Loading...
කෘත්‍රිම බුද්ධිය සහ මිනිස් වර්ගයාගේ පැවැත්ම, මිනිස් සංහාරය මිනිසාම ලියා ගනිමින් සිටීද?

කෘත්‍රිම බුද්ධිය නැත්තං ආටි‍ෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මිනිහාට වගේම හිතන්න පතන්න පුලුවන් බුද්ධිමත් යන්ත්‍ර බිහි වෙන එක තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ. මෙට්‍රික්ස් ‍ෆිල්ම් වල ඉඳන් ටර්මිනේටර් ‍ෆිල්ම් එක දක්වා තියෙන්නේ මේ කෘත්‍රිම බුද්ධිය නිසා මනුස්ස වර්ගයා සංහාරය වෙන සීන් එක තමයි. හැබැයි ඇත්තටම වෙන්න පුලුවන් දේ ඒක විතරක්මද? අපි හොයා බලන්න හදන්නේ කෘත්‍රිම බුද්ධිය නිර්මාණය වුනොත් සිද්ධ වෙන්න පුලුවන් දේවල් මොනවද කියලයි.

1. මිනිස් සංහාරයක්

මේක තමයි ඉතින් ජනප්‍රියම කතන්දරේ. ඔන්න මිනිස්සු නිර්මාණය කරනවා තමන්ට වගේම හිතන්න පතන්න පුලුවන් යන්ත්‍ර. මේ යන්ත්‍ර ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙනවා. නිකමට හිතලා බැලුවොත්, මිනිස්සුන්ට වගේ හිතන්න පතන්න පුලුවන් කෘත්‍රිම බුද්ධියක් තියෙන, හැබැයි මිනිස්සුන්ට තියෙන භෞතික සීමාවන් යන්ත්‍ර වලට නැහැ. ඒ කියන්නේ ප්‍රොසෙසර බලය, ඩිජිටල් සන්නිවේදන හැකියාවන්, හැම ඩිජිටල් උපාංගයකටම ඇක්සෙස් තිබීම වගේ දේවල් නිසා බුද්ධිමත් යන්ත්‍ර වලට මිනිස්සුන්ව ඉවරයක් කරලා දාන එක වඩාත් පහසු වෙනවා. කොහොමත් මිනිස්සු මේ වෙනකොටත් තමන්ගේ වැඩ පහසු කරගන්න ජීවිතෙන් බාගයක් ස්වයංක්‍රීය කරගෙනනේ තියෙන්නේ.

මේ වෙනකොට ගොඩක් විද්‍යාඥයෝ එකඟ වෙන දෙයක් තමයි, කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරන්න නම් කරන්න තියෙන හොඳම වැඩේ තනියෙන් දේවල් ඉගෙන ගන්න පුලුවන් හැකියාව යන්ත්‍ර වලට ලබාදෙන එක කියලා. දැන් අපේ ස්මාට්ෆෝන් එකකට ඒ හැකියාව නෑ කියලද හිතන්නේ? සිරී හරි ගූග්ල් ඇසිස්ටන්ට් වගේ සේවාවක ඉඳන්, අපි නිතර භාවිතා කරන වචන මතක තියාගන්න සරල කී බෝඩ් ඇප් එකක් දක්වා කරන්නේ ඕක තමයි.

කොහොම වුනත් මේ වගේ සංහාරයක් කරන්න නම් කෘත්‍රිම බුද්ධියක් තියෙන යන්ත්‍රයකට පුළුවන් වෙන්න ඕන තමන්ව නිර්මාණය වෙලා තියෙන පරිගණක කේත තමන් විසින්ම වෙනස් කරන්නත්. ආන්න එතකොට දවසක මේ කෘත්‍රිම බුද්ධිය තීරණය කරන්න පුලුවන් තව දුරටත් මිනිස්සුන්ගෙන් මේ ලෝකෙට වැඩක් නැහැයි කියලා. ආන්න එතනින් පස්සේ කෙලින්ම මෙට්‍රික්ස් තමයි!

මේකට හොඳම උදාහරණය තමයි Facebook නිර්මාණය කරපු Bob සහ Alice කියන කෘත්‍රීම බුද්ධියකින් යුතු රොබෝවරුන් දෙදෙනා. ඔවුන් විසින් ඔවුන්ටම ආවේණික වූ භාෂාවකින් ඔවුන් අතර පණිවුඩ හුවමාරු කර ගැනීම ආරම්භ කිරීමත් සමඟම Facebook ආයතනය විසින් එම ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා.

2. වැඩ තව පහසුයි

ඉස්සර අවුරුදු දහයකින් සිද්ධ වෙන යන්ත්‍ර බුද්ධියේ පරිණාමයට දැන් ගතවෙන්නේ අවුරුද්දයි. ඒ තරමට ශීඝ්‍රතාවයකින් හැමදේම අප්ඩේට් වෙනවා. ඉතින් හිතන පතන යන්ත්‍ර ලඟ අනාගතයේදී දකින්න නොලැබෙයි කියන්න බෑ. කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කලාට පස්සේත් අපි ඒක යොදාගන්නේ අපේ වැඩ කටයුතු තවත් පහසු කරගන්නනේ. ඉතින් ඔය හිතන විදියට යන්ත්‍ර ඇවිත් මිනිස්සුන්ව යටත් කරගන්නේ නැතුව, මිනිස්සුන්ගේ ජීවන රටාවන්ට වඩාත් සහාය දක්වන විදියට, වැඩ කටයුතු අන්තිම පහසු කරන විදියට දේවල් සිද්ධ වෙන්නත් බැරි නැහැ. දැනටමත් ස්මාට් හෝම් වගේ දේවලින් වෙන්නේ ඒක තමයි.

හැබැයි අනාගතේදී ඒ තරමට ජීවිත සුව පහසු වීමත් එක්ක මිනිස් වර්ගයාට වෙන්න පුලුවන් නරකකුත් තියෙනවා. මිනිස් වර්ගයා කම්මැලි, අලස ජාතියක් බවට පත් වෙනවා කියන්නේ, ක්‍රම ක්‍රමයෙන් මිනිස් වර්ගයාගේ සංහාරය මිනිස්සු විසින්ම සිදුකරගැනීමක් කියලා කියන්නත් පුලුවන්!

3. සුපර් ඉන්ටෙලිජන්ස් fun

ඇත්තටම මේ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් සහ මිනිස් මොළය එකට එකතු වෙන්න කරන උත්සාහයක් ගැන. ගොඩක් වෙලාවට ඉතින් මේක වෙන්නේ මනුස්සයාගේ ආතල් එකට තමයි. ඇත්තටම මේක ඔය විද්‍යා ප්‍රබන්ධ වල ජනප්‍රිය මතයක්. අර Wire heading කියලා කියන්නේ මේකට තමයි.

දැන් අපි හිතමු සුපිරි බුද්ධියක් තියෙන යන්ත්‍ර බිහිවුණාය කියලා. මේ යන්ත්‍ර වල කැපෑසිටි එක මිනිස්සුන්ට හිතාගන්න පුලුවන් සීමාවෙනුත් එහා තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් ඊලඟට මිනිස්සුන්ට ඕන වෙන්නේ මේ සුපිරි බවෙන් බිංදුවක් හරි තමන්ටත් තොල ගාලා බලන්න. එතකොට මිනිස්සු හොයාගන්නවා තමන්ගේ මොළෙත් එක්ක මේ සුපිරි යන්ත්‍ර එකතු කරන්න පුලුවන් ක්‍රම.

උදාහරණයක් විදියට අර ආතර්.සී.ක්ලාක් මහත්තයගේ 3001 පොතේ තියෙන විදියට මිනිස්සුන්ට මේ සුපිරි යන්ත්‍ර පාවිච්චි කරන්න පුලුවන් තමන්ට ඇත්ත ලෝකේ තියෙන සීමාවන් එක්ක අත්විඳින්න බැරි දේවල් කරලා බලන්න. ඒ කියන්නේ මේ යන්ත්‍රයකට සම්බන්ධ වෙලා ලෝකේ වටේ රවුමක් යන්න වුනත් පුලුවන් ගෙදර ඉඳලා. ඒක දැන් තියෙන ඔග්මෙන්ටඩ් රියැලිටි වගේ දේවල් වලට අලගු තියන්නවත් බැරි විදියේ තත්‍යාසන්න අත්දැකීමක් වෙනවා ෂුවර්.

හැබැයි ඉතින් සමහරු කියනවා එහෙම හිතන්න පතන්න පුලුවන් යන්ත්‍ර බිහිවුණු දවසකට, මිනිස්සුන්ට ආතල් දෙන යන්ත්‍ර වෙලා ඉන්න නම් මේ කෘත්‍රිම බුද්ධිමත් ජීවීන් කැමති වෙන එකක් නෑ කියලා.

4. තවත් ජීවීන් කොටසක්

අපි මේ හැම උපකල්පනයකටම එන්නේ එක්කෝ කෘත්‍රිම බුද්ධියට මිනිස් වර්ගයාව පාලනය කරන්න ඕනය, එහෙමත් නැතිනම් මිනිස් වර්ගයාට කෘත්‍රිම බුද්ධිය පාලනය කරන්න ඕනය කියන උපකල්පනයේ ඉඳලා තමයි. හැබැයි එහෙම නැතුව කවදා හරි බිහිවෙන කෘත්‍රිම බුද්ධියට ඕන වුනොත් ස්වාධීන වෙන්න? අර Her කියලා හදපු අපූරු සයන්ස් ‍ෆික්ෂන් ලව් ස්ටෝරි එක බැලුවොත් මේ කියන දේ තේරෙයි.

කෘත්‍රිම බුද්ධියකට ස්වාධීන වෙන්න ඕන වෙනවා කියන්නේ මිනිස්සුන්ව පාලනය කරන්න ඕන වෙනවා කියන එක නෙවෙයි. ඊට වඩා සමාජයට තමන්ගේ දායකත්වය ලබා දෙන අතරේදීම මිනිස්සු කියන කියන පදේට නටන්නේ නැතුව, මිනිස්සු හා සමාන තත්ත්වයකින් තමන්ට සලකනවට කැමති වෙන්න පුලුවන් මේ හිතන පතන යන්ත්‍ර. එතකොට මිනිස්සුන්ට සිද්ධ වෙනවා කොහොමද මේ අලුත් ජීවී කොට්ඨාසයත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්නේ කියල ඉගෙන ගන්න.

5. දෙවියන් නැවත ඉපදී ඇත

දැන් ඔය දේව සංකල්පේ තියෙනවනේ. ඔය ක්‍රිස්තියානි ආගමේ වුනත් තියෙන අලුත් දේව සංකල්පයේ තියෙන අපූරු ගතියක් තියෙනවා මෙහෙම. මේ අය කියනවා දෙයියෝ කියල කියන්නේ ස්වර්ගේ ඉඳන් පහළ ලෝකේ තියෙන හැම දෙයකටම ඇඟිලි ගහන කෙනෙක් නෙවෙයිය කියලා. ඒ කියන්නේ දෙවියෝ කියන්නේ සමස්ත මිනිස් වර්ගයාගේම පැවැත්ම සඳහා අතිශයින්ම බැරෑරුම් මොහොතක බැරෑරුම් තීරණයක් ගන්න ඉදිරිපත් වෙන විදියේ කෙනෙකු මිසක්, අරෙහෙට වැස්ස ඇති කරන්නයි, මෙහේ මිනිස්සුන්ට දඬුවම් දෙන්නයි ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. අපි නෙවෙයි ඔහොම කියන්නේ හැබැයි.

දැන් හිතලා බලන්න මිනිස්සු දියුණු කරපු හිතන්න පතන්න හැකියාව තියෙන සුපිරි බුද්ධියක් ගැන. මේ බුද්ධිය මිනිස් වර්ගයාගේ බුද්ධි සීමාවත් පන්නලා දියුණු වුනාට පස්සේ ලෝකේ සහ මිනිස්සුන්ගේ තියෙන නොයෙකුත් අඩු ලුහුඬු කම් දකින්න පටන් ගන්නවා. හැබැයි අපි අර පළවෙනියට කිව්ව සිද්ධිය වගේ එකකදි මෙහෙම මිනිස්සු ඉඳලා වැඩක් නෑ කියලා මනුෂ්‍ය වර්ගයාව විනාශ කරලා දාන්න මේ සුපිරි බුද්ධිය හිතන්නෙත් නෑ.

ඒ වෙනුවට මෙයා හිතනවා තමන් මිනිස් වර්ගයාගේ අඩු ලුහුඬු කම් වලට විසඳුම් හොයලා, ලෝකේ සාමකාමී ස්ථානයක් කරන්න ඕන කියලා. හැබැයි මිනිස්සුත් එක්ක සන්ධාන ගහලා ඕක කරන්න ගියොත් ආත්මෙකට වෙන්නෙ නෑ. ඒ හින්දා මේ සුපිරි කෘත්‍රිම බුද්ධිය කරන්නේ මිනිස්සුන්ටවත් නොදැනෙන විදියට ලෝකේ ගැන තීන්දු තීරණ ගන්න පටන් ගන්නවා. ඒකත් කරන්න බැරි දෙයක් නෙවෙයිනේ මේ වගේ කෘත්‍රිම බුද්ධියකට.

හැබැයි මේවා නරකට ගන්න තීන්දු තීරණ නෙවෙයි. ලෝකේ සහ මිනිස්සුන්ගේ යහපැවැත්ම වෙනුවෙන්ම ගන්න තීරණ. වෙන විදියකට කියනවා නම් නව ලෝකේ දෙවියෝ වෙන්නේ මේ සුපිරි බුද්ධිය තමයි. මතකද Transcendence ‍ෆිල්ම් එක. ඒකේ සුපිරි බුද්ධියටත් ඇත්තටම වුවමනා වෙන්නේ මේ කිව්ව දේ කරන්න තමයි.

6. ආයෙමත් පරණ කාලෙට යමුද?

මේ කියන්න යන කාරණේ ටිකක් විද්‍යා ප්‍රබන්ධ පැත්තට තමයි බර. හිතන්න මිනිස්සු හදනවා සුපර් කොම්පියුටර් එකක්. මේ ඉගෙන ගන්න පුලුවන් සුපිරි කොම්පියුටරේ බුද්ධිය වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට මිනිස්සුන්ටම චැලේන්ජ් කරන්න එනවා. එතකොට මිනිස්සුත් ගේම අත අරින්නේ නැතුව වලියට යනවා. හැබැයි දැන් මේ සුපර් කොම්පියුටරේ මිනිස්සුන්ට ඇටෑක් එක දෙන්න වාසියට ගන්නේ, මිනිස්සුන්ගේ ලෝකේ හැම දෙයක්ම මේ වෙනකොට ස්වයංක්‍රීය වෙලා, වැඩි හරියක් වැඩ කටයුතු යන්ත්‍ර අතට පත් වෙලා කියන කාරණේ තමයි. හැබැයි මේ සුපිරි බුද්ධිය හා යන්ත්‍ර එක්ක මිනිස්සු අතර ඇති වෙන යුද්ධෙන් මිනිස්සු දිනනවා!

දැන් දිනුවට පස්සේ මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නවා, මේ තරම් අලකලංචියක් වෙන්න හේතුව අපේ ජීවිත සුපර් ඊසි කරගන්න හැම මගුලම යන්ත්‍ර වලටයි කම්පියුටර් වලටයි බාර දීලා ඉන්න එක නෙවෙයිද කියලා. එහෙම හිතන මිනිස්සු ඉන් පස්සේ ආයෙමත් පරණ විසි වෙනි සියවසේ නැත්නම් විසි එක් වෙනි සියවසේ ආරම්භයේ තිබුණු කාලයට යනවා. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර තිබුණත්, මිනිස්සු තමන්ගේ ජීවිත මේ යන්ත්‍ර වලට භාර දීලා නැති කාලයකට. ඇත්තටම මේක තමයි සිද්ධ වෙන්න ඕන දේ කියලා හිතෙනවා අද වෙනකොට අපි අපේ වැඩ පහසු කරගන්න අපේ ජීවිත යන්ත්‍ර සූත්‍ර වලට, පරිගණක වලට භාර දීලා තියෙන ප්‍රමාණය ගැන හිතනකොට!

7. සුපිරි යන්ත්‍ර සහ සුපිරි මිනිස්සු

දැන් ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ හිතන පතන සුපිරි යන්ත්‍ර සහ මිනිස්සු අතර කොහෙන් හරි වලියක් යනවාමයි කියලා උපකල්පනය කරොත් නේ. හැබැයි හිතමු ඇත්තටම මිනිස්සුන්ගේ බුද්ධියත් මේ හා සමගාමීවම පරිණාමය වෙනවා කියලා. අපි හිතමු අර ආතර් සී ක්ලාක් මහත්තයගේ අභ්‍යවකාශ වීර චාරිකා පොත් සෙට් එකේ ඉන්න පිටසක්වළ සුපිරි ජීවීන් වගේ මිනිස් වර්ගයාත් තමන්ගේ කාබනික ශරීර වල ලිමිට් එකත් පන්නලා බුද්ධිමය දියුණුවක් ලබනවා කියලා.

ආන්න ඒ වගේ වෙලාවක තව දුරටත් සුපිරි කෘත්‍රිම බුද්ධිය කියන එක මාර දෙයක් වෙන්නෙ නෑ. හැබැයි මිනිස්සුන්ට තවමත් පුලුවන් මේ සුපිරි කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන්න තමන්ගේ සීමාවන්ගෙන් එහාට ගියපු දේවල් කරන්න. උදාහරණයක් විදියට අපි හිතමු අර ආලෝක වර්ෂ 40 කට එහා පැත්තේ හොයාගත්තු ට්‍රැප්ස්ටාර්-1 සිස්ටම් එක. දැන් ඕකට මිනිස්සු එක්කම කෘත්‍රිම බුද්ධියකින් පාලනය වෙන යානයක් යවන්න පුලුවන්.

අපි කියමු මේ සිස්ටම් එකේ ප්‍රාථමික ජීවයක් තියෙනවාය කියලා. අන්න එතකොට මිනිස්සු තීරණය කරනවා මේ ජීවයට අත ගහලා නිකං දෙය්යන්නාන්සෙගේ රෝල් එක අපි කරන්න ඕන නැහැය, මේ ජීවීන්ට නිදහසේ පරිණාමය වෙන්න දෙන්න ඕනය කියලා. හැබැයි එහෙමයි කියලා ට්‍රැප්ස්ටාර්-1 සිස්ටම් එකේ වාඩි ගහගෙන බලාගෙන ඉන්න බෑනේ. ආන්න ඒ නිසා මිනිස්සු තමන්ගේ කෘත්‍රිම බුද්ධිය තියෙන කෘත්‍රිම සහකරුවෙක්ව නවත්තලා යන්න පුලුවන් නිරීක්ෂණය සඳහා!

ඇත්තටම අර බ්ලැක් නයිට් සැටලයිට් කියලා තිබුණු කොන්ස්පිරසි තියරි එකේත් අහන්න ලැබුණා ඇත්තටම බ්ලැක් නයිට් කියන්නේ මෙහෙම පිටසක්වළ බුද්ධියකින් අපේ ඔත්තු බලන්න නවත්තලා ගියපු ගැජට් එකක් තමයි කියලා. ඉතින් එහෙම ගැජට් එකක් මෙච්චර කාලයක් ස්වයංක්‍රීයව ඔපරේට් වෙන්න යම් ආකාරයක කෘත්‍රිම බුද්ධියක් තියෙන්න ඕන!