Loading...
Dubaiහි පිහිටි Amazon Data Center එක​ වෙත එල්ල​වූ මිසයිල ප්‍රහාරයකි​න් එහි සේවා බිඳවැටෙ​යි

එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර මැදපෙරදිග කලාපය තුළ ඇවිළී ඇති යුදමය තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Amazon Web Services (AWS) Data Centre එක​ වෙ​ත කිසියම් බාහිර වස්තූන් පතිත වීම හේතුවෙන් එහි විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එමීර් රාජ්‍යයේ දත්ත මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය

AWS නිල වශයෙන් තහවුරු කරන ලද තොරතුරු අනුව, අලුයම 4:30 ට පමණ (PST වේලාවෙන්) ඔවුන්ගේ එක් Availability Zone - mec1-az2 එකකට පිටතින් පැමිණි වස්තූන් කිහිපයක් පතිත වී ඇත. මෙම ගැටීමත් සමඟ එම ස්ථානයේ විශාල ගිනි පුපුරු හටගෙන ඇති අතර පසුව මධ්‍යස්ථානය තුළ ගින්නක් හටගෙන තිබේ.

මෙම සිදුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ගිනි නිවන ඒකක, ගින්න පාලනය කිරීම සඳහා එම මධ්‍යස්ථානයේ විදුලි සැපයුම සහ ජනන යන්ත්‍ර ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කර ඇත. "අදාළ කලාපයට බලශක්ති සැපයුම සහ සන්නිවේදන ජාල යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරනවා," යනුවෙන් AWS සමාගම ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, එමීර් රාජ්‍යයේ පිහිටි අනෙකුත් දත්ත කලාප සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

බහරේනයේ AWS මධ්‍යස්ථානයටත් බාධා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවීමෙන් පැය කිහිපයකට පසු, බහරේනයේ පිහිටි Amazon දත්ත මධ්‍යස්ථානයකින් ද විදුලි බිඳවැටීම් සහ සන්නිවේදන ගැටලු වාර්තා වී තිබේ. බහරේනයේ මෙම බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, සමස්ත Gulf කලාපයම මේ වන විට ඉරාන ප්‍රතිප්‍රහාරයන්ට ගොදුරු වෙමින් පවතින බව වාර්තා සඳහන් කරයි.

කලාපීය බලපෑම සහ යටිතල පහසුකම්වල අවදානම

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණක් නොව සෙසු Gulf කලාපයේ රටවල ද වරායවල්, ගුවන් තොටුපළවල් සහ ජනාවාසවලට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය ලෝකයේ ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගෙමින් පවතින අවධියක, මෙවැනි දත්ත මධ්‍යස්ථාන ඉලක්ක වීම ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයට ද තර්ජනයකි.

AWS සමාගමට අනුව, ඔවුන්ගේ 'Availability Zone' යනු එකිනෙකට සම්බන්ධ වූ භෞතික දත්ත මධ්‍යස්ථාන එකක් හෝ කිහිපයකින් සමන්විත පද්ධතියකි. මේවා හුදකලා ස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන්නේ කිසියම් ආපදාවකදී අනෙක් කලාපවලට බලපෑමක් ඇති වීම වැළැක්වීමට වුවද, කලාපීය යුද්ධයක් හමුවේ එම ආරක්ෂාව ද අභියෝගයට ලක්ව ඇති බව මෙම නවතම සිදුවීම් මාලාවෙන් තහවුරු වේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වුවහොත්, ලෝකයේ සයිබර් අවකාශය මෙහෙයවන මෙවැනි යටිතල පහසුකම් තවදුරටත් අනතුරට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බව ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

Source: reuters.com