Loading...
Apple සමාගම 120Hz ProMotion display එකකින් යුතුව iPhone 13 Pro මාදිලියේ ජංගම දුරකතන හඳුන්වා දීමට කටයුතු කරයි

Apple සමාගම 2021 පවත්වන ප්‍රධානතම event වලින් එකක් ඊයේ දිනයේදී (සැප්තැම්බර් 14) දින පැවැත්වූවා. එහිදී ඔවුන් විසින් ඔවුන්ගේ නවතම flagship iPhones වන iPhone 13 Pro සහ iPhone 13 Pro Max එළිදැක්වීම සිදු කරනු ලැබුවා.

Apple සමාගම මුලින්ම විස්තර කරනු ලැබුවේ iPhone 13 Pro මාදිලි සඳහා යොදාගෙන ඇති නවතම display එක ගැනයි. මෙහි කැපී පෙනෙන විශේෂත්වයක් වූයේපෙර එළිදැක්වූ iPhones වල තිබූ display notch එකට වඩා ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයකින් Display notch එක කුඩා කර තිබීමයි. iPhone 13 සහ iPhone 13 mini යන මාදිලි වල ජංගම දුරකතන වන notch එක කුඩා කර තිබුණේ 20%ක ප්‍රමාණයකිනි. ඊට අමතරව ඔවුන් විසින් iPhone 13 Pro මාදිලි සඳහා Super Retina XDR වර්ගයේ display යොදාගෙන තිබෙනවා.

මෙම Super Retina XDR display 1,000-nitක උපරිම දීප්තිමත් භාවයකින් යුක්ත වන අතර ඒ හරහා එළිමහනේදී වැඪි එළියක් පවතින අවස්ථාවකදී වුවද පැහැදිලිව තිරය මත සඳහන් වන දෑ පහසුවෙන් සහ පැහැදිලිව නැරඹීමේ හැකියාව ලැබී තිබෙනවා.

මීට අමතරව වැඩි දෙනා බලා සිටි සහ වැඩි දෙනෙක් හාස්‍යට ලක් කරමින් තිබූ iPhone වල අඩුපාඩුවක් ලෙසින් දැකි 120Hz refresh rate එකකින් යුතු display එකක් නොමැති වීමට Apple iPhone 13 Pro මාදිලියේ ජංගම දුරකතන හරහා Apple සමාගම පිළිතුරු ලබාදී ඇත්තේ 120Hz adaptive referesh rate එකකින් යුතු ProMotion display එකක් ලබා දීමෙනි.  මේ වන විටත් 120Hz refresh rate එකකින් යුතු Android ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් වෙළඳ පලේ පැවතියත් ඒවා භාවිතා කරන අය වැඩි වශයෙන් එල්ල කරන චෝදනාවක් වනුයේ battery එක වරක් ආරෝපණය කිරීමෙන් පසුව වැඩි කාලයක් භාවිතා කිරීමේ හැකියාවක් නොමැති වීමයි.

නමුත් එම ගැටළුව මග හරවා ගනිමින් Apple සමාගම විසින් ඔවුන්ගේ මේ ProMotion display සඳහා යොදාගෙන ඇති adaptive refresh rate එක මඟින් එම අවස්ථාවට අදාල වන refresh rate එක සක්‍රීය කරනෞ ලබනවා. එමඟින් බැටරි ආයු කාලය ඉක්මනින් අඩු වීම අවම කර ගැනීමට Apple සමාගම සමත්ව තිබෙනවා. මෙහි අවම refresh rate එක ලෙසින් 10Hz වැනි අඩු අගයක්ද භාවිතා වීම තවත් විශේෂත්වයක්. මේ නවතම adaptive refresh rate පහසුකම සඳහා ඔවුන්ගේ නවතම CPU එක වන A15 Bionic CPU එක හරහා විශාල සහයක් ලැබෙන බවද Apple සමාගම ප්‍රකාශ කර සිටියා.

Display එකට පස්සේ Apple සමාගම විසින් ඉදිරිපත් කලේ iPhone 13 Pro සඳහා ඔවුන් විසින් යොදා ඇති කැමරාව පිළිබඳවයි. iPhone 13 Pro මාදිලි සඳහා නවතම කැමරා සෙන්සර්ස් යොදාගැනීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. අඩු ආලෝක තත්වයන්හිදී හොඳින් ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට සඳහා f/1.5 aperture අගයකින් යුතු ප්‍රධාන  කැමරා සෙන්සර් එකක් සහf/1.8 aperture එකකින් යුතු ultra-wide කැමරාවක් සහ 3x telephoto lens එකකින් සමන්විත වනවා. Apple සමාගම විසින් මෙවර යොදා ඇති ultra-wide sensor එක මඟින් සෙන්ටිමීටර් 2ක දුරකින් macro photos ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඊට අමතරව macro slow motion videoද පටිගත කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඊට අමතරව A15 Bionic CPU එක සතුව ඇති නව image signal processor එක හරහා ගුණාත්මක බවින් වැඩි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද මෙම ජංගම දුරකතනය සතු වෙනවා. මේ නව image signal processor එක හරහා වීඩියෝ පටිගත කිරීමටද නව විශේෂතා කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ හරහා ඔබට Dolby Vision 4K 60fps වීඩියෝ පටිගත කල හැකි අතර නව cinematic mode එක හරහා ඔබට වඩාත් හොඳ වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද හිමිවනවා. ඊට අමතරව ProRes videoද පටිගත කිරීමට මෙම ජංගම දුරකතන මාදිලි වලට පුළුවන්.

iPhone 13 මාදිලිය සඳහා යොදා ගත් A15 Bionic CPU එකම මෙහි chipset එක ලෙස යොදාගෙන තිබෙනවා. A15 Bionic chipset එක පිළිබඳව කෙටියෙන් විමසා බැලුවහොත් එය 6 core chipset එක වන අතර ඒ සතුව high performances cores 2ක් සහ high-efficiency cores 4කින් සමන්විත වනවා. ඊට අමතරව වැඩිදියුණු කල නව nural engine එකකින්ද මෙම chipset එක සමන්විත වනවා.

බැටරි බලය පිළිබඳව විස්තර කල Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටි අන්දමට iPhone 13 Pro දුරකතනය iPhone 12 Pro එකට වඩා පැය 1.5ක බැටරි ආයුකාලයකින්ද සහ iPhone 13 Pro Max දුරකතනය iPhone 12 Pro Max එකට වඩා පැය 2.5ක බැටරි ආයුකාලයකින්ද යුක්ත වෙනවා.

මෙම ජංගම දුරකතන නව ජංගම දුරකතන වූවත් Apple සමාගම විසින් මෙම ජංගම දුරකතන මිල කර ඇත්තෙ iPhone 12 Pro මාදිලියේ ජංගම දුරකතන වෙළඳපලට නිකුත් කල මිලටමය. ඒ අනුව iPhone 13 Pro දුරකතනය $999ක සිට ඉහළටත්, iPhone 13 Pro Max දුරකතනය $1,099ක සිට ඉහළටත් මිලදී ගත හැකිය. මෙවර base storage එක Apple සමාගම විසින් ලබා දී ඇත්තේ 128GB වන අතර 256GB, 512GB සහ 1TB යන storage options වලින්ද ඔබට සැප්තැම්බර් 24 වන දින සිට මිලදී ගත හැකිය. iPhone 13 Pro මාදිලිය ප්‍රධාන වශයෙන් Graphite, Gold, Silver, සහ Sierra Blue යන වර්ණයන්ගෙන් යුක්ත වේ.

මෙම ලිපිය California Streaming YouTube Live එක ආශ්‍රයෙන් නිම වූ ලිපියකි.