ස්මාර්ට්ෆෝන් ලොව පැරණි මතකයන් අවදි කරමින්, Clicks Technology සමාගම විසින් නවතම ස්මාර්ට්ෆෝන් මාදිලියක් හඳුන්වා දී තිබෙනවා. මෙමඟින් තිරය මත දිස්වන යතුරුපුවරුව (On-screen keyboard) වෙනුවට සැබෑ බොත්තම් සහිතව ‘BlackBerry’ විලාසිතාවට භෞතික යතුරුපුවරුවක් ස්ථීරවම සවිකර ඇති ස්මාර්ට්ෆෝන් එකක් අත්දැකීම ලබා ගැනිමට පාරිභෝගිකයාට හැකි වනවා.
Clicks Technology සමාගමේ ප්‍රථම ස්මාර්ට්ෆෝනය වන 'Communicator' නිල වශයෙන් එළි දක්වා තිබෙන අතර විශේෂයෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ තම දෛනික රාජකාරි කටයුතු සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා දුරකථන දෙකක් භාවිතා කරන, වැඩ අධික වෘත්තීයවේදීන් ඉලක්ක කර ගනිමින් වනවා.
Communicator ස්මාර්ට්ෆෝනය සාමාන්‍ය ස්මාර්ට්ෆෝනයක ඇති ඇබ්බැහි කරවන සමාජ මාධ්‍ය යෙදුම් (Social Media) හෝ ක්‍රීඩා (Games) සඳහා ප්‍රමුඛතාව ලබා නොදෙන අතර ඒ වෙනුවට එය Niagara Launcher සමඟ අත්වැල් බැඳගනිමින් Gmail, Telegram, WhatsApp, සහ Slack වැනි පණිවිඩ හුවමාරු සහ කාර්යාලීය යෙදුම් වෙත වේගවත් ප්‍රවේශයක් ලබා දෙනවා.
සුවිශේෂී යතුරුපුවරුව සහ Touch-sensitive පහසුකම
මෙම දුරකථනයේ ඇති ප්‍රධානතම ආකර්ෂණය වන්නේ එහි ඇති භෞතික යතුරුපුවරුවයි. වේගවත් ටයිප් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම යතුරුපුවරුව Touch-sensitive හැකියාවෙන් ද යුක්තය. එනම් තිරය ස්පර්ශ නොකරම යතුරුපුවරුව මත ඇඟිලි හැසිරවීමෙන් වෙබ් පිටු සහ පණිවිඩ ලැයිස්තු ඉහළ පහළ (Scroll) කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබෙනවා.
දුරකථනය පැත්තේ ඇති 'Signal Light' බොත්තම ඔබ කැමති වර්ණයන්ගෙන් සැකසිය හැකි අතර ඔබගේ VIP පණිවිඩ ලැබෙන විට දම් පැහැයෙන් ද, WhatsApp පණිවිඩ ලැබෙන විට කොළ පැහැයෙන් ලෙසින් එම බොත්තම දැල්වීමට සැකසිය හැකි වනවා.

වර්තමාන බොහෝ දුරකථනවලින් ඉවත් කර ඇති 3.5mm headphone jack එක, MicroSD පතක් (2TB දක්වා) දැමීමේ හැකියාව සහ භෞතික SIM පතක් දැමීමේ හැකියාව මෙහි අඩංගු වනවා.

| පිරිවිතරය | විස්තරය |
| මෙහෙයුම් පද්ධතිය | Android 16 (වසර 5ක ආරක්ෂක යාවත්කාලීන සමඟ) |
| ප්‍රමාණය සහ බර | උස මි.මී. 131.5; බර ග්‍රෑම් 170 |
| ජාල සහය | Global 5G, 4G LTE, 3G/2G |
| බැටරිය | 4,000 mAh silicon-carbon (Wireless charging සහිතව) |
| මතකය (Storage) | 256GB (2TB දක්වා MicroSD මඟින් වැඩි කළ හැක) |
| කැමරාව | 50MP ප්‍රධාන කැමරාව (OIS සහිත) / 24MP ඉදිරිපස කැමරාව |
| සන්නිවේදනය | Wi-Fi 6, Bluetooth 5.4, NFC (Google Pay) |
මිල සහ ලබා ගත හැකි ආකාරය
මෙම ස්මාර්ට්ෆෝනයේ නිල මිල ඩොලර් 499 (රුපියල් 150,000 කට ආසන්න) වන අතර දුරකථන බෙදා හැරීම මෙම වසරේ අගභාගයේදී ආරම්භ වනු ඇති බවට සදහන් වනවා.
Source: www.clicksphone.com








