Loading...
Huawei සමාගමට සැපයුම් කිරීම සඳහා අවසර ලබාදෙමින් ඇමරිකානු රජය විසින් INTEL සමාගමට අපනයන බලපත්‍ර නිකුත් කරයි

ඇමරිකානු සම්බාධක හේතුවෙන් ඇමරිකානු තාක්ෂණය සහ උපකරණ භාවිතා කරමින් chipset නිපදවන නිෂ්පාදකයන්ට Huawei සමාගමට තම නිෂ්පාදන සැපයීමට සහ ගණුදෙනු පවත්වාගෙන යාම අවහිර උනා.

මෙම තත්වය යටතේදී මෑතකදී AMD සමාගමට Huawei සමාගමට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවසර ලබාදෙමින් අපනයන බලපත්‍ර සඳහා අනුමැතිය ලබා දුන්නා. මේ හා සමඟම අද වාර්තා වන්නේ ලොව ප්‍රධාන පරිගණක chipset නිපදවන සමාගමක් වන Intel සමාගමටද Huawei සමාගම සඳහා chipset සැපයීම සඳහා අවසරය ලබා දෙමින් වෙලඳ බලපත්‍ර නිකුත් කර ඇති බවයි. ඒ අනුව AMD සමාගම මෙන්ම Intel සමාගමද මෙතැන් පත් Huawei සමාගම වෙත තම නිෂ්පාදන අලෙවි කිරීමේ යෙදෙනු ඇත.

Huawei සමාගමට අමතරව තවත් චීන සමාගම් කිහිපයකට තම නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කර තිබුණ අතර, මේ සමඟින් මෙකී සමාගම් දෙකටම එම තහන්ම් වූ සමාගම් වෙත තම chipset අලෙවි කිරීමට හැකි වුවත් Huawei සමාගමේ නම හැර අනෙකුත් සමාගම් වල නම් මේ වන තුරුත් AMD සමාගම හෝ Intel සමාගම ප්‍රකාශයට පත් කර නෑ.

මීට අමතරව Semiconductor Manufacturing International Corporation වෙතද ඔවුන්ගේ නිෂ්පාදන Huawei සමාගම වෙත අලෙවි කිරීමේ අවසරය පසුගිය සතියේ ලැබී ඇත.

ඒ කෙසේ වෙතත් මෙම වාර්තා දෙකට අනුව ඇමරිකාව තවමත් Huawei සමාගම ඇතුලු අනෙකුත් චීන නිෂ්පාදන සමාගම් වලට නිෂ්පාදන අලෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරන බව තහවුරු වී ඇත. එම හේතුව නිසා නුදුරේදීම හෝ ඉදිරි දිනයකදී තම සැපයුම් කරුවන් සමඟ සුපුරුදු පරිදි ගණුදෙනු කිරීමේ හැකියාව Huawei සමාගම වෙත ලැබෙනු ඇත.

Intel

මීට අමතරව Huawei සමාගමට chipset සපයන තවත් සමාගම් දෙකක් වන SK Hynix නම් දකුණු කොරියානු සමාගමත්, MediaTek Inc නම් තායිවාන සමාගමත් මේ වන විට තම නිෂ්පාදන Huawei සමාගමට අලෙවි කිරීමට සහ සැපයුම් නැවත ආරම්භ කිරීම සඳහා අවසරය ඉල්ලා බලපත්‍ර වලට අයදුම් කර ඇත. නමුත් ඇමරිකාවෙන් පිට පිහිටි මෙවැනි සමාගම් වෙත Huawei සමාගම සමඟ ගණුදෙනු කිරීමට අවසර ලබාදීම අවිනිශ්චිත අතර බොහෝ දුරට එම අවසර පත්‍ර ප්‍රතික්ෂේප විය හැකියයි විශ්ලේෂකයන් පවසනවා.

AMD සහ Intel සමාගම දෙකටම මේ ආකාරයෙන් බලපත්‍ර නිකුත් කිරීම හරහා Huawei සමාගම විසින් නිපදවන Laptop පරිගණක නිපදවීම නොකඩවා ඉදිරියට රැගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත.

Source: Reuters