අපි අද මූලික වශයෙන් කතා කරන්නෙ මොනාද මේ ටෝර් Relays, ටෝර් Bridges සහ Pluggable Transports කියන්නෙ කියලා. ඒ අතරේ තව බොහෝ දේවල් ගැන අපි කතා කරමු. මේ මාතෘකාව ගැන ගොඩක් අය උනන්දු නිසා, මේ දේවල් පිළිබඳව තියෙන දැනුම පිපාසාව සංසිඳවන අදහසින් මේ ලිපියත් ලියන්න ඕන කියලා තීරණය කළා.
ඔබ Android වැඩකාරයෝ කියවන පාඨකයෙක් නම්, දැනටමත් ටෝර් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන හැටි ගැන දැනුවත් ඇති. මේ පහළ තියෙන්නෙ අපි ටෝර් ජාලය ගැන කලින් කථා කරපු ලිපි.
- Surface Web, Deep Web සහ Dark Web කියන්නෙ මොනාද?
- ප්‍රධානතම ඩාර්ක් වෙබ් ජාලයක් වන Tor ජාලය එහි තෙවන සංස්කරණයට යාවත්කාලීන කිරීමට කටයුතු කරයි
බොහොම කෙටියෙන් මම නැවත පැහැදිලි කළොත්, ටෝර් ජාලය හරහා පුළුවන් ඔබට anonymously එහෙමත් නැත්නම් නිර්නාමිකව අන්තර්ජාලය භාවිතා කරන්න. අන්තර්ජාලය තුළ සාමාන්‍යය ආකාරයට සැරිසරන හැමවෙලේම ඔබ කරන්නෙ හරියට පොදු වෙළෙඳපොළකින් බඩු මිළදීගන්නවා වගේ හරි විවෘත දෙයක්. ඔබ අන්තර්ජාලය තුළ කරන දේවල් රහසක් නොවෙයි. භෞතික වශයෙන් ඔබ කොහොම කාමරේ දොර වහගෙන අන්තර්ජාලය තුළ හොර වැඩක් කළත් වැඩක් නැහැ.
මේ කියන නිර්නාමික ස්වාභාවය අන්තර්ජාලය තුළ ලබාගන්න හරි අමාරුයි. මොකද, ඔයාට අන්තර්ජාල සේවා සපයන සමාගම් කරුවන් වත්, රටක් වශයෙන් ගත්තොත් ආණ්ඩුව වත්, අන්තර්ජාලය හරහා Google, Facebook වගේ පරිශීලක දත්ත යොදාගෙන බිලියන ගණන් උපයන සමාගම් වත්, ඔබ නිර්නාමිකව අන්තර්ජාලය භාවිතා කරනවට කැමති නෑ. ඉතින් ටෝර් කියන්නෙ එහෙම බලනකොට බොහොම වටින ජාලයක්.
ඒ සමඟම, ටෝර් ජාලය තුළ තියෙන Onion Sites වලින් සෑදුණ පොඩි ජාලයකුත් තියෙනවා. මෙන්න මේ ජාලයට අපි ඩාර්ක් වෙබ් කියලා මූලික වශයෙන් හඳුන්වනවා. මෙහෙම තවත් ඩාර්ක් වෙබ් ජාල තිබුණත්, ටෝර් ජාලය සතු Onion Sites තමයි අංක 1 ට තියෙන්නෙ. එහෙනම් මතක් කිරීම අවසන්, අද කතාවට යමු.
ටෝර් Relays යනු මොනවාද?
ටෝර් ජාලය මූලිකවම හැදිලා තියෙන්නෙ මේ Relays වලින්. මම මේ කන්සෙප්ට් එක ඔයාලගෙ ඔළුවට දාන්න ඕන නිසා සංකීර්ණ දේවල් පැත්තකින් තියලා සරල උදාහරණයක් ගන්නම්.
ඔයා ඉස්කෝලෙ යන වයසෙ කෙනෙක්, ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. කෙල්ලගෙ නම නාමලී. ඔයාට ඕන මේ සම්බන්ධය රහසිගතව කරගෙන යන්න. මොකද ඉස්කෝලෙ යන වයසෙ සම්බන්ධයක් මාට්ටු වුණා කියන්නෙ ඉවරයි. අනික ඔය කාලෙ අම්මලා, තාත්තලා වගේම ගුරුවරු හරි කල්පනාවෙන් ඉන්නෙ ළමයි ගැන. ඉතින් එයාලගෙ ඇස් වහන එක ලේසි නෑ. හැබැයි ඔයා වෙනස් විදියට හිතන කෙනෙක්. ඔයා ප්ලෑන් කරනව මේ සම්බන්ධය ටෝර් circuit එකක ආකාරයට කරගෙන යන්න. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.
ඔයා හොයාගන්නව යාළුවෝ තුන් දෙනෙක්. ඔයා කෙල්ලට ලියන ලියුම් ගෙනියන්න මේ යාළුවෝ තුන් දෙනා යොදාගන්නව. ඔයාගෙ යාළුවෝ තුන්ගෙනාගෙ නම් පියුමි, සරත් සහ රන්ජන් කියලා කියමුකො. ගොනා වගේ ඔයාම ලියුම කෙල්ලට ගිහින් දීලා වැඩේ මාට්ටු කරගන්නැතුව, ඔයා කරන්නෙ ඔයාගෙ ලියුම හොඳට සීල් වෙන්න පැක් කරලා, එකක් අස්සට එකක් එන විදියට ලියුම් කවර හතරක දානව. උඩම කවරේ ලියනව "සරත් ට" කියලා. ඊළඟ ඇතුළු කවරේ ලියනවා "රන්ජන් ට" කියලා, ඊළඟ ඇතුළු කවරේ ලියනවා "පියුමි ට" කියලා. අවසාන කවරේ ලියනවා "නාමලීට" කියලා. මෙන්න මේ ආකාරයටයි ලියුම යවන්නෙ.
දැන් බලමු අපි මේ අමුතු ලියුම යන්නෙ කොහොමද කියලා. ඔයා ගාව දැන් අතේ තියෙන්නෙ "සරත් ට" කියලා කවරයේ ලිව්ව ලියුමක්. ඒකට කාටවත් මුකුත් කියන්න බෑනෙ. ඔයා ගිහින් ඒක සරත් ට දෙනවා. සරත් ඒක කඩලා බලනව. කඩලා බැලුවම එන්නෙ ඇතුළෙ කවරෙ. "අඩේ මෙන්න ලියුම අස්සෙ තව කවරයක්!" කියලා සරත් බලනකොට, ඒකෙ ලියලා තියෙනවා "රන්ජන් ට" කියලා. ඉතින් සරත් ට වෙන කරන්න දෙයක් නෑ, එයා ඒක රන්ජන්ට ගිහින් දෙනවා. (අපි උපකල්පනය කරමු යාළුවෝ අනුන්ගෙ නමට තියෙන ලියුම් කඩන්නෑ කියලා හොඳේ) රන්ජනුත් ඔන්න සරත්ගෙන් ලැබුණ ලියුම කඩලා බලනවා. ඒකෙ තියෙන්නෙ "පියුමි ට" කියලා ලියපු තව කවරයක්. එයාටත් වෙන කරන්න දෙයක් නෑ, එයා ඒක පියුමිට ගිහින් දෙනවා. පියුමිත් එයාට ලැබුණ ලියුම කඩලා බලනව. ඒක කඩලා බලනකොට තව කවරයක් අහු වෙනව. ඒකේ තියෙන්නෙ "නාමලීට" කියලා. පියුමි ඒක අරන් ගිහිල්ලා නාමලීට දෙනවා. එයා ඒක කඩලා බැලුවම ආයෙ කවර නෑ, ලියුම එයාට ලැබෙනවා. ඔන්න ඔය විදියෙ රවුම් පාරක තමයි ලියුම යන්නෙ.
දැන් ඔයා හිතනවා ඇති, රහස් කෝච්චිය වගේ මේකෙ පිටිපස්සට යන්න පුළුවන් නේ කියලා. ඇත්ත ලෝකෙ එහෙම පුළුවන් වුණාට, ඩිජිටල් ලෝකෙට ආවම ඒක හරි අමාරු දෙයක්. අපි දැන් අර උදාහරණය පැත්තකට දාලා ඩිජිටල් ලෝකෙට එමු.
අර උදාහරණයේ, ඔයා තමයි සර්වර් එක. යාළුවෝ තුන් දෙනා ටෝර් relays තුනක්. ලියුම ගත්ත නාමලි තමයි ක්ලයන්ට්. අම්මලා, තාත්තලා සහ ගුරුවරු තමයි අන්තර්ජාල සේවා සපයන ආයතන, රජය, පෞද්ගලික දත්ත රැස් කරන සහ විකුණන සමාඟම්.
ඩිජිටල් ලෝකෙට ආවම අර කිව්ව රිලේස් තුන තියෙන්නෙ රටවල් තුනක. ක්ලයන්ට් තව රටක, සර්වර් එක තව රටක. (සමහරවිට රිලේස් දෙකක් වගේ එකම රටක තියෙන්න පුළුවන්) අනික් දේ, රිලේස් තුනකින් ටෝර් circuit එකක් නවතින්නෑ, Relays ගොඩක් අනිවාර්යයෙන් සෙට් වෙනවා. (උදාහරණයේ හැටියට යාළුවො දහයක් පහළවක් හෝ ඊටත් වඩා) රටවල් කීයක ඔයා යැව්ව ලියුම බවුන්ස් වෙනවද කියලා කියන්න අමාරුයි.
ටෝර් නෙට්වර්ක් එක හැදෙන මේ Relays කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි. මේවා අන්තර්ජාලයට සම්බන්ධ වුණ ඔයාගෙ ළඟ තියෙනවා වගේම පරිගණක. ඔයාටත් පුළුවන් ස්වේච්ඡාවෙන් ඔයාගේ පරිගණකය ටෝර් relay එකක් විදියට ටෝර් ජාලයට එක් කරන්න. එහෙම කරන්න නම් එයාලා ලබාදෙන මෘදුකාංග ඔයාගෙ පරිගණකයේ ස්ථාපනය කරලා අන්තර්ජාලය වෙත සම්බන්ධ කරලා තියන්න ඕන. එතකොට ටෝර් ජාලය පරිහරණය කරන අයට පුළුවන් ඔයාගෙ පරිගණකය හරහාත් දත්ත යවමින් සන්නිවේදනය කරන්න. වෙනස් විදියකට කිව්වොත් ඔයාටත් පුළුවන් කපල් එකකට කරන උදව්වක් වශයෙන් ලියුම් ගෙනියන පියුම් මාමෙක් වගේ වෙන්න. හැබැයි ඔයා දන්නෑ ඔයා ගෙනියන ලියුම කාගෙන් කාට යන එකක්ද කියලා. මෙහෙම ලෝකෙ පුරා පරිත්‍යාගශීලී ජනතාව දුන්න එයාලගෙ පරිගණක අතර තමයි ටෝර් ජාලය ගොඩ නැඟෙන්නේ.
ඔයාට මතකනෙ, මම ගත්ත උදාහරණයේ මම කිව්වනෙ එකක් ඇතුළේ එකක් වශයෙන් ලියුම් කවර හතරක ඔයාගෙ ලියුම දානවා කියලා. දැන් මතක් කරගන්න ළූනු ගෙඩියේ ආකෘතිය. කවර හතරක් ඇතුළේ දැම්ම ලියුමක් වගේ, පොතු රාශියකින් නේද ළූනු ගෙඩියක් නිර්මාණය වෙලා තියෙන්නෙ? එකක් ඇතුළත තව එකක් වශයෙන් ළූනු ගෙඩියට පොතු ගොඩක් තියෙනව. දැන් ඔයාලට හිතාගන්න පුළුවන්, ටෝර් ජාලය හැදුණ තාක්ෂණයට Onion Routing කියන්න හේතුව (ළූනු වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Onion කියලා නේ) ඒ වගේම දැන් ඔයාලා දන්නව ටෝර් බ්‍රවුසර් එකේ ලාංඡනය ළූනු ගෙඩියක් වුණ එකට හේතුව.
ටෝර් Bridges කියන්නෙ මොනවාද?
Bridges කියන්නෙ Relays ම තමයි, හැබැයි පොඩි වෙනසක් තියෙනව. සාමාන්‍ය Relays වගේ මේවා සාමාන්‍ය ක්‍රමයට ඇක්සස් කරන්න බැහැ. සාමාන්‍ය ක්‍රමයට කිව්වෙ මෙහෙමයි, මම ටෝර් බ්‍රවුසර් එක ඩවුන්ලෝඩ් කරලා, ටෝර් නෙට්වර්ක් එකට සම්බන්ධ වුණා කියමුකො, එතකොට පාවිච්චි වෙලා තියෙන්නෙ සාමාන්‍ය Relays විතරයි. සාමාන්‍ය භාවිතයේදී Bridges භාවිතා වෙන්නෙ නැහැ.
Bridges භාවිතා කරන්නෙ විශේෂ අවශ්‍යතා සඳහා. එක්තරා රටක ආණ්ඩුවක් තමන්ගෙ රටේ ඉන්න මිනිස්සු අන්තර්ජාලයට සම්බන්ධ වෙලා සිදු කරන්නෙ මොනාද කියන එක බොහොම දරුණු/කැත විදියට සොයා බලනවනම්, (චීනයේ වගේ) ඒ රජය කැමති නෑ ඔයා ටෝර් ජාලය පාවිච්චි කරනවට. මොකද ටෝර් හරහා කරන දේවල් එයාලට බලන්න බැරි නිසා. එයාලා කරන්නෙ ටෝර් ජාලය භාවිතා කිරීම අවහිර කරන එක. ටෝර් Relays පවා අවහිර කරන්න පුළුවන්. ඒත් මේ Bridges කියන Relays වර්ගය පොදු භාවිතයට විවෘත නැති නිසා, ඒවා අවහිර කරන්න අපහසුයි. ඔයා ඉන්න රටේ ඒ විදියේ වාරණයක් ක්‍රියාත්මක වෙනවා නම්, ඔයාට පුළුවන් Bridges භාවිතා කරන්න. ලංකාවෙ එහෙම තහනමක් තවම නම් නැති නිසා, අපිට Bridges අවශ්‍ය වෙන්නේ නැහැ.
Bridge එකක් භාවිතා කරන්න නම්, මෙන්න මේ අඩවියට සම්බන්ධ වෙලා https://bridges.torproject.org/ ඔයාට Pluggable Transport එකක් අවශ්‍ය නම් ඒක තෝරලා, එතනින් තමයි Bridges ලබාගන්න ඕන. Pluggable Transports ගැන ඊළඟට අපි කතා කරමු.
Pluggable Transports යනු...
අපි කලිනුත් කතා කළ විදියට, සමහර රටවල් ටෝර් ජාලය භාවිතා කිරීම අවහිර කරලා තියෙන්නෙ. එහෙම කරන්න එයාලා DPI නොහොත් Deep Packet Inspection කියන ක්‍රමවේදය භාවිතා කරනවා. DPI භාවිතා කරන රටවල් විදියට චීනය, ඉරානය, උස්බෙකිස්තානය සහ කසකස්තානය වගේ රටවල් හඳුනාගෙන තියෙනවා.
ඉන්ටනෙට් එක හරහා අපි දත්ත හුවමාරු කරන TCP/IP ප්‍රොටොකෝල් එකේදි අපි දත්ත හුවමාරු කරන්නෙ පැකට්ටු විදියට. මේ පැකට්ටු විවෘත නොකර ඇතුළෙ තියෙන්නෙ මොනාද කියලා පිටත කෙනෙක්ට බලන්න බැහැ. මේ DPI තාක්ෂණය භාවිතා කරලා පුළුවන් මෙන්න මේ පැකට් ඇතුළෙ අන්තර්ගතය ගැන පරීක්ෂා කරන්න, ටෝර් ජාලයට පිවිසීම අවහිර කරන්න. මෙන්න මේ අවුල තියෙනකොට අපිට බැහැ ටෝර් ජාලය භාවිතා කරන්න. අන්න එතනදි තමයි Pluggable Transports අපේ උදව්වට එන්නෙ.
මේවයෙන් කරන්නෙ ටෝර් Bridge එකක් සහ ඔයාගෙ පරිගණකය අතර සිදු වෙන ටෝර් කනෙක්ෂන් එක සඟවලා, DPI එකට බොරු කරන එක. DPI කරලා බලනකොට එයාලට පේන්නෙ සර්වර් එකක් අතර සිදුවෙන අහිංසක දත්ත සන්නිවේදනයක් විතරයි. නමුත් ටෝර් සම්බන්ධතාවය අර අහිංසක පෙනුමැති කනෙක්ෂන් එකට යටින් පවත්වාගන්නවා. ටෝර් ජාලයට සම්බන්ධ වෙන්න විවිධ ආකාරයේ Pluggable Transports භාවිතා වෙනවා. මේ පහත තියෙන්නෙ Pluggable Transports වලට උදාහරණ කීපයක්.
- obfs4
- meek
- Format-Transforming Encryption
- ScrambleSuit
මේවා විවිධ ඩිවලොපර්ස් ලා, විවිධ රටවල් වල භාවිතා වෙන DPI තාක්ෂණ මඟහැර යන්න පුළුවන් විදියට ලියලා තියෙනවා. obfs4 කියන්නෙ මේවයෙන් ජනප්‍රියම එක. Meek කියන Pluggable Transport එක පාවිච්චි වෙන්නෙ චීනයේ ඉඳන් ටෝර් ජාලයට සම්බන්ධ වෙනකොට. මෙන්න මේ ආකාරයට ඕනම ඩිවලොපර් කෙනෙක්ට පුළුවන් තමන්ගෙම Pluggable Transport එකක් ලියලා ටෝර් ජාලයට එකතු කරන්න.
ටෝර් ජාලය ගැන ඔයාලා දන්න දේවල් අපිට කියන්න, සාකච්ඡා කරන්න, ගැටළු නිරාකරණය කරගන්න, එන්න අපේ කමියුනිටි එකට. එහෙනම්, අදට කතාව මෙපමණයි. නැවත හමු වෙමු.
ඩාර්ක් වෙබ් හා සම්බන්ධ කිසිදු ලිපියකින් Android වැඩකාරයෝ වන අප කිසිම ආකාරයක අපරාධයක් හෝ තවත් අයෙක්ට හෝ තමන්ටම හිරිහැරයක් වන ආකාරයේ කිසිම ක්‍රියාවක් සිදු කිරීමට අනුබල දීමක් කරන්නේ නැති බව අවධාරණය කළ යුතුය. එලෙස සිදුකරන යම් ක්‍රියාවන් වෙතොත්, ඒවා පරිගණක සම්බන්ධ අපරාධ ගණයට වැටෙන, දඬුවම් ලැබිය හැකි වැරදි වේ.
Tor Network එක හෝ ඕනෑම ඩාර්ක් වෙබ් ජාලයක් ඔබ භාවිතා කළ යුත්තේ අධ්‍යාපනික අරමුණු සඳහා සහ ඔබට හෝ අන් කිසිවෙකුට හානියක් නොවන ආකාරයේ ක්‍රියා සඳහා පමණක්ම බව තරයේ සිහි තබාගන්න.
එමෙන්ම, කිසියම් ඩාර්ක් වෙබ් ජාලයක් භාවිතා කිරීමේදී ඔබට හෝ අනෙකෙකුට සිදු වන මොනම ආකාරයක හෝ අගතියක් වෙනුවෙන් අප වග නොකියන අතර, ඔබ සිදු කරන ඕනෑම ක්‍රියාවක වගකීම සම්පූර්ණයෙන්ම ඔබ සතු වේ.