Smartphone ක්ෂේත්‍රයේ ප්‍රබල සන්නාමයක් වන Asus සමාගම විසින් මේ වසර (2026) තුළ කිසිදු නව Smartphone එකක් වෙළඳපොළට නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පාරිභෝගිකයින් බලාපොරොත්තු වූ Zenfone 13 Ultra හෝ ROG Phone 10 Series දුරකථන මෙම වසරේදී දැකගත නොහැකි වනු ඇත.
කෙසේ වෙතත් Asus සමාගම විසින් මෙවැනි තීරණයක් ගැනීමට නිල හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නැතත්, තාක්ෂණික විශ්ලේෂකයින් විසින් මේ සඳහා හේතු විය හැකි කරුණු කිහිපයක් පෙන්වා දෙනවා.
- අඩු අලෙවිය - මෑත කාලීනව Asus Smartphone අලෙවිය ගෝලීය වශයෙන් පහත වැටී ඇති අතර, Samsung සහ Apple වැනි දැවැන්තයින් සමඟ තරඟ කිරීම දුෂ්කර වී තිබෙනවා.
- පරිගණක ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව - Asus සමාගම ලොව පුරා පරිගණක (Laptops/PCs) වෙළඳපොළේ ඉහළ කොටසක් හිමිකරගෙන සිටින නිසා තම අවධානය සහ ආයෝජන වඩාත් ලාභදායී පරිගණක සහ ROG Ally වැනි අතේ ගෙන යා හැකි Gaming උපාංග වෙත යොමු කිරීමට ඔවුන් තීරණය කර ඇති බවත් මේ අනුව පෙනී යනවා.
Asus Smartphone හිමිකරුවන්ට කුමක් වේද?
මෙම පුවතත් සමඟ දැනටමත් Asus දුරකථන භාවිතා කරන පිරිස බිය විය යුතු නැති බව සමාගම අවධාරණය කරන අතර දැනට පවතින උපාංග සඳහා ලබා දීමට පොරොන්දු වූ මෘදුකාංග සහ ආරක්ෂක යාවත්කාලීන කිරීම් කිසිදු බාධාවකින් තොරව දිගටම ලබා දෙන බව ඔවුන් සහතික කරනවා. එමෙන්ම අලුත්වැඩියා කටයුතු, අමතර කොටස් සැපයීම සහ වගකීම් සහතික කාලසීමාවන් පෙර පරිදිම ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් Asus සමාගම Smartphone වෙළඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් ද නැතහොත් වසරක විවේකයක් ගැනීමක් ද යන්න පිළිබඳව Asus සමාගම ඉදිරි මාස කිහිපය තුළ නිල ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.
Source: m.gsmarena.com www.digitimes.com








