Loading...
තව මාස 6කින් Neuralink Microchips මිනිස් මොළය සම​ඟ සම්බන්ධ කල හැකි බ​ව Elon Musk ප්‍රකාශ කර​යි

ඔබත් නවීන තාක්ෂණය පිළිබඳව වඩා උනන්දු පාඨකයෙක් නම් මීට පෙර Neuralink වැඩසටහන පිළිබඳව දැන තිබෙන්නට ඇති බව නොඅනුමානය. තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන Elon Musk විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාප්තිය පෘථිවිය තුළ වූ මානවයා විසින් තබන යෝධ පිම්මක් ලෙස අර්ථ දැක්වීම මා විසින් සඳහන් කිරීමේ වරදක් නැත. මන්දයත් අපහට පෙර නොවූවිරූ අන්දමේ තාක්ෂණික දියුණුවක් මෙම Neuralink හරහා සිදුවන බව ලොව පුරා සිටින විද්වතුන්ගේ මතයයි.

මෙම Neuralink ව්‍යාපෘතිය හරහා සිදුවන්නේ නව ස්නායු අතුරුමුහුණත් තාක්ෂණයක් නොහොත් Neural Interface Technology ගොඩනැගීමයි. මේ පිළිබඳව මීට වසර ගණනාවක සිටම Elon Musk ගේ මූලිකත්වයෙන් විවිධ ආකාරයේ පර්යේෂණ සිදුකළ අතර එහි සාර්ථකත්වය පසුගිය කාලය තුළදී පෙන්නුම් කිරීමට හැකි විය.

මෙහි මූලික අදියරේ පර්යේෂණ සඳහා වඳුරන්, ඌරන් වැනි සත්ත්වයින් යොදාගෙන සිදුකළ පර්යේෂණ ප්‍රතිඵල වල සාර්ථකත්වය හේතුවෙන් ඉදිරි මාස 6ක කාලය තුළ Neuralink Microchips මිනිසාගේ මොළය හා සම්බන්ධ කිරීමට සූදානම් බව ඔහු විසින් සිය Twitter ගිණුම හරහා සඳහන් කර ඇත.

Elon Musk විසින් පළකර තිබූ Twitter සටහන

Neuralink විසින් මෙම ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කර ඇති ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත වන මෙම ඉතා කුඩා Microchip එක මිනිස් පුද්ගලයෙකුගේ හිස්කබලේ කැබැල්ලක් කපා මිනිස් මොළයට බද්ධ කිරීම සිදුකරයි. මෙලෙස ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා අවසර ලබාගැනීම උදෙසා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (US Food and Drug Administration/USFDA) සමග මේ වන විට සාකච්ඡා පවත්වන බව වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

Neuralink Microchip

මෙලෙස සාර්ථකත්වයක් ලැබූ මෙම්  Neuralink ව්‍යාපෘතිය හරහා සිදුකිරීමට අදහස් කරනු ලබන තවත් ප්‍රධානතම ක්‍රියාවලීන් දෙකක් වන්නේ "මිනිසාගේ පෙනීම වැඩිදියුණු කිරීම සඳහා හෝ යථා තත්ත්වයට පත්කිරීම සඳහා අදහස් කෙරෙන අක්ෂි බද්ධ කිරීමක්" සහ "අංශභාග රෝග තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකුගේ කොඳුඇට පෙළ ආශ්‍රිතව සිදුකළ හැකි ක්‍රියාවලියක් ඔස්සේ රෝගියාට නැවත චලනය ලබාදීම" යන ක්‍රියාවලීන් වේ.

මේ පිළීබඳව බොහෝ දෙනාගේ දැඩි විවේචන සහ විවිධ මත එල්ල වුවද ආ විසින් දැනගත යුතු ප්‍රධානතම කරුණක් වන්නේ මෙම Neuralink හා සමානවම පවතින Synchron Inc. මගින් මිනිසාගේ මොළය හා විවිධ උපකරණ සම්බන්ධ කිරීම සිදුකර සාර්ථකත්වයක් අත්කරගෙන තිබීමයි. එම සමාගම මගින් මිනිස් මොළය සමග කුඩා Stent සමබන්ධ කිරීමට කටයුතු කර ඇති අතර එමගින් චලනය වීමට හෝ කතා කිරීමට අපහසු රෝගීන් සඳහා රැහැන් රහිතව පණිවුඩ හුවමාරු කිරීම සඳහා එමගින් අවස්ථාව සැලසේ.

ඊට අමතරව Onward Inc. මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් කොඳුඇට පෙළ හා සම්බන්ධ ආබාධ පවතින රෝගීන් හට යම් ආකාරය චලනයන් සිදු කිරීම සඳහා ද මෙවැනිම උපකරණ සම්බන්ධ කිරීම මගින් අවස්ථාව උදා වී ඇත.  එලෙස විවිධ සමාගම් විසින් සිදුකර ඇති පර්යේෂණ සහ එහි ප්‍රතිඵල පිළිබඳව සැලකීමේ දී මෙම Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප හට ඉදිරියේදී බලාපොරොත්තුවක් තබාගත හැකි බව මාගේ අදහසයි. ඔබගේ අදහස් පහතින් සඳහන් කිරීමට හැකියාව ඇත.

මේ ආකාරයට Neuralink හා සම්බන්ධව පවතින මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව නිරන්තරයෙන් ඔබ වෙත දැනුවත් කිරීමට අප සූදානම්. එම නිසා Android වැඩකාරයෝ වන අප සමග රැඳී සිටින්න.

Sources: www.reuters.com Samsung Community www.bloomberg.com www.euronews.com