ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, GovPay මාර්ගගත රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය දැන් දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ. පසුගිය කාලය පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන, මේ වන විට දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පුළුල් කර අවසන්ය.

Digital රටක් කරා යන ගමනේ ඵෙතිහාසික ජයග්‍රහණයක්
2025 වසරේ පෙබරවාරි මාසයේදී මූලික පියවර තැබූ GovPay ව්‍යාපෘතිය, 2025 අප්‍රේල් මාසයේදී නියමු ව්‍යාපෘතියක් (Pilot) ලෙස නිල වශයෙන් ආරම්භ කරන ලදී. එතැන් සිට ක්‍රමයෙන් වර්ධනය වූ මෙම පද්ධතිය, 2026 පෙබරවාරි 3 වන දින වන විට ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි සම්පූර්ණ කිරීමට සමත් වී ඇත.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සංඛ්‍යාලේඛන මගින් මනාව පැහැදිලි වේ.
- මේ වන විට ගනුදෙනු සංඛ්‍යාව: 86,000කට අධික ප්‍රමාණයක්
- එකතු වූ ආදායම: රුපියල් මිලියන 115කට ආසන්න දඩ මුදල් ප්‍රමාණයක්
GovPay පිටුපස ඇති සයෝගීතාව සහ තාක්ෂණය
GovPay යනු තනි ආයතනයක ප්‍රයත්නයක් නොව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් රැසකගේ සාමූහික දායකත්වයෙන් බිහි වූවකි. මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ LankaPay ආයතනය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ Digital කාර්ය සාධක බලකාය මගින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. පද්ධතියේ තාක්ෂණික සහකරු සහ මෙහෙයුම්කරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay ආයතනයයි.
ගෙවීම් සිදු කළ හැකි ක්‍රමවේද සහ පහසුකම්
මහජනතාවට උපරිම පහසුව සැලසීම සඳහා GovPay පද්ධතිය පුළුල් බැංකු සහ තාක්ෂණික ජාලයක් සමඟ සම්බන්ධ කර ඇත. ඒ යටතේ පහත සඳහන් පහසුකම් ක්‍රියාත්මක වේ.
- බැංකු සහ Fintech යෙදුම්: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු 14ක් සහ Helapay වැනි මූල්‍ය තාක්ෂණ යෙදුම් 6ක් හරහා ඕනෑම අයෙකුට තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් දඩ මුදල් ගෙවිය හැකිය.
- eZ Cash ජාලය: Smartphone එකක් නොමැති හෝ Online Payments ස්ඳහා හුරු නොවූ ජනතාව සඳහා දිවයින පුරා විසිරී ඇති 55,000කට අධික Dialog eZ Cash නියෝජිතයන් හරහා මුදලින් දඩ මුදල් ගෙවීමේ හැකියාව සලසා දී ඇත.
මෙමගින් නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ද සමාන අවස්ථාවක් හිමි වන අතර, මෙය ශ්‍රී ලංකාවේ Digital Inclusivity පිළිබඳ කදිම උදාහරණයකි.
පද්ධතියේ ප්‍රතිලාභ සහ විනිවිදභාවය
සාම්ප්‍රදායික රථවාහන දඩ පත්‍රිකාවක් ලැබුණු විට, අදාළ පොලිස් ස්ථානයට හෝ තැපැල් කාර්යාලයට ගොස් පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ කාලය දැන් අවසන්ය. GovPay පද්ධතිය හරහා රජයේ පොදු සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මූලික කරුණු කිහිපයක් බලපා ඇත.
- සෑම ගෙවීමක්ම පද්ධතිය තුළ සටහන් වන බැවින් මූල්‍ය අක්‍රමිකතා සිදු වීමට ඇති ඉඩකඩ අවම වේ.
- දඩ මුදල් කළමනාකරණය කිරීමේදී මාර්ගගතව රජයේ ආයතන අතර දත්ත හුවමාරුව විධිමත් වීම නිසා වගවීම තහවුරු වේ.
- මහජනතාවට තමන් සිටින තැනක සිටම තත්පර කිහිපයකින් ගෙවීම් අවසන් කළ හැකිය.
GovPay පද්ධතිය යනු Payment Gateway එකක් පමණක් නොව, එය රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ විශාල මෙහෙයුමක කොටසකි. LankaPay ආයතනය සඳහන් කරන පරිදි, මෙම පද්ධතිය වඩාත් සුරක්ෂිත, අන්තර් ක්‍රියාකාරී සහ ඕනෑම මට්ටමකට ව්‍යාප්ත කළ හැකි තාක්ෂණයකින් සමන්විත වේ.
පසුගිය මාස කිහිපය තුළ ලබා ඇති ප්‍රගතිය දෙස බලන විට, ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී මෙය සැබෑ ජයග්‍රහණයකි. Manual ක්‍රියාවලීන් වෙනුවට විධිමත් Digital සේවාවක් හඳුන්වා දීම තුළින් යහපාලනය සහ මහජන සුබසාධනය යන දෙකම තහවුරු වී ඇත.
අනාගතයේදී තවත් රාජ්‍ය සේවාවන් මෙවැනි Digital Platforms වෙත යොමු කිරීම හරහා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටවල් හා කරට කර සිටිය හැකි මට්ටමට පත් වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය.
Source: LankaPay Facebook Page








