ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා භාවිත කරන්නන්, විශේෂයෙන්ම පෙරගෙවුම් සේවා ලබන පාරිභෝගිකයින්, අන්තර්ජාල දත්ත සහ ඇමතුම් සඳහා කොපමණ බදු ප්‍රතිශතයක් ගෙවන්නේද යන්න පිළිබඳව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) විසින් රාජ්‍ය මුදල් කාරක සභාව (COPF) හමුවේදී නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව පාරිභෝගිකයින් රුපියල් 100 ක පෙරගෙවුම් රීලෝඩ් පතක් මිලදී ගත් විට, එම මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් සෘජුවම රජයේ බදු සඳහා වැය වන බවයි. රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වන මෙවන් මොහොතක, අත්‍යවශ්‍ය සේවා සඳහා වන මෙම ඉහළ බදු බර පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවේදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.
සැබෑ බදු ප්‍රතිශතයන් ?
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පෙරගෙවුම් ජංගම සේවා භාවිත කරන පාරිභෝගිකයින්ට සැබවින්ම බලපාන Effective Tax කොපමණදැයි යන්න පිළිබඳව TRC වෙතින් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින්, TRC හි අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා විසින් විදුලි සංදේශ ගාස්තු ව්‍යුහය පිළිබඳව පහත අයුරින් පැහැදිලි කිරීම් සිදු කරන ලදී.
- දත්ත සේවා සඳහා (Internet Data) - අන්තර්ජාල භාවිතය සඳහා කෙලින්ම විදුලි සංදේශ බද්ද අය නොකළද, පාරිභෝගිකයා දත්ත සේවා සඳහා 20.3%ක පමණ සැබෑ බද්දක් ගෙවීමට බැඳී සිටිනවා.
- හඬ සේවා සඳහා (Voice Services) - සාමාන්‍ය සහ බ්‍රෝඩ්බෑන්ඩ් ආශ්‍රිත ඇමතුම් පහසුකම් සඳහා වන බද්ද මෙයට වඩා ඉහළ අගයක් ගන්නා අතර මෙම සේවාවන් සඳහා පාරිභෝගිකයින් 38.4%ක සැබෑ බද්දක් අය කරනු ලබනවා.
මෙම නිල තොරතුරු මඟින් ජංගම දුරකථන සේවා සඳහා ශ්‍රී ලාංකිකයින්ට දැනට ගෙවීමට සිදුවන අධික බදු බර කෙතරම්ද යන්න පැහැදිලිව පෙන්වා දෙනවා.
Source: www.adaderana.lk








