Loading...
මිලෙන් අඩු Dual 5G දුරකතනය: Redmi Note 10 5G - Full Review

Xiaomi කියන නම ඇහුනු ගමන් අපිට මතකයට එන්නේ අඩු මිලකට වැඩි පහසුකම් සහිත ජංගම දුරකතන නිපදවන සමාගමක් කියන එකයි. Xiaomi සමාගම ලෝකයේ කෙතරම් වේගයෙන් ඉදිරියට පැමිණියේද නම්, මේ වන විට Xiaomi සමාගම Apple, Samsung වැනි දැවැන්ත ජංගම දුරකතන නිෂ්පාදකයන් පරදවමින් ලොව අංක 01 ජංගම දුරකතන සන්නාමය බවට පත්වීමට පසු දිනෙක සමත් වූවා.

Xiaomi සමාගම විසින් විවිධ සන්නාමයන් යටතේ ජංගම දුරකතන මාදිලි නිපදවීම සිදු කරනවා. Xiaomi සමාගම විසින් නිපදවන ජංගම දුරකතන මාදිලි ප්‍රධාන ලෙස වර්ගීකරණය කල හොත් Mi Series, Mi Note Series, Mi Max Series, Mi Mix Series, සහ Redmi ලෙස ප්‍රධාන ලෙස වර්ගීකරණය කෙරෙනවා.

Redmi Note Series එක කියන්නෙ smartphones මිලියන 200 කට අධික ප්‍රමාණයක් අලෙවි උන ඉතා ජනප්‍රිය smartphone series එකක්.

‌‌ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ අඩු මුදලකට ඉතා වටිනා පහසුකම් සහිත smartphone එකක් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම නිසාවෙනි. මෙම Redmi Note Series එක ශ්‍රී ලංකාව තුළද විශාල වශයෙන් ජනප්‍රිය වුණි. ඒ අතුරින් Redmi Note 7 කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ Redmi Note මාදිලියේ ජංගම දුරකතනයකි.

අද අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ Xiaomi සමාගම විසින් නිපදවන ජංගම දුරකතන මාදිලියක් වන Redmi Note 10 5G ජංගම දුරකතනය පිලිබඳව විස්තරාත්මක හැඳින්වීමක්.

Display

ඕනෑම ජංගම දුරකතනයක සුවිශේෂීම සහ මුලින්ම කැපී පෙනෙන අංගය ලෙස සැලකෙන්නේ එම ජංගම දුරකතනයේ තිරයයි. Redmi Note 10 5G ජංගම දුරකතනය අඟල් 6.5ක Full HD+ AdaptiveSync තාක්ෂණයෙන් යුතු තිරයකින් සමන්විත වනවා. සාමාන්‍යයෙන් මිලෙන් අඩු ජංගම දුරකතන මාදිලියක් වන Redmi මාදිලියේ ජංගම දුරකතනයකින් Full HD+ තිරයක් දැක ගැනීම දුර්වල වුනත් Xiaomi සමාගම විසින් මෙම ජංගම දුරකතනය සමඟින් මෙම සුවිශේෂී තිරයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව මෙම ජංගම දුරකතනය 90Hz refresh rate එකකින් යුතු වන අතර ඒ හරහා තත්පරයකට frames 90ක් ලබා දීම සිදු කරන අතර එය 60Hz refresh rate එකකින් සමන්විත වන තිරයකට වඩා 50%කින් වේගය වර්ධනය වීමකි.

Xiaomi සමාගම විසින් Redmi Note 10 5G ජංගම දුරකතනය සඳහා 360° light sensors ලබා දී ඇති අතර ඒ හරහා ඔබගේ වටපිටාවේ ඇති ආලෝක තත්වය පරික්ෂා කර ඔබගේ තිරයේ දීප්තිමත් බව එකිනෙකට වෙනස් මට්ටම් 4096ක් දක්වා ස්වයංක්‍රීයව වෙනස් කිරීම සිදු කරනු ලබයි. ඒ හරහා ඔබට ඒ ඒ තත්වයන් යටතේ පහසුවෙන් තිරය හරහා අදාල දර්ශනයන් අවහිරතාවයකින් තොරව නැරඹිය හැකි අතර එම දර්ශනයන්ට වඩාත් හොඳ ස්වාභාවික බවක් ලබා දෙනු ඇත.

මෙම පහසුකම හරහා අපිට වැඩි ආලෝක තත්වයක් යටතේ හෝ අඩු ආලෝක තත්වයක් යටතේ ඉතාමත් ඉක්මනින් ඇසට පහසු වන ආකාරයට දර්ශනය වන ආකාරයට තිරයේ තත්වයන් වෙනස් කිරීම සිදු කරනු ලබයි. ඒ හරහා ඇසට මනා පහසුවක් ගෙන දෙනු ලබන අතර, Reading mode 3.0 පහසුකම හරහා අපි ජංගම දුරකතනයෙන් පොතක් කියවන විට ඇත්තටම පොතක් කියනවනවාක් මෙන් හැඟෙන ආකාරයට තිරය සකස් කර ඇසට පහසු බවක් එක් කර දෙනු ලබනවා. එම අත්දැකිම කෙසේද යත්, මුද්‍රිත පොතක් කියවන අත්දැකීමක් එම පහසුකම හරහා ලබා දීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම තිරය ගැන වැඩි විස්තර තවත් කතා කරනවා නම්, මෙම තිරයේ resolution එක ලෙස ඔවුන් ලබා දී තිබෙන්නේ 2400px x 1080px resolution එකකින් යුතු තිරයකි. එහි contrast ratio අගය 1500:1 අගයක් ගනු ලබනවා. මීට අමතරව ඉහතදී සඳහන් උනා AdaptiveSync නම් තාක්ෂණයක් පිලිබඳව. AdaptiveSync තාක්ෂණය හරහා මෙම තිරයට 30Hz, 50Hz, 60Hz, සහ 90Hz යන refresh rates වල අනුගත වීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඒ අනුව අදාල refresh rate එක ක්‍රියාත්මක වන අවස්ථාවේදී තිරය විසින් එය හඳුනාගෙන අදාල refresh rate එකෙන් පමණක් අදාල දර්ශනයන් ලබා දීම සිදු කරනු ලබනවා.

Camera

මේ වෙනකොට Smartphone එකක Camera එකක් කියන්නේ අනිවාර්‍යෙන්ම ඉහළ ගුණාත්මක බවක් තියෙන සහ වැදගත්ම අංගයක් බව අප හොඳින්ම දන්නා කාරණාවක්. මේ වන විට ජංගම දුරකතන වෙළඳපලේ පවතින ලොකුම තරඟය වන්නේ වඩාත්ම හොඳ කැමාරාවකින් යුක්ත ජංගම දුරකතනයක් වෙළඳ පලට නිකුත් කිරීමයි. එය Xiaomi සමාගම විසින් Redmi Note 10 5G ජංගම දුරකතනයටද ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අපි කතා කරමු Redmi Note 10 5G ජංගම දුරකතනයේ කැමරා පහසුකම් පිළිබඳව. මෙම ජංගම දුරකතනයේ කැමරාවන් ප්‍රධාන වශයෙන් Rear සහ Front යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි මුලින්ම බලමු Rear camera එකේ පිරිවිතරයන් මොනවාද කියලා.

Redmi Note 10 5G ජංගම දුරකතනයේ rear cameraව ප්‍රධාන ලෙස කොටස් තුනකට බෙදෙනවා. අපි ඒ කොටස් තුන පිළිබඳව කතා කරමු.

48MP main camera
මෙම කැමරාව 1/2" sensor එකකින් සමන්විත වන අතර එහි apature අගය f/1.79ක අගයක් ගනු ලබනවා. Redmi Note 10 5G දුරකතනය අලෙවි වන මිල පරාසය පිළිබඳව සැලකුවහම Smartphone කැමරා එකකට දෙන්න පුළුවන් ඉහලම අගයක හොඳම තත්වයක Camera එකක් ලබා දීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

2MP macro camera
මේ වෙනකොට mobile photography වල macro category එකට හම්බෙන්නේ ඉහල ස්ථානයක්. වැඩි දෙනෙක් මේ වෙනකොට mobile phone භාවිතා කරමින් macro photography වෙත යොමු වී තිබෙනවා. Redmi Note 10 5G දුරකතනයටද Macro photograhphy සඳහා වන කැමරාවක් අඩංගු වන අතර මෙම කැමරාව apature අගය f/2.4 ගනු ලබනවා. සෑහෙන්න හොඳ පරාසයක Macro Photo එකක් මේකෙන් ගන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්.

2MP depth sensor
අද කාලයේ වැඩියෙන්ම ලබා ගන්නා ඡායාරූප වර්ග අතර portrait මාදිලියේ ඡායාරූප වල ඉහල තැනක් ලැබී තිබෙනවා. නියම ආකාරයෙන් portrait ඡායාරූප ලබා ගැනීම සඳහා Redmi Note 10 5G ජංගම දුරකතනයට Apature අගය f/2.4 ගන්නා 2MP depth sensor එකක් ලබා දී තිබෙනවා.

මේවාට අමතරව rear camera පද්ධතියට Night mode, AI camera 5.0 සහ Movie frame කියන පහසුකම්ද ලබා දීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

Rear camera එක ගැන කතා කරාට පස්සේ අපිට කතා කරන්න වෙන ඊලඟ ප්‍රධානම කාරණාව තමයි මෙම ජංගම දුරකතනයේ front camera එක, එහෙමත් නැත්තම් front camera එක ගැන. Redmi Note 10 5G ජංගම දුරකතනය සතුව 8MP front camera එකක් සතු වන අතර එහි apature අගය f/2.0 අගයක් ගනු ලබනවා. ඒ හරහා අඩු ආලෝක තත්වයක් යතේ උනත් හොඳ selfie එකක් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

ජංගම දුරකතනයක කැමරාව පිළිබඳව කතා කරනකොට Video Recording කියන්නේ ඊලඟට අතිශයම වැදගත් කාරණාව. මොකද අද වෙද්දී Smartphone එකක් අතේ තියෙනව කියන්නෙ සාමාන්‍යෙන් අපි ගන්න Compact Digital Camera එකක් වගේ දෙයක් නෙ. ඉතිං මේ Pack එක ඇතුලේ Overall සුපිරිම දේවල් ටිකක් තියෙන්න ඕන. Redmi Note 10 5G කියන්නෙත් ඒ වගේ සුපිරි Video Recording හැකියාවක් තියෙන Smartphone එකක්.

Video Recording In Main Cameras:
Macro mode video, Time-lapse video, Slow motion video පහසුකම් වලින් යුක්ත මෙම කැමරාව 1080p (1920x1080) | 30fps, (720p 1280x720) | 30fps, සහ Slow-motion:(1280x720) | 120fps යන පරාසයන්ගෙන් වීඩියෝකරණයෙහි යෙදීමේ හැකියාවන්ගෙන් යුක්තයි.

Video Recording In Selfie Camera:
Time-lapse, AI Video Beautify පහසුකම් වලින් යුක්ත මෙම කැමරාව 1080p (1920x1080) | 30fps සහ 720p (1280x720) | 30fps යන පරාසයන්ගෙන් වීඩියෝකරණයෙහි යෙදීමේ හැකියාවන්ගෙන් යුක්ත වනවා.

Audio

මුලින්ම කියන්න ඕන Audio ගැන කතා කරන්න ආවම එක අතකින් සන්තෝස වෙන්න පුළුවන් සුපිරිම දෙයක් තියෙනවා. ඒ අපි හැමෝටම වැදගත් වෙන අදටත් වැඩි හරියක් හොඳ Headphones නිපදවෙන, ඒවගෙ input එක දෙන්න වෙන එකම Feature එක වෙන 3.5mm audio jack එක මේකේ තාමත් තියෙනවා. ඒ වගේම Hi-Res Audio certification එකත් මෙම ජංගම දුරකතනය සතු වනවා.

Chipset, RAM, Performance, Storage

Display එක Camera එක ගැන බැලුවට පස්සේ ජංගම දුරකතනයක් මිලඳී ගන්න කෙනෙක් ඊලඟට හැරිලා බලන්නේ තමන් මිලදී ගන්න යන ජංගම දුරකතනය කොයි තරම් powerfulද, කොයි තරම් වේගයෙන් ක්‍රියා කරනවාද, කොච්චර කාලයක් වේගයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්ද, ඉක්මනට රත් වෙනවද, ඉක්මනට out date වෙනවද, RAM එක කොච්චරක්ද, කොපමණ ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් ජංගම දුරකතනයේ රඳවා ගන්න පුළුවන්ද යන්න කියන දිහාවට.

Redmi Note 10 5G ජංගම දුරකතනයේ මේ පිරිවිතර ගැන අපි දැන් කතා කරමු.

මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන වශයෙන් Qualcomm Snapdragon, MediaTek Dimensity, Kirin, Apple Bionic සහ Samsung Exynos යන chipset සහිත ජංගම දුරකතන අලෙවියට තබා තිබෙනවා. ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින සමාගමක් වන MediaTek සමාගමේ Dimensity 700 කියන chipset එක තමයි Redmi Note 10 5G ජංගම දුරකතනයට Xiaomi සමාගම විසින් යොදා තිබෙන්නේ.

මෙහිදී ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් MediaTek කියන නම ඇහුනම. මොකද MediaTek කියන්නේ Snapdragon වලට වඩා පිටිපස්සෙන් ඉන්න Chipset එකක් කියන මතය සමාජ ගත වෙලා තියෙන නිසා.

ඒ නමුත් MediaTek සමාඟමේ අලුත් chipset Qualcomm පරදා ඉදිරියට යන්න සමත් වෙලා තියෙනවා. MediaTek Helio chipsets හොඳ උදාහරණයක්. MediaTek සමාඟමේ chipsets වල තිබුණ අඩුලුහුඬුකම් බොහොමයකට ඔවුන් දැන් පිළියම් යොදමින් ඉන්නවා. නව තාක්ෂණ සොයාගනිමින්, ඒවා යොදාගනිමින් Qualcomm සහ MediaTek අතර තරඟයක් ඇති කිරීමට ඔවුන් සමත් වෙලා තියෙනවා.

මේ තරඟයෙන් වාසිය සැලසෙන්නේ පාරිභෝගික අපිටමයි. මේ සමාඟම් දෙකේ තරඟකාරීත්වය නිසා සමාගම් දෙකෙන්ම වඩා හොඳ chipsets හඳුන්වා දෙමින් ඔවුන්ගේ සමාඟම ඉහළට ගැනීමට උත්සාහ දරනවා. අතුරුඵලයක් විදියට අපිටත් නව තාක්ෂණ සහිත, වඩා හොඳ chipsets සහිත දුරකථන භාවිතා කරන්න ලැබෙනවා. හරියට Intel පරදවලා AMD Ryzen processors මාරම වේගයකින් ඉස්සරහට ආවා වගේ. Intel processors වලට වඩා AMD Ryzen මිලෙන් අඩුයි වගේම Snapdragon වලට වඩා MediaTek මිලෙන් අඩුයි.

MediaTek Dimensity 700 chipset එක 7nm lithography එකකින් හැදුන Octa Core CPU එකක් වන අතර එය එහි clock speed එක 2.2GHz අගයක් ගනු ලබනවා. එහි GPU එක ලෙස අඩංගු වන්නේ ARM Mali-G57 MC2 GPU එකක් වන අතර එහි වේගය 950MHz අගයක් ගනු ලබනවා.

මෙම ජංගම දුරකතනය පහත RAM සහ Storage ධාරිතා වලින් වෙළඳපලේදී මිලදී ගන්න පුළුවන්කම අපිට තියෙනවා.

  1. 4GB+64GB
  2. 4GB+128GB
  3. 6GB+128GB
  4. 8GB+128GB

මෙහි විශේෂත්වය වන්නේ LPDDR4X මාදිලියේ RAM එකකින් සහ Storage එක UFS2.2 තාක්ෂණයෙන් සමන්විත වීමයි. ඊට අමතරව එක සිම්පතක් වෙනුවට microSDXC external storage එකක් යොදා භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

අනිත් විශේෂාංග වලට යන්න කලින් Dual standby:5G+5G

මේ වෙනකොට ලෝකය පුරාවටම 5G ජාලයන් ඉතාමත් වේගයෙන් ස්ථාපනය වීගෙන යන අතර ශ්‍රී ලංකාවේද මේ වෙනකොට 5G trail network කිහිපයක් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වනවා. නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ පොදු පරිභෝජනය සඳහා 5G ජාලය විවෘත වනු ඇතැයි මත පල වෙනවා.

Redmi Note 10 5G ජංගම දුරකතනය සතුව තිබෙන MediaTek Dimensity 700 chipset එක 5G තාක්ෂණය සඳහා සහය දක්වන modem එකකින් සමන්විත වන අතර මෙහි තියෙන සුවිශේෂීම කාරණාව වන්නේ මෙම ජංගම දුරකතනය සමඟ 5G සක්‍රීය කල සිම්පත් දෙකක් එකවර 5G ජාලයට සම්බන්ධ වෙමින් කටයුතු කිරීමේ හැකියාව ලබා දී තිබීමයි. සාමාන්‍යෙන් වෙළඳ පලේ පවතින අනෙකුත් 5G තාක්ෂණයෙන් යුතු ජංගම දුරකතන වලට එක වරකට එක සිම් පතකින් 5G ජාලයට සම්බන්ධ වීමේ හැකි ආකාරයට සීමා වී තිබෙනවා.

Battery & Charging

Remove කරන්න බැරි ලිතියම් පොලිමර් 5000 mAh Capacity එකක Battery එකක් තමයි මේකෙ තියෙන්නේ. ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන් මොකද මේ Range එකේ අනිත් ඒව එක්ක බැලුවම.

Charging පැත්තට ආවොත් මෙන්න මෙතන තමා ටිකක් පසුබෑමක තියෙන්නේ. මොකද මේ Range එකේ අනිත් දුරකථන එක්ක සසඳල බලනකොට එයාලා 25W, 30W වලින් එහාට ගිහින් 65W පවා Charging දීලා තියෙන වෙලාවක 5000 mAh Battery එකක් Charge කරන්න දීල තියෙන්නේ Fast charging 18W විතරයි. අනිත් ඒවට සාපේක්ෂව ටිකක් වැඩිපුර වෙලාවක් යන බවක් නම් පේනවා මේ Device එක Charge වෙන්න මෙහෙම බැලුවම.

Operating System

Redmi Note 10 5G බලගැන්වෙන්නේ සුපුරුදු පරිදිම MIUI 12 based on Android 11 වලිනි. අනිත් ගොඩක් Manufacturesලා වගේම Xiaomiලාත් තමන්ට ආවේනිකව මේ OS එක විවිධාකරයෙන් වෙනස් කරලා එයාලට ආවේනිකව හදපු අතුරුමුහුණතක් තමයි MIUI කියන්නේ.

Other Features

මේ දුරකථනය හා ලබාදෙන අනෙකුත් Features ගැන කතා කරොත්,

  • Sensors
    Proximity sensor, Ambient light sensor, Accelerometer, Gyroscope, Electronic compass, සහ IR blaster කියන sensors මෙම ජංගම දුරකතනය සතු වෙනවා.
  • Security
    Side fingerprint sensor සහ AI face unlock කියන පහසුකම්ද ලබා දී තිබෙනවා.
  • Aurora Green, Nighttime Blue, Chrome Silver, Graphite Gray යන වර්ණ 4න් වෙළඳපලට නිකුත් කර තිබෙනවා.

Package Contents

මෙම ජංගම දුරකතනය මිලදී ගන්න යන අයෙකුට ලැබෙන පැකේජයේ ජංගම දුරකතනයට අමතරව පහත දෑ අඩංගු වනවා.

  • Charging Adapter
  • USB Type-C Cable
  • SIM Eject Tool
  • Protective Case
  • Quick Start Guide
  • Warranty Card

Price

හැමදේම බැලුවටත් පස්සේ අපි ඊලඟට බලන සාධකය වන්නේ ජංගම දුරකතනයේ මිල. මේ මත තමයි බොහෝ දුරට අපි ජංගම දුරකතනය මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ. මොකද අපි ගෙවන මිලට සරිලන, සෑහීමකට පත්වෙන්න පුළුවන් පහසුකම් තියෙනවා නම් විතරයි අපි ඒ ජංගම දුරකතනය් මිලදී ගන්නේ.

වෙනදා මෙන්ම Xiaomi සමාගම විසින් Redmi Note 10 5G මාදිලියේ ජංගම දුරකතන සඳහා ඉතාමත් අඩු මිලක් තමයි පනවා තිබෙන්නේ. එම මිල ගණන් කෙසේද යත් RAM ධාරිතාවය 8GB සහ මතක ධාරිතාවය 128GB වන Redmi Note 10 5G ජංගම දුරකතන මාදිලියේ වැඩිම RAM එකක් සහ Storage එකක් අඩංගු වන දුරකතනයත් ලංකාවේ මුදලින් රුපියල් 50,000කට මුදලකට අඩු අගයක් ගනී.

Redmi Note 10 5G දුරකතන ශ්‍රී ලංකාවේදී අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල ලෙස Xiaomi සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියේ පහත මිල ගණන් දක්වා ඇත.

  1. 4GB+64GB at LKR 42,999
  2. 4GB+128GB at LKR 44,999
  3. 6GB+128GB at LKR 47,999
  4. 8GB+128GB at LKR 49,999

ඉහත මිල ගණන් Xiaomi සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වී ඇති මිල ගණන් වන අතර ඒවා පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. අප විසින් අදාල මිල ගණන් පරික්ෂා කිරීමේදි දැක්වූ මිල ගණන් ඉහත දක්වා ඇත. මිල ගණන් පරික්ෂා කිරීම සඳහා මෙම සබැඳියට යොමු වන්න.

මේ ජංගම දුරකතනය මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටින කෙනෙක් ඉන්නව නම් මෙම සබැඳිය ඔස්සේ පිවීසීමෙන් දක්නට ලැබෙන වෙබ්පිටුවේ සඳහන් වන Xiaomi සමගමේ නිල වශයෙන් බලයලත් ශ්‍රී ලංකාවේ වෙළඳසැල් වලින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.