Loading...
ඇමරිකානු සම්බාධක වලට මුහුණදීමට Huawei සමාගම තමන්ගේම chipset නිෂ්පාදනාගාරයක් ඇරඹීමට සූදානම් වේ

Huawei සමාගමට 2020 වර්ෂය කියන්නේ ඒ තරම්ම හොඳ වර්ෂයක් නෙවෙයි. 2019න් ඇමරිකාව පටං ගත්තු ආර්ථික සම්බාධක Huawei සමාගමට දැඩි ලෙස දැනෙන්න ගත්තු වර්ෂයක් ලෙස 2020 හඳුන්වන්න පුළුවන්. එයට හොඳම උදාහරණ විදිහට අපි ගෙන ආපු ලිපි කිහිපයක් පෙන්නන්න පුළුවන්.

  1. එක්සත් ජනපද සම්බාධක හමුවේ Huawei ජංගම දුරකථන සඳහා වන processor chip වල හිඟයක්
  2. Huawei සමාගමට ඇති ඇමරිකානු සම්බාධක පුළුල් වීමත් සමඟ Kirin chipset නිපදවීම සැප්තැම්බර් 15 වනදායින් නිමාවේ
  3. බ්‍රිතාන්‍යය රජය විසින් 5G networks වලින් Huawei සමාගම ඉවත්කිරීම තහවුරු කරයි
  4. ඇමරිකානු තාවකාලික වෙලඳ බලපත්‍රය කල් ඉකුත් වීමෙන් Huawei ජංගම දුරකථන සඳහා ඉදිරියේදී Android updates නොලැබීමේ අවධානමක්

මේ වෙනකොට Huawei සමාගමට තමන්ගේ Kirin chipset එක සහ අනෙකුත් උපාංග වලට අවශ්‍ය කෙරෙන chipset නිපදවා ගැනීමට ඇති බාධාවන් නිසා විශාල අර්බුදයකට පත්ව සිටින අවස්ථාවකදී Huawei සමාගම තමන්ගේම chipset නිපදවීමේ කර්මාන්ත ශාලාවක් නිපදවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ චීනයේ ෂැංහයි ප්‍රදේශයයි.

මේ පිළිබඳව වාර්තා කරන Financial Timesහි වාර්ථාවට අනුව Huawei සමාගම මුලින්ම මෙහි නිපදවීමට සැරසෙන්නේ 45nm process node එක යටතේ නිපදවෙන chipset වන අතර 2021 වර්ෂයේ අවසානය වන විට එය 28nm process node එක දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 2022 අවසාන භාගය වන විට 20nm process node එකේ chipset නිපදවීම දක්වා තම කර්මාන්තශාලාව සවර්ධනය කිරීමට Huawei සමාගම බලාපොරොත්තු වන බව එම වාර්තාවේ තව දුරටත් සඳහන් වේ.

මේ වන විට ලෝකයේ 5nm process node එකේ chipset නිපදවද්දී Huawei සමාගම විසින් මෙවැනි අඩු අගයක් පවතින chipset නිපදවීම සඳහා පෙළඹෙන්නේ ඇයිදැයි ඔබට ප්‍රශ්නයක් එන්නට පුළුවන. නම්ත් මෙම chipset නිපදවීම සිදු කරන්නේ ජංගම දුරකතන වලට නොවන අතර, මෙම කර්මාන්තශාලාව හරහා මූලික වශයෙන් chipset නිපදවීම සිදු කරන්නේ Huawei සමාගමේ IoT උපකරණ සඳහාය. මේ පිලිබඳව Financial Timesහි වාර්තාවේ පහත පරිදි සඳහන් වී ඇත.

The planned new production line will not help with the smartphone business since chipsets needed for smartphones need to be produced at more advanced technology nodes,

But if it succeeds, it can become a bridge to a sustainable future for their infrastructure business, in combination with the inventory they have built and which should last for two years or so,

Financial Times වෙත ප්‍රකාශය ලබා දී ඇති ආකරයට Huawei සමාගම පැරණි තාක්ෂණය භාවිතා කරමින් තව Kirin chipset නිපදවීම සිදු නොකරන අතර, එම පැරණි තාක්ෂණය උපයෝගි කරගෙන Kirin වැනි බලවත් chipset එකක් නිපදවීමට නොහැකිය. Huawei සමාගම විසින් නිපදවූ නවතම flagship processor එක වන Kirin 9000 එක නිපදවීමට භාවිතා කර ඇත්තේ 5nm process node එකයි.

ඊට අමතරව මේ වන විට වෙළඳපලේ තරඟකාරීව තම processors නිපදවන Qualcomm, Samsung, MediaTek සහ අනෙකුත් chipset නිෂ්පාදකයන් 5nm භාවිතා කරමින් smartphones සඳහා chipset නිපදවීම සිදු කරන අතර වාරයේ Huawei සමාගමට 28nm වැනි process node එකක් භාවිතා කර ජංගම දුරකතන සඳහා processors නිපදවීමෙන් වෙළඳපල තරඟකාරීත්වයට එකතු වීමට නොහැකිය.

5G telecom උපාංග සඳහාද හාවිතා වන්නේ 14nm සහ ඊට වැඩි තාක්ෂණයකින් නිපදවෙන chipset අතර Hong Kongහි සිටින Semiconductor analyst කෙනෙක් වන Mark Liට අනුව 28nm process node එක හරහා නිපදවන chips හරහා Huawei සමාගම තම IoT උපාංග සහ Smart TV බලගන්වනු ඇත.

Huawei සමාගමේ HiSilicon Kirin වර්ගයේ chipset නිපදවූ TSCM සමාගමට ඇමරිකා එක්සත් ජනපදයෙන් ආ පීඩනය සහ බලපෑම් හමුවේ Kirin වර්ගයේ chipset නිපදවීම අත්හිටුවීමට සිදුවූ අතර Huawei සමාගම මේ වන විට Kirin chipset නිපදවීමට අදාලව ඇණවුම් නිකුත් කිරීම නවත්වා ඇත.

Sources: Financial Times, C|Net