Loading...
යුක්රේනය විසින් පහර දී ගිල්වා දැමූ රුසියානු Moskva යු​ධ නෞකාවේ ඡායාරූප නිකුත් වෙ​යි

රුසියාවේ ප්‍රබලතම යුධ නෞකා වර්ගයක් Slava පන්තියේ Missile Cruisers අතරින් තෙවන සහ අවසාන යුධ නැව වූත්, රුසියානු කළු මුහුදු නාවික බලඇණියේ අණදෙන නෞකාව (Flag ship) වූත් RF Moskva (Moscow) නෞකාව ගිල්වා දැමීමට යුක්‍රේන නාවික හමුදාව පසුගියදා සමත් විය.

අප්‍රේල් 14 වනදා යුක්රේනයේ දේශීයව නිෂ්පාදනය කල නෙප්චූන් මිසයිල ද්විත්වයකින් මෙම නෞකාව විනාශ කල බව යුක්රේන නාවික හමුදාව විසින් පවසන ලදී. මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගොඩබිම සිටයි. එදිනම රුසියාව විසින් Moskva හි ගින්නක් හටගෙන ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරත් ගින්නට හේතුව පැහැදිලි කල නොහැකි බවටයි ඔවුන් වාර්තා කලේ.

නෞකාවේ නාවිකයින් කලාපයේ නාවික බලඇණියේ සහයෝගයෙන් නැවෙන් ඉවත් කරගත් බවටත් නෞකාව නැවත වරාය වෙත ඇදගෙන එන බවටත් රුසියන් ආරක්ෂක අමත්‍යංශය වාර්තා කර තිබිණි. නමුත් 15 වනදා උදෑසන වාර්තා වූයේ වරාය වෙත එන අතරමගදී Moskva ගිලී ගිය බවටයි. රුසියාවද පසුව එය නිල වශයෙන් තහවරු කරන. ගින්න පැතිරී යාම හේතුවෙන් නෞකාවේ බඳේ ඇතිවූ පැලීම් නිසා මේ අනතුරට සිදුවූ බවට වාර්තා වේ.

මෙම සිදුවීම සනාථ කිරීම සදහා ඊයේ වනතෙක් නිශ්චිත ඡායාරූප කිසිවක් නිකුත් වී නොතිබුණි. එදින කලු මුහුද ආශ්‍රිත කාළගුණ තත්ත්වය අයහපත් වීම හේතුවෙන් චන්ද්‍රිකා ඡායාරූප පවා ලබාගත නොහැකි බවට චන්ද්‍රිකා සමාගම් විසින් පවසන ලදී. නමුත් අද (18) උදෑසන ගිනිගෙන දැවෙන Moskva හි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් විය.

Moskva ගිලෙන ඡායාරූප 
First footage of Moskva before sinking from SlavaUkrayini

RF Moskva නෞකා තුනකින් සමන්විත Salva පන්තියේ අවසාන මිසයිල කෲසරයයි. එසේම එය රුසියානු කලු මුහුදු නාවික බලඇණියේ ප්‍රධාන නෞකාව ද වේ. වැඩිදුරටත් කිවහොත් ප්‍රධාන වශයෙන් විවිධ වර්ගවල මිසයිල 120 ක් රැගෙන යා හැකි එය ලොව ප්‍රබලම යුධ නෞකා අතරටද අයත්.

ආක්‍රමණය ආරම්භ වීමත් සමග වැදගත් භූමිකාවක් Moskva විසින් දරණ ලදී. යුද්ධයේදී Moskva වඩාත් කතා බහට ලක්වූයේ යුක්රේනයේ Snake island රුසියාව විසින් යටත් කරගත් මොහෝතේදීයි. Moskva ගිලුණේ යුක්රේන ප්‍රහාරයකින් නම් එය මේ මොහොතේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩිපුර වර්ධනය කරවන අවස්ථාවක් වනු ඇති.

Neptune Anti ship missles යුක්රේනය විසින් භාවිතා කරන්නේ 2021 වසරේ සිටයි. එය සෝවියට් KH-35 කෲස් මිසයිලයේම දේශීය නිෂ්පාදිතයක්. ඇතැම් වාර්තා මගින් දැක්වෙන්නේ Neptune මිසයිල සමග රුසියාවේ අවධානය වෙනතකට යොමු කරවා ගැනීමට තුර්කියෙන් යුධ අධාර ලෙස ලද UAV කිහිපයක් ද එවා ඇති බවටයි.

Neptune නෞකා නාශක මිසයිල 

Moskva ගිල්වා දැමුණේ Neptune මගින් නම් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සතුරු ප්‍රහාරයකින් ගිලී ගිය විශාලතම නෞකාවන්ගෙන් එකක් බවට එය පත් වනු ඇත. එසේම Moskva ගිලී යාම රුසියාවට සංකේතාත්මක වශයෙන් විශාලතම පරාජයක් බවට පත් වනු ඇත. සිය අගනුවර නමින් නම් කර ඇති එය විනාශ වීම රුසියාවේ හදවතට එල්ල කල ප්‍රහාරයක් ලෙස සැලකිය හැකියි.

මේ මොහොතේදී Moskva වෙනුවට වෙනත් ප්‍රබල නැවක් ආදේශ කිරීම ද රුසියාවට අසීරු කරුණක් වනු ඇති. තුර්කි සමුද්‍ර සන්ධිය වසා දමා තිබීම හේතුවෙන් කලු මුහුද තුළම ඇති නැවක් එයට ආදේශ කිරීමට රුසියාවට සිදු වනු ඇත.

මේ සිදුවීමෙන් පසුව රුසියානු TU 22m3 Bomber යානා මගින් ප්‍රථම වරට යුක්රේනයේ නගර වෙත ප්‍රහාර මාලාවක් ද එල්ල විය. ඇතැමුන් මෙය සලකන්නේ Moskva පරාජයට කෙරුණු ප්‍රති ප්‍රහාරයක් ලෙසටයි.

අප්‍රේල් 7 වනදා ලබාගත් Moskva නැවේ චන්ද්‍රිකා ඡායාරූප 
Snake island යටත් කරගත් මොහෝතේ දී Moskva වෙත වාග් ප්‍රහාරයක් එල්ල කල නිර්භීත සෙබළුන් සිහි ගන්වමින් නිකුත් කළ මුද්දරයක්