි, ඔහු කවදා හෝ ගමට පය තැබුවහොත් හෝ තම දියණිය සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළහොත් ඔහු මරා දමන බවට තර්ජනය කරයි.

ජීවිතය ගැන බියෙන් සිටින ගජමෑන්ට කවදා හෝ ආපසු ඒමට හැකි වේදැයි නොදැන ගමෙන් පලා යාම හැර වෙනත් විකල්පයක් නැත. පද්මාවතීට ඇති ආදරය නිසා ඔහුගේ මුළු ජීවිතයම කඩා වැටුණු ආකාරය ඔහු මෙනෙහි කරයි. ඔහු තම දුකේ ගිලී සිටින අතරතුර, අනපේක්ෂිත සිදුවීම්වල සමුදායක් ඔහුට ඔහුගේ වාසනාව ගෙන ඒමට සහ ඔහුගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවස්ථාව ලබා දෙයි.

ආරම්භය

මේ චිත්‍ර කතාව 3D Movie එකක් විදිහට නිර්මාණය කරන්න මුලින්ම අදහස එන්නෙ චානකට පෙරේරාට ඒ 2010 වසරේදී යි. ඒත් ඒ වෙනකොට ලංකාවේ මේ වගේ දෙයක් කරන්න කවුරුත් උත්සහ කරල තිබ්බේ නැති හින්දා මේ ගැන මෙයාට අවුරුදු ගණනාවක්ම Research කරන්න සිදුවෙනවා. පොඩියට පටන්ගත්ත මේ වැඩේ Research කරගෙන යද්දී Studio 101 කණ්ඩායමට මේකට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ ලංකාවෙම අය මේ වැඩේට එකතු කරගන්න පුලුවන් වෙනවා.

කොහොමද මේක Animate කරන්නේ?

Research වලින් පස්සේ මෙයාලට ආපු මුල්ම ගැටලුව තමයි මේක Animate කරන්නේ කොහොමද කියලා. සාම්ප්‍රදායික විදියට Object එකෙන් Object එකට අතින් Draw කරලා ඒවා එක, එක Draw කරන්න ගියොත් මෙයාලට සෑහෙන්න කාලයක් වගේම ලොකු වියදමකුත් යනවා. පසුව Tin Tin Animate Movie එක හදන්න Stephan Spielberg යොදා ගත්ත Motion Capture තාක්ෂණය මේකට යොදා ගන්න පුළුවන් කියන idea එක මේ කණ්ඩායමට ආවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට Motion/Performance Capture Set එකක් මෙයාලා ලංකාවට ගේනවා.

ඒ වුනත් මේක හිතන තරම් ලේසි වැඩක් නම් වුණේ නැ. Performance Capture කරද්දී Facial Animations, Finger Animations හරියටම වැඩ කරන්නෙ නැති නිසා ගජමෑන් Movie එකේ සම්පූර්ණ Facial, Hand Animations කරල තියෙන්නෙ අර සාම්ප්‍රදායික ක්‍රමයටමයි. Hollywoodවල බොහොම ලේසියට පෙන්නන මේ Motion Capture වගේම 3D Animation කරන එකත් කියන තරම් ලේසි නැති බවත් මේක තුළින් පේනවා.

CAST

  • අධ්‍යක්ෂණය - චානක පෙරේරා
  • නිෂ්පාදක - චාමික ජිනදාස, ජෝන් ෆොන්සේකා
  • විධායක නිෂ්පාදක - ඉසුරු ඩේවිඩ්, ඉසුරු සිල්වා
  • තිර රචනය - සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්
  • සංගීත අධ්‍යක්ෂණය - අනුෂ්ක උදාන
  • සංගීත නිර්මාණය - ලහිරු කොස්තා
  • ප්‍රධාන නිර්මාණ ශිල්පී - ධනුෂ්ක ලක්මාල් කන්නන්ගර
  • සහය අධ්‍යක්ෂණය - ශෂී කෞෂල්‍ය
  • සජීවිකරණ අධ්‍යක්ෂණය - ඉසුරු මධුෂාන්
  • සජීවිකරණ ශිල්පීන් - ෂමෝද් චානුක, රිස්වාන් රෆීක්
  • Mo Cap තාක්ෂණික අධ්‍යක්ෂණය - යසිරු ගුණරත්න
  • සංස්කරණය - ශෂිමාල් කුලරත්න
  • වර්ණක - සේනක වික්‍රමසූරිය
  • VFX අධ්‍යක්ෂණය - රිවිනු අමන්දා, හර්ෂ කුමාර

හඩ කැවීම්

  • ගාමින්ද ප්‍රියවිරාජ්
  • සුනෙත් චිත්‍රානන්ද
  • සුනිල් පෙරේරා
  • යුරේනි නොෂිකා
  • රාශි පබෝධා
  • ඩිලාන් සේනානායක
  • අනුරාධ සිගේරා
  • දමිතා අබේරත්න
  • නිපුනි ශාරදා

බොම්බෙ මොටයි - ගජමෑන් නිල තේමා ගීතය

  • ගායනය - අනුෂ්ක උදාන සමඟ සුනිල් පෙරේරා
  • තනු නිර්මාණය - දිනේෂ් ගමගේ
  • ගී පද - අනුෂ්ක උදාන, දිනේෂ් ගමගේ
  • සංගීතය - ලහිරු කොස්තා
  • සංගීත සුසං‍යෝජනය - ලහිරු පෙරේරා
  • Guitar - බුද්දික පෙරේරා
  • Flute - වයනක පෙරේරා
  • Shehnai - සරන් රාජ්
  • Keyboard - ලහිරු කොස්තා

ඇයි මේක අපිට මෙච්චර විශේෂ වෙන්නේ?

  • ලංකාවේ හදපු ජාත්‍යත්තරය සමග කරට කර ඉන්න පළමු නිර්මාණය වෙන්නෙ මේ ගජමෑන් film එක නිසා.
  • මේ හදල තියෙන්නෙ ලංකාවෙම චිත්‍ර කතා ශිල්පියෙකු වුණු කැමිලස් මහත්මයගෙ නිර්මාණයක් වගේම ලංකාවෙ බාල මහලු කොයි කවුරුත් දන්න චිත්‍ර කතා මූලික කරගෙන ජනප්‍රිය වෙච්ච චරිතයක් නිසා.
  • මේක Rendering කරගන්න ලංකාවෙම Render Farm එකක් මේ Studio 101 team එක විසින්ම හදාගෙන තියෙන නිසා.

එහෙනම් ඔන්න දෙසැම්බර් මාසේ 9 වෙනිදා ගජමෑන් Theaters වල Release වෙනවා. මේ හැම දෙයක් ගැනම ඇහෙද්දි ලංකාවෙ අපට කරන්න බැරි දේවල් නැහැ, පුලුවන් තවත් බොහෝ දේවල් තියෙනවා කියන එකත් මතක් කරන්නම ඕන. මේ ගැන ඔයාගෙ අදහස් පහළ Comment Section එකෙන් කතා කරමු.