Loading...
2030 වන වි​ට Digital ඉලක්ක සපුරාලීමට 5G සහ Fibre තාක්ෂණය රට පුරා

ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් සිතියමේ ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විසින් දියත් කර ඇති Digital Blueprint වැඩපිළිවෙළ යටතේ, 5G සහ Fiber තාක්ෂණය දිවයිනේ සෑම පුරවැසියෙකුටම ලබාදීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසන පරිදි, මෙය හුදෙක් තාක්ෂණික ව්‍යාපෘතියක් නොව, රටේ සෑම පුරවැසියෙකුටම සම අවස්ථා ලබාදෙන ආර්ථික හා සමාජීය පරිවර්තනයකි.

2030 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ ඩිජිටල්කරණය වූ රටක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අභිලාෂයයි. මෙම ඉලක්කය ජය ගැනීම සඳහා වන විද්‍යාත්මක සැලැස්ම නොහොත් නිර්මාණ සැලැස්ම (Enterprise Architecture) මේ වන විටත් සකස් කර අවසන්ව ඇත.


Digital Blueprint සහ ව්‍යුහාත්මක සැලැස්ම

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා අවධාරණය කරන්නේ ඕනෑම ඩිජිටල් පරිවර්තනයක සාර්ථකත්වය රඳා පවතින්නේ එහි පදනම මත බවයි. රජය විසින් හඳුන්වා දී ඇති මෙම ඩිජිටල් සැලැස්ම ස්ථර කිහිපයකින් සමන්විත වේ;

  1. සම්බන්ධතාවය (Connectivity): සෑම ප්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාලය ලබාදීම.
  2. පරිගණක ගබඩා ධාරිතාව (Storage Capacity): දත්ත සුරක්ෂිතව ගබඩා කිරීමේ සහ සැකසීමේ හැකියාව.
  3. මෘදුකාංග සහ සේවා ස්ථරය: රජයේ සහ පෞද්ගලික අංශයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම.

"අපි මේක හඳුන්වන්නේ Enterprise Architecture එකක් කියලා. මෙහි මූලිකම සහ වැදගත්ම ස්ථරය (Foundational Layer) තමයි සම්බන්ධතාවය. මිනිසුන්ට තාක්ෂණය භාවිතා කරන්න නම්, ඔවුන් ඉන්න තැනට ඒ තාක්ෂණය ගලාගෙන එන්න ඕනේ," යැයි ආචාර්ය විජයසූරිය මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.


5G සහ Fibre: ඩිජිටල් ආර්ථිකයේ කොඳු නාරටිය

රජයේ මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අංග දෙකක් පවතී. ඒ Wireless තාක්ෂණය හරහා ක්‍රියාත්මක වන 5G සබඳතා සහ ස්ථාවර දුරකථන මාර්ග ඔස්සේ එන Fiber තාක්ෂණයයි.

  • 5G තාක්ෂණය: දැනටමත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින 5G තාක්ෂණය හරහා ඉතා ඉහළ වේගයකින් යුත් අන්තර්ජාල සබඳතා ලබා දීමට කටයුතු යොදා ඇත. මේ සඳහා අවශ්‍ය Licenses ලබා දීම සහ විදුලි සංදේශ සමාගම් දිරිමත් කිරීම රජය විසින් සක්‍රීයව සිදු කරයි.
  • Fiber තාක්ෂණය: රැහැන් රහිත තාක්ෂණයට වඩා ස්ථාවර සහ විශ්වසනීය සබඳතාවක් Fibre හරහා ලැබේ. රජයේ ඉලක්කය වන්නේ Fibre ජාලය රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පමණක් නොව, සෑම ගමකටම රැගෙන යාමයි.

සෑම රෝහලකටම සහ විදුහලකටම සම ප්‍රවේශයක්

ඩිජිටල් ආර්ථිකයක ප්‍රතිලාභ නාගරික ජනතාවට පමණක් සීමා නොවිය යුතු බව රජයේ ස්ථාවරයයි. ආචාර්ය විජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, නියම ඩිජිටල් ප්‍රසාරණය සිදුවන්නේ සෑම රජයේ ආයතනයක්ම මෙම ජාලයට සම්බන්ධ වූ විට බවයි.

මෙමගින් සමාජයේ පවතින Digital Divide නැති කිරීම රජයේ මූලික අරමුණකි.


දිරිගැන්වීම් සහ නියාමන සහාය

මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. මේ සඳහා විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය පියවර ගෙන ඇත. විශේෂයෙන්ම,

  • නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා අවශ්‍ය වර්ණාවලි (Spectrum) සහ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම.
  • ප්‍රාදේශීය මට්ටමින් යටිතල පහසුකම් ඉදිකිරීමේදී ඇතිවන බාධා ඉවත් කිරීම.
  • ප්‍රතිපාදන වෙන් කිරීම සහ මූල්‍ය දිරිගැන්වීම් ලබා දීම.

මෙම ක්‍රියාමාර්ග හරහා ඉතා සීග්‍රයෙන් Broadband ජාලයන් රට පුරා ප්‍රසාරණය කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.


2030 දැක්ම

රජයේ අවසාන ඉලක්කය වන්නේ 2030 වන විට සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍යතාවයක් සහ ඩිජිටල් සේවාවන් භාවිතා කිරීමේ හැකියාව ලබාදීමයි. 5G සහ Fibre තාක්ෂණය යනු එම ගමනට අවශ්‍ය මහා මාර්ගයයි. මෙම යටිතල පහසුකම් සම්පූර්ණ වූ පසු, රජයේ සේවාවන් ලබාගැනීම සඳහා පෝලිම්වල සිටීමට අවශ්‍ය නොවන අතර, සියල්ල ජංගම දුරකථනය හරහා සිදු කරගැනීමට අවස්ථාව සැලසේ.

මෙම විප්ලවීය වෙනස හරහා ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත්, දේශීය තරුණ තරුණියන්ට ගෝලීය රැකියා වෙළඳපොළට නිවසේ සිටම සම්බන්ධ වීමටත් අවශ්‍ය පසුබිම ඉදිරි වසර කිහිපය තුළ සකස් කෙරෙනු ඇත.

Source: Ministry of Digital Economy FB Page