Loading...
මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද?

පරිගණක මෙහෙයුම් පද්ධතියක් කියන්නේ සෑම පරිගණකයක් තුළම අනිවාර්යයෙන් තිබිය යුතු පද්ධති මෘදුකාංගයක්. මෙය ක්‍රමලේඛ ගණනාවක එකතුවක් වන අතර මෙමගින් පරිගණකයක සම්පත් භාවිතයට අවශ්‍ය පසුබිම සලසනවා. පරිගණකයේ අභ්‍යන්තරය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති පරිශීලකයෙකුට වුවද එහි ඇති සම්පත් තම අවශ්‍යතාවය පරිදි මේ මගින් මෙහෙයවිය හැකි වෙනවා. පරිගණක මෙහෙයුම් පද්ධතියක් මගින් පරිගණකයේ සියලු සම්පත් කළමණාකරණය කර දීමත් සිදු වෙනවා.

මෙහෙයුම් පද්ධතියක් මගින් පරිගණකය තුළ ඉටු කරනු ලබන කාර්යයන්

1. පරිගණකය හා පරිශීලකයා අතර අතුරු මුහුණතක් සකස් කිරීම.

පරිගණකයක් බලගැන්වී අවසන් වූ පසු මෙහෙයුම් පද්ධතිය මගින් ලබාදෙන අතුරු මුහුණත මගින් පරිශීලකයා හට පරිගණකයේ ඇති දෘඩාංග, මෘදුකාංග වල සංකීර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා දැනුමක් නොමැති වුවද ඊට සමීප වීමට අතුරු මුහුණතක් ලබා දෙයි.

2. පද්ධති ප්‍රවේශය

සමස්තයක් ලෙස පොදු පද්ධතීන් වලට හා එවායේ සුවිශේෂී සම්පත් වලට ප්‍රවේශ වීම මෙහෙයුම් පද්ධතිය මගින් පාලනය කරනු ලැබේ. මෙමගින් අවිධිමත් ප්‍රවේශයන්ගෙන් සම්පත් හා ගොනු ආරක්ෂා කරනු ලැබේ.

3. පරිශීලකයාට අවශ්‍ය පරිදි සම්පත් කලමනාකරණය කිරීම.

පරිගණකයක් යනු දත්ත ඇතුලත් කොට එම දත්ත සකසා තොරතුරු බවට පත්කර එම තොරතුරු ගබඩා කිරීම් හා එම ක්‍රියාවලීන්ට අදාළ අනෙකුත් කාර්යයන් පාලනය කිරීමට භාවිතා කරන සම්පත් කට්ටලයකි. මෙහෙයුම් පද්ධතියක් මගින් මෙම සියලුම සම්පත් කළමනාකරණය කර ඒ වෙනුවෙන් වගකීමක් දරයි.

4. ගොනු කළමනාකරණය කිරීම.

දත්ත ගොනු කළමනාකරණය , එම ගොනුවල ආකාරය හදුනාගැනීම හා බහු පරිශීලක පද්ධතිවල ඇති ගොනුවල ආරක්ෂාවද මෙහෙයුම්  පද්ධතිය මගින් සිදු කරයි.

5. දෝෂ හදුනා ගැනීම හා ප්‍රතිචාර දැක්වීම.

පරිගණකයක් ක්‍රියාත්මක කරන විට විවිධ දෝෂ ඇතිවිය හැක. මේවාට උපංගවල දෝෂ, බාහිර හා අභ්‍යන්තර දෘඩාංග වල ගැටළු, විවිධ මෘදුකාංග පිළිබඳ ගැටළුද අයත් වේ. මෙවැනි ගැටළු හදුනාගැනීම හා එම දෝෂ මගහැරවීම යන කාර්යයන්ද මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරයි.

6. වැඩසටහන් සම්පාදනය

ක්‍රමලේඛකට වැඩසටහන් සම්පාදනය හා සංස්කරණය සදහා අවශ්‍ය සංස්කාරක හා දෝෂහරණය වැනි විවිධ කාර්යයන් ඉටුකිරීම සදහා අවශ්‍ය වන පසුබිම හා පහසුකම් ලබා දේ.

7. වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී පරිගණකය තුළ කාර්යයන් සමූහයක් සිදු වේ. මෙවැනි කාර්යයන් මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරනු ලැබේ.

උදාහරණයක් ලෙස දත්ත හා උපදෙස් ප්‍රධාන මතකයට ගැනීම හා ගොනු අවශ්‍ය පරිදි වැඩසටහනට සම්බන්ධ කිරීම හා අනෙකුත් සම්පත් සකස් කිරීම දැක්විය හැක.

8. ආදාන / ප්‍රතිදාන උපංග වලට ප්‍රවේශය ලබා දීම.

විවිධ  ආදාන / ප්‍රතිදාන උපංගවල පාලනයට අදාළ සංකීර්ණ උපදෙස් පරිශීලකගෙන් ආවරණය කර ලිවීම, කියවීම වැනි සරල උපදෙස් මගින් එම උපාංග ප්‍රයෝජනයට ගැනීමට පරිශීලකට අවස්ථාව ලබාදීම මෙහෙයුම් පද්ධතියක් මගින් සිදුකරයි.

9. ගිණුම්කරණය

මෙහෙයුම් පද්ධතියක් මගින් විවිධ සම්පත් භාවිතය පිළිබඳ ලේඛන තබා ගැනීම, ප්‍රතිචාර කාලය වැනි කාර්ය සාධන අධීක්ෂණය ආදී කාර්යයන් හරහා පරිගණකය සුසර කිරීම මගින් එහි කාර්ය සාධනය උපරිම තත්වයකින් පවත්වා ගත හැක.

මෙහෙයුම් පද්ධති ආකාර

මෙහෙයුම් පද්ධති ප්‍රධාන ආකාර 04ක් දක්වන්න පුළුවන්.

  1. තත්කාලීන මෙහෙයුම් පද්ධති
  2. ඒක පරිශීලක , ඒක කාර්යය මෙහෙයුම් පද්ධති
  3. ඒක පරිශීලක , බහු කාර්යය මෙහෙයුම් පද්ධති
  4. බහු පරිශීලක , බහු කාර්යය මෙහෙයුම් පද්ධති

අපි දැන් බලමු මේ මෙහෙයුම් පද්ධති ආකාර එකින් එක අරගෙන මොනවද මේ කියන මෙහෙයුම් පද්ධති කියන එක.

1. තත්කාලීන මෙහෙයුම් පද්ධති

උපදෙස් ලබා දුන් විගස ක්‍රියාත්මක වන පද්ධති මෙම ගණයට අයත් වේ.

උදාහරණ : ටෙලර් යන්ත්‍ර

2. ඒක පරිශීලක, ඒක කාර්යය මෙහෙයුම් පද්ධති

එකවර එක් පරිශීලකයෙකුට පමණක් සම්බන්ධ වී එක් වරකට එක් කාර්යයක් පමණක් කළ හැකි පද්ධති මෙම ගණයට අයත් වේ.

උදාහරණ : DOS / Palm OS

3. ඒක පරිශීලක, බහු කාර්යය මෙහෙයුම් පද්ධති

මෙම මෙහෙයුම් පද්ධති භාවිතා කර එක් පරිශීලකයෙකුට එකවර කාර්යයන් කීපයක් සිදු කිරීමට හැක.

උදාහරණ : Windows / Ubuntu / Macintosh OS

4. බහු පරිශීලක, බහු කාර්යය මෙහෙයුම් පද්ධති

එකවර පරිශීලකයන් කීහිපයකට ප්‍රවේශ වී කාර්යයන් කීපයක් ඉටු කරගත හැකි මෙහෙයුම් පද්ධති මෙම ගණයට අයත් වේ.

උදාහරණ : Unix / VMS / mainframe OS

මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන්

මෙහෙයුම් පද්ධතියක කාර්යයන් ප්‍රධාන කොටස් 05ක් ඔස්සේ වර්ග කළ හැකියි.

1. ගොනු කළමනාකරණය

ගොනුවක් යනු අදාළ තොරතුරු වල එකතුවකි. සෑම ගොනුවකටම නමක්, එහි දත්ත සහ ගුණාංග ඇත. ගොනුවේ නම පද්ධතිය තුළ හඳුනා ගන්නා අතර එය පරිශීලකයින් ප්‍රවේශ වීම සඳහා භාවිතා කරයි.

මෙහෙයුම් පද්ධතියක ගොනු කළමනාකරණ යනු ලිපි ගොනු සැකසීම, ප්‍රවේශ වීම, නම් කිරීම, බෙදා ගැනීම සහ ආරක්‍ෂා කිරීම වැනි ලිපිගොනු ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසියාකාරව කලමනාකරණය කිරීමයි.

2. ක්‍රියායන කළමනාකරණය

ක්‍රියාවලියක් යනු ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනකි.ක්‍රියාවලි කලමනාකරණය මගින් පද්ධතියේ ක්‍රියාත්මක වන ක්‍රියාවලියක රැදී සිටීමේ කාලය අඩු කර එය මනාලෙස සකස් කිරීමයි.

3. මතක කළමනාකරණය

මතකය යනු පරිගණක පද්ධතියක වැදගත් සම්පතක් වන අතර එය සමස්ත පද්ධති ක්‍රියාකාරිත්වය සඳහා නිසි ලෙස කළමනාකරණය කළ යුතුය.

මතක කළමනාකරණය යනු,

  • මතකයේ ඇති කොටස් ප්‍රයෝජනයේදී සහ භාවිතා නොකරන කොටස් වල සටහන් තබා ගැනීම.
  • අවශ්‍ය පරිදි ක්‍රියාවලි සඳහා මතකය වෙන් කරන අතර තවදුරටත් අවශ්‍ය නොවන විට එය වෙන් නොකරයි.

4. ආරක්ෂක කළමනාකරණය

පරිගණක පද්ධතියක තොරතුරු විනාශය හා අනවසරයෙන් ප්‍රවේශ වීමෙන් ආරක්ෂා කිරීම මෙමගින් සිදු කරයි. ප්‍රමාණවත් උපස්ථයක් පවත්වා ගැනීම, විශ්වාසවන්ත පරිශීලකයන්ට පමණක් සංවේදී තොරතුරුවලට ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දීම මෙමගින් සිදුකරයි. තවද, පරිශීලක සත්‍යාපනය, ප්‍රවේශ පාලනය සහ ගුප්ත ලේඛන යාන්ත්‍රණයන් සමඟ කටයුතු කිරීම සිදුකරයි.

5. විධාන අර්ථ නිරූපණය

පරිශීලකයාට පරිගණකය මඟින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා උපදෙස් ලබා දිය හැකි විධාන මාලාවක් සැපයීම මෙහෙයුම් පද්ධතියක් මගින් සිදුකරයි.

පරිශීලක අතුරුමුහුණත් ප්‍රධාන ආකාර දෙකකින් හදුන්වා දෙන්න පුළුවන්

  1. විධාන පේළි අතුරුමුහුණත
  2. චිත්‍රක පරිශීලක අතුරුමුහුණත

මෘදුකාංග යනු විශාල මාතෘකාවක් වන අතර එය පද්ධති මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස කොටස් දෙකකි. මෙහෙයුම් පද්ධති යනු පද්ධති මෘදුකාංග වල එක් ආකාරයක් පමණි. මෘදුකාංගවල යෙදුම් මෘදුකාංගද වශයෙන්ද උප කොටසක් පවතී. අනෙකුත් පද්ධති මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ගැන ඉදිරියට ලිපි ගෙන එන්නම්. එතෙක් Android වැඩකාරයෝ අප සමග රැදී සිටින්න.