Loading...
රථවාහන දඩ GovPay හරහා මාර්ගගතව ගෙවීමේ පහසුකම් ලබා ​දේ

ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දිනයේ සිට (අප්‍රේල් 11) රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ නියමු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය රටේ ඩිජිටල් පරිවර්තනයේ තවත් එක් පියවරක් ලෙස, විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝනයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වඩාත් කාර්යක්ෂම කිරීමේ උත්සාහයක් ලෙස දක්වන්න පුලුවන්.

ඒ අනුව මේ නියමු වැඩසටහන අප්‍රේල් 11 සිට 30 දක්වා කුරුණෑගල, දඹුල්ල, සහ අනුරාධපුර යන ප්‍රදේශ ආවරණය වන ප්‍රදේශ 12කදී ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ, රියදුරන්ට තම රථවාහන දඩ, එම ස්ථානයේ සිටම මාර්ගගතව ගෙවා, තම රියදුරු බලපත්‍රය එම ස්ථානයේදීම පොලිස් නිලධාරියාගෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Image Source- Sri Lanka Police

මෙලෙස රථවාහන දඩ ගෙවීම සඳහා රජය හඳුන්වා දුන් GovPay වෙබ් අඩවිය භාවිත කළ හැකි අතරම මේ වන විට People’s Pay, Nations Direct, iPay, HelaPay, Frimi සහ Genie ආදි Banking App ඔස්සේද GovPay ගෙවීම් ඉතා පහසුවෙන් සිදු කළ හැකියි.

ඒ අනුව අද සිට කුරුණැගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම සහ අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි මේ නියමු ව්‍යාපෘතිය සිදු වනවා.

මෙම අත්හදා බැලීමේ කාලය තුළ, පද්ධතියේ ගැටලු හඳුනාගෙන, ජනතාවගේ අදහස් ලබාගෙන, එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පෙර සම්පූර්ණ කරන්න පොලිස් මූලස්ථානය බලාපොරොත්තු වෙනවා. මේක රියදුරන්ට ලේසි පහසු විදිහට දඩ ගෙවන්න අවස්ථාවක් ලබා දෙනවා වගේම, රජයේ ඩිජිටල් සේවාවන් පුළුල් කිරීමේ ලොකු පියවරක්.

Source: adaderana