Loading...
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට නිවහන සපයන ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය

ලොව පුරා විසිරී පැතිරී සිටින ක්‍රිකට් රසිකයන්ගේ ආකර්ෂණීයම ක්‍රිකට් තරඟාවලිය වන එක්දින ලෝක කුසලාන තරඟාවලිය තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට සුදුසුකම් ලැබීමේ තරඟ පැවැත්වෙන අතර එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝම්බර් මස 05 වන දින නිල වශයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එසේම මෙම ලෝක කුසලාන තරඟාවලියේ කුසලානය විශේෂිත වන්නේ "ප්‍රථමයෙන්ම අභ්‍යාවකාෂය වෙත ගමන් කළ කුසලානය" බවට පත්වීම නිසාවෙනි. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම ලිපිය ඔස්සේ දැනගත හැකිවේ.

අභ්‍යාවකාශයට ගමන් කළ ලොව පළමු කුසලානය බවට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පත් වේ
මෙවර ලෝක කුසලාන තරඟාවලිය විශේෂ වන්නේ කුසලානයක් අභ්‍යාවකාෂය වෙත ගමන් කළ එකම තරගාවලිය බවට පත්වීමෙනි.

මෙහි පළමු තරඟය පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයන් වූ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මේ පළමු තරඟය ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ආරම්භක තරඟය මෙන්ම අවසන් මහා තරඟයට ද නිවහන සපයන මේ ක්‍රීඩාංගනය පිළිබඳව ඔබ නොදත් කරුණු මෙම ලිපිය ඔස්සේ ඔබගේ දැනුමට ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය

ලොව පවතින විවිධ ක්‍රීඩා අතරින් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවනුයේ විශේෂිත ස්ථානයකි. අනෙක් ක්‍රීඩාවල මෙන්ම ක්‍රිකට් සඳහා ද ලොව පුරා රටවල් ගණනාවක ක්‍රීඩාංගන නිමවා ඇත. ඒ අතරින් ලොව විශාලතම ක්‍රීඩාංගනය ලෙස මේ වන විට සැලකෙන්නේ නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයයි.

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය ගුවනට දිස්වන අයුරු. (Source: gujaratcricketassociation.com)

මෙම ක්‍රීඩාංගනයේ ඉතිහාසය පිළිබඳව සලකා බලන විට මෙය ප්‍රථමයෙන් ඉදිකර ඇත්තේ 1982 වසරේදී ය. ඒ වන විට මෙම ක්‍රීඩාංගනය සඳහා ප්‍රේක්ෂකයන් 49,000 කට පහසුකම් සැලසීමට හැකියාව පැවතුණි. පසුකාලීනව එනම් 2015 වසරේ දී ගුජරාට් ක්‍රිකට් සංගමය විසින් එවකට සභාපතිව සහ මේ වන විට ඉන්දියාවේ අගමැතිව සිටින් නරේන්ද්‍ර මෝදි විසින් මෙම ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 වසර වන විට සියලු නවීකරණ වැඩකටයුතු නිමවා අවසන් කළ විට මෙම ක්‍රීඩාංගනය ප්‍රේක්ෂකයන් 130,000 කට අධික ප්‍රමාණයකට පහසුකම් සැපයීමට ප්‍රමාණවත් වනවා.

ඒ සමඟම ඒ වන විට ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් දරා තිබූ ප්‍රේක්ෂකයන් 90,000ක ධාරිතාවයක් පැවති ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය දෙවන ස්ථානයට පත්විය.

ඉන්දීය රුපියල් කෝටි 800ක ආයෝජනයක්

ඉන්දියාව සලකන විට බොහෝ ක්‍රීඩා සඳහා ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙන රාජ්‍යයක් වනවා. මෙහි එක් ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රීඩාවන් දියුණු කිරීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ද ඔවුන්ගේ රට තුළ පවතින ධනය යෙදවීම සිදු කරනු ලබනවා.

Source: tfcstadiums.com

එවැනි හේතූන් මත පදනම්ව නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනය නවීකරණය කිරීම් සඳහා ඉන්දීය රුපියල් කෝටි 800ක පමණ මුදලක් වැය කර ඇත. මෙවැනි ඉතා විශාල මුදලක් යොදවා අති නවීන පහසුකම්වලින් යුතු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම විචාරකයන් සඳහන් කරනු ලබන්නේ ලොව උසම ප්‍රතිමාව වන Unity ප්‍රතිමාව සැදීම සඳහා යොදාගත් ප්‍රමාණයක ශ්‍රමිකයින් සංඛ්‍යාවක් මේ සඳහා යොදාගත් බවයි.

Corporate Box 76ක්

මේ ලිපිය කියවන්නා වූ පාඨක ඔබ ඇතැම් විට ක්‍රිකට් තරඟයක් මෙවැනි ස්ථානයක් සිට නරඹා තිබෙන්න පුළුවන්. එසේත් නැතිනම් ඒ සඳහා අවස්ථාවක් උදාවන තෙක් බලා සිටින අයෙක් වීමට පුළුවන්. තරමක් මිලෙන් අධික සැප පහසු වටපිටාවක සිට තරඟයක් නැරඹීම සඳහා මේ Corporate Box භාවිතා කරනු ලබනවා.

ප්‍රධාන පෙළේ සෑම ක්‍රීඩාංගනයකම පාහේ මෙම පහසුකම දක්නට ලැබුණ ද නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ මෙලෙස නවීනව ඉදිකරන ලද Corporate Box 76ක් ඇත. මින් එකක් ප්‍රේක්ෂකයන් 25කට පහසුකම් සැපයීමේ අවස්ථාව ඇති අතරම ඒවා සියලු පහසුකම් වලින් සමන්විත වනු ලබනවා.

අක්කර 63ක පිහිටා ඇති ක්‍රීඩා කිහිපයකටම පහසුකම් සලසන ක්‍රීඩාංගනයක්

Source: businesstoday.in

මෙම ක්‍රීඩාංගනය ක්‍රිකට් සඳහා පමණක් ප්‍රසිද්ධ වූව ද මෙම ක්‍රීඩාංගනය විවිධ ක්‍රීඩා සඳහා පහසුකම් සලසනු ලබයි. ඒ අතරට Football, Hockey, Basketball වැනි ක්‍රීඩා අයත් වේ. එමෙන්ම අක්කර 63ක පමණ භූමි ප්‍රමාණයක පවතින මෙම ක්‍රීඩාංගනය සතුව විශාල රථගාලක් පැවතීම ද විශේෂත්වයකි. එනම් වාහන 3000ත් 10,000ත් අතර ප්‍රමාණයකට පහසුකම් සපයමින් මෙය ලොව දෙවන විශාලතම රථගාලක් හිමි ක්‍රීඩාංගනය බවට නම් දරා ඇත.

එමෙන්ම මෙම ක්‍රීඩාංගනයේ පවතින සෑම Stand එකකම ආපනශාලා පහසුකම් සපයා ඇත. එය විශේෂ වන්නේ මෙවැනි පහසුකමක් ඉන්දියාව තුළ විශේෂයෙන් දක්නට නොලැබීම නිසයි.

ක්‍රීඩකයන් වෙත ලැබෙන විශේෂ පහසුකම්

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය සලකන විට ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය ව්‍යායාම පහසුකම්, පිහිනුම් තටාක, චිත්‍රපට ශාලා මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්හි යෙදීමටත් අවශ්‍ය සියලු පහසුකම් සලසන ක්‍රීඩාංගනයක් ලෙස මෙය දක්වන්න පුලුවන්. එමෙන්ම මෙම ක්‍රීඩාංගනය තුළ තණතීරු 9ක් සහිත වන අතර ක්‍රීඩකයන් හට පුහුණුවීම් සිදුකිරීම සඳහා වෙනම පුහුණු ක්‍රීඩාංගන දෙකකින් ද සමන්විත වේ.


2023 එක්දින ලෝක කුසලානය හා සම්බන්ධ නවතම තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා අප සමග රැඳී සිටින්න.

Sources: abplive.com businesstoday.in tfcstadiums.com gujaratcricketassociation.com stadiumfreak.com