Loading...
Xboxද?  PlayStationද? මොකක්ද හොඳම?

මේ වන විටත් Microsoft සමාගම සිය ඊලග පරම්පරාවේ Gaming Console එක Xbox Series X ලෙසත් Sony සමාගම PlayStation 5 ලෙසත් නිල වශයෙන් බාහිර පෙනුම සහ System Specifications එලිදක්වා හමාරයි (මිල තවමත් නිලවශයෙන් ප්‍රකාශකර නොමැත). මෙම ලිපිය ඔස්සේ ඔබට PlayStation සහ Xbox අතර පුළුල් අවබෝධයක් ලබා දෙනු ඇත.

XBox Series X and PlayStation 5 (Image from Verge)

Xbox සහ Playstation ගැන හැදින්වීමක්

Sony සමාගම 1994 වසරේදී සිය පලමු PlayStation උපාංගය PlayStation 1 ලෙස එලිදක්වනු ලබනවා. ඊට පසුව 2000 වසරේදී දෙවන පරම්පරාව ලෙස PlayStation 2ත්, 2006 සහ 2013 වසරේදී පිලිවෙලින් තෙවන සහ සිව්වන පරම්පරාව ලෙස PlayStation 3 සහ PlayStation 4 නිකුත් කරනු ලබනවා. මීට අමතරව slim, pro ලෙස එක් එක් පරම්පරා අතර සංස්කරණයන්ද එලිදක්වා තිබෙනවා.

PlayStation Evolution

Microsoft සමාගම Gaming Console කරලියට 2001 වසරේදී Xbox (as known as Original Xbox) එලිදැක්වීමත් සමගින් පිවිසෙනවා. මින් පසුව 2005දී දෙවන පරම්පරාව ලෙස Xbox 360ත්, තෙවන පරම්පරාව Xbox One ලෙසත් 2013දී එලිදක්වනු ලබනවා. මීට අමතරව PlayStation වලදී මෙන් ප්‍රධාන පරම්පරාව අතරතුර සංස්කරණයන්ද නිකුත් වී තිබෙනවා.

ලොවපුරා අලවිය සහ ජනප්‍රියතාවය අතින් Xbox වලට වඩා PlayStation සෑහෙන්න දුරින් සිටිනවා. උදාහරනයක් වශයෙන් PlayStation හී දෙවන පරම්පරාවේ PlayStation 2 මේවන විට මිලියන 155ක් ද PlayStation 4 මිලියන 110ක්ද ලොවපුරා අලෙවි වී තිබෙනවා. Xbox හී වැඩිම අලවියක් ලෙස මිලියන 47ක් ලබා ඇත්තේ Xbox One වේ. මෙමගින් ඔබට මේ අතර ජනප්‍රියතාවය පිලිබදව දල වශයෙන් අවබෝධයක් ලබාගත හැකි අතර මේ සම්බන්දව පුළුල්ව ඉදිරියේදී විස්තර කර ඇත.

Xbox සහ PlayStation හී වර්තමාන පරම්පරාව

PlayStation හී වර්තමාන පරම්පරාව PlayStation 4 ලෙස 2013 වසරේ එලිදක්වනු ලබනවා. මීට අමතරව සංස්කරන ලෙස 2016 වසරේදී PlayStation 4 Slim සහ PlayStation 4 Pro නිකුත් කරනු ලබනවා. PlayStation 4 Slim මුල් PlayStation 4හී බාහිර පෙනුම කුඩා කල සංස්කරනයක් වන අතර Bluetooth, WIFI ආදී වැඩිදියුනු කිරීම් හැර එය PlayStation 4හා බොහෝ දුරට සමාන වේ. මෙහිදී වඩාත්ම වැඩිදියුනු කල සංස්කරනය වන්නේ PlayStation 4 Pro වේ. එහිදී ප්‍රධාන වශයෙන් CPU සහ GPU වැඩිදියුනු කිරීමක් සිදුකර ඇති අතර එමගින් 4K / HDR යටතේ ක්‍රීඩා කිරීමට හැකියාව ලබාදී තිබෙනවා. මෙම සංස්කරන නිකුත් වීමත් සමගින් 2013 වසරේ නිකුත් වූ PlayStation 4 නිශ්පාදනය නවතා දමනු ලබනවා.

2013 වසරේදීම Microsoft සමාගම Xbox One ලෙස Xbox තෙවන පරම්පරාව නිකුත් කරනු ලබනවා. නමුත් PlayStation 4 මෙන් මෙයට එතරම් ජනප්‍රියතාවයක් ලැබෙන්නේ නැහැ. මෙහි මිල, External power brick එකක් තිබීම, ක්‍රීඩා licensing සම්බන්ධව තිබූ ගැටලු, Kinect නමින් චලන හදුනාගැනීමේ උපාංගයක් පැමිනීම ආදී කරුනු මෙයට බොහෝ ලෙස බලපෑවේය. ඉන් පසුව Original Xbox One සදහා Hardware සංස්කරනයක් ලෙස Xbox One S, 2016 වසරේදී නිකුත් වනු ලබනවා. Original Xbox one හී පැවති ගැටලු බොහොමයක් මෙහිදී විසදා තිබුනි. මෙයටත් PlayStation 4 තරම්ම ජනප්‍රියතාවයක් හිමි නොවුනත් Original Xbox One ට සාපේක්ශව දැඩි වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මින් වසරකට පසුව එනම් 2017දී Native 4K / HDR යටතේ ක්‍රීඩා කලහැකි සංස්කරනය ලෙස Xbox One X නිකුත් කරනු ලබනවා. මෙය PlayStation 4 වලටත් වඩා hardware specification අතින් බලවත් වන අතර මිල අතින්ද $100ක පරතරයක් ඇත. Microsoft සමාගම තවත් Xbox සංස්කරනයක් 2019 වසරේදී නිකුත් කරනු ලබනවා. එය 2016 වසරේ නිකුත් කල XBox One S හී Blu-ray drive එක රහිත සංස්කරනය වන අතර එය Xbox One S All-Digital Edition ලෙස හදුන්වාදී ඇත.

Xbox One X, Xbox One S, Xbox One S All-Digital Edition

Games සහ Exclusives

ලොව බොහොමයක් පරිගනක ක්‍රීඩා නිපදවන සමාගම් PlayStation වලට සහ Xbox වලට සිය ක්‍රීඩාවන් වල සංස්කරනයන් නිකුත් කරනු ලබන අතර එම ක්‍රීඩා එම උපාංග වල කිසිම අපහසුවකින් තොරව ධාවනය කල හැකි වේ.

මීට අමතරව PlayStation (Sony Interactive Entertainment) සහ Xbox (Xbox Game Studios) යටතේ ක්‍රීඩා නිපදවන සමාගම් ඇති අතර එමගින් නිකුත් කරනු ලබන ක්‍රීඩා ධාවනය කල හැක්කේ PlayStation හෝ Xbox හී පමනක් වේ. මෙම ක්‍රමයට නිකුත්වන ක්‍රීඩා Platform Exclusive Games ලෙස හදුන්වනු ලැබේ. මේ අතින් Sony සමාගම, Microsoft සමාගමට වඩා බොහොමයක් ඉදිරියෙන් සිටින අතර Playstationහී වැඩි අලෙවියටත් මෙය බොහෝ සෙයින් බලපා ඇත.

අද වන විට Sony Interactive Entertainment යටතේ PlayStation සදහාම ක්‍රීඩා නිපදවන සමාගම් 13කට ආසන්න ප්‍රමාණයක් පවතින් අතර God of War, Uncharted, Days Gone, Horizon, Spider Man, Last of US, Gran Turismo වැනි ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩා SIE හරහා PlayStation වලට පමනක්ම නිකුත් වී ඇත.

Xbox Game Studios යටතේ Xbox සදහා ක්‍රීඩා නිපදවන සමාගම් 15ක් පමණ පවතී. Xbox Game Studiosහී බොහොමයක් සමාගම් ගිය වසරේ (2019) දී මිලදී ගත් සමාගම් වේ. මෙය ඊලග පරම්පරාව සදහා exclusive games අතින් PlayStation හා තරගයක් දීමට Microsoft සමාගම ගත් ක්‍රියා මාර්ගයකි. Halo, Gears of War, Minecraft, Forza horizon, Forza motorsport වැනි ජනප්‍රිය ක්‍රීඩා මේ සමාගම් අතින් නිකුත් වී ඇත. නමුත් PlayStation වලදී මෙන් නොව මින් බොහොමයක් ක්‍රීඩා PC සදහාද (මුලදී නොපැමිනිනුනත් කවදා හෝ) නිකුත්වේ.

අමතර සේවා

PlayStation සහ Xbox හී ක්‍රීඩා කිරීමට අමතර මුදල් ගෙවා සේවා සක්‍රීය කරගැනීමට හැකියාව ලබාදී ඇත.

PlayStation සහ Xbox ක්‍රීඩා online multiplayer ක්‍රීඩා කිරීමට නම් අමතර සේවාවක් මුදල් ගෙවා සක්‍රීය කල යුතුවේ. PlayStation හී මෙය PlayStation+ ලෙසත් Xbox හී මෙය Xbox Live Gold ලෙසත් හදුන්වනු ලබයි. Online multiplayer හැකියාවට අමතරව මෙම සේවා මගින් මාසිකව ක්‍රීඩා කිහිපයක් නොමිලයේ ලබා දෙයි.

PlayStation Plus, XBox Live Gold

මීට අමතරව Xbox හී Xbox Game Pass නමින් Netflix මෙන් subscription සේවයක් පවත්වාගෙන යන අතර මෙය යම්තාක් දුරට ලොවපුරා ජනප්‍රියවී ඇත. එය මේ වන විට PC (Game pass for PC) සදහාද නිකුත් වී ඇත. මෙහිදී මාසික මුදලකට ජනප්‍රිය ක්‍රීඩා 100කට අධික ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට අවස්තාව ලබාදී ඇත. Xbox Live Gold සහ Xbox Game Pass සේවා එකතු කර Xbox Game Pass Ultimate ලෙසද සේවාවක් මේ වන විට නිකුත් වී ඇත.

PlayStation හීදීද මෙයට සමාන සේවාවක් PlayStation now ලෙස පවත්වාගෙන යයි. නමුත් මෙහි වෙනස වන්නේ PlayStation now, streaming සේවාවක් වීමයි (නමුත් යම් ප්‍රමාණයක් download කලද හැක. Xbox game pass හී සියලුම ක්‍රීඩා download කල යුතු වේ). තවද Microsoft මගින් Project X Cloud නමින් game streaming සේවාවක්ද මේ වන විට public beta මට්ටමේ අත්හදා බලමින් පවතී.

PlayStation Now, Xbox Game pass

Xbox හී තවත් එක් විශේෂ හැකියාවක් ලෙස Backward Compatibility හැදින්විය හැක. එහිදී පෙර පරම්පරාවේ Xbox සදහා නිකුත් කල ක්‍රීඩා වර්තමාන පරම්පරාවේ Xbox හී ධාවනය වීම හැදින්විය හැක. උදාහරනයක් ලෙස Original Xbox, Xbox 360 සදහා නිකුත් වූ ක්‍රීඩා බොහොමයක් නවතම Xbox One Xහීදී පවා ධාවනය වේ.නමුත් PlayStation හී මේ හැකියාව ලබාගත නොහැක. ඔබට පෙර පරම්පරාවක නිකුත් වූ ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමට නම් එහි remastered edition එක ලබාගත යුතුවේ.

Xbox සහ PlayStation ක්‍රීඩාවල මිල

Xbox සහ PlayStation වලට නිකුත් වන ක්‍රීඩා PlayStation Store සහ Microsoft Store මගින් digital වශයෙන්ද, Physical disks වශයෙන්ද ලබා ගත හැකියි. මෙහිදී කිවයුතු කරුන නම් PlayStation Store සහ Microsoft Store කිසිවක් ලංකාවට සහය නොදැක් වීමයි. නමුත් වෙන රටක සිටින ලෙස ගිනුම් සකසා එමගින් සාර්ථකව ක්‍රීඩා මිලදී ගත හැක. තවද Physical Disks region වලට වෙනමම නිකුත් වෙන බැවින් Physical disks මිලදී ගැනිමේදී එය නිකුත් කල region එක තමාගේ ගිනුමට සහය දක්වන්නේද යන්න සොයා බැලිය යුතු වේ. ඔබ Online store එකකින් ක්‍රීඩාවක් මිලදී ගතහොත් එය resell කිරීමේ අයිතිය ඔබට ලබා නොදේ. නමුත් Physical diskහී එම අයිතිය ඔබට ලබාදී තිබේ. එම නිසා ක්‍රීඩා මිලදී ගැනීමේදී එය පිලිබදව අවධානය යොමු කල යුතුවේ.

අලුතෙන් ක්‍රීඩාවක් නිකුත් කිරීමේදී එහි digital සහ physical disk මිල සමාන වන අතර එහි standard edition එක $59.99ට ආසන්න මුදලකට අලෙවි වේ. බොහොමයක් ක්‍රීඩාවල standard, deluxe, gold, ultimate, special ලෙස ක්‍රීඩාවේ editions නිකුත් වේ. ඒ ඒ editions වල තිබෙන addons, DLCs අනුව මිලදී ගන්නා editionඑක තීරණය කිරීම ඔබ සතු වේ.

Online Stores වලදී විවිධ කාලවලදී සිදුවන promotions හේතුවෙන් ක්‍රීඩාවල මිල අඩු වීම් සිදුවේ. නමුත් Physical disks මිල වෙනස්වීම වෙනස් ම ආකාරයකට සිදුවේ. ශ්‍රී ලංකාව තුල PlayStation ක්‍රීඩකයන් Xbox වලට වඩා බොහෝ ප්‍රමාණයක් වැඩිපුර සිටියිි. එම නිසා PlayStation වලට නිකුත් වන ක්‍රීඩා වල used market එක ලංකාව තුල සෑහෙන්න හොද මට්ටමක පවතී(මිලදී ගත් Physical disks නැවත විකිණීමේ අයිතිය ඔබට ලැබෙන බැවින්). එම නිසා නවතම ක්‍රීඩාවක පවා මිල කෙටි කලක් තුල සැලකිය මට්ටමකට අඩුවීම සිදුවේ. නමුත් Xbox හී මෙය හාත් පසින්ම ලංකාව තුල වෙනස් වේ. එම නිසා ක්‍රීඩා මිලදී ගැනීමේදී මේ කරුනු පිලිබදවත් යොමු කරන්න.

අවසානය

වඩා හොඳ PlayStation ද? Xbox ද? යන ප්‍රශ්නයට පිලිතුරක් ඇත්තෙන්ම ලබා දිය නොහැකිය. ඉහත දැක්වූ පරිදි PlayStation හී exclusive content ප්‍රමානය Xbox වලට වඩා බොහෝ සෙයින් වැඩි වීම සහ එම ක්‍රීඩා වලට ලෝකයේ පිලිගැනීමක් තිබීම නිසා PlayStation වඩා හොඳ යැයි බොහෝ දෙනා පැවසුවත් Xbox වල පවා PlayStation වලට වඩා හොඳ ලක්ශණ කිහිපයක්ම පවතී. උදාහරණ ලෙස Xbox controller button layout එක, Xbox one X හී 4k/HDR හැකියාව ‍PlayStation 4 Proට වඩා වැඩිවීම, Xbox Game Pass, 4k Blu-ray player එකක් ලෙස ක්‍රියා කල හැකිවීම දැක්විය හැකියි.

මෙම ලිපිය තුලින් ඔබට PlayStation, Xbox සම්භන්ධයෙන් යම්තාක් දුරකට අවබෝධයක් ලැබුනායැයි සිතමු. නැවත තවත් ලිපියකින් හමුවෙමු.