Loading...
නීති කඩන රියදුරන්ගෙන් ජීවිත බේරාගන්න සහය වෙන්න eTraffic නමින් Mobile App එකක් ශ්‍රී ලංකා පොලීසියෙ​න්

රථවාහන අනතුරු අවම කිරීම සඳහා රථවාහන වැරදි සිදුකරන්නන් හඳුනාගැනීමට ජනතාව අතරින්ම තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ Sri Lanka Police eTraffic ලෙසින් නව වෙබ් අඩවියක් අද දින (2025 ජනවාරි 01) හඳුන්වාදෙනු ලැබුවා.

රථවාහන නීති කඩ කරමින් අපරීක්ෂාකාරීව ධාවනය කෙරෙන වාහන, රියදුරන් ඡායාරූප ගෙන හෝ වීඩියෝ මගින් මෙම වෙබ් අඩවිය වෙත Upload කළ හැකිවන අතර ඉන්පසු එම ඡායාරූප හා වීඩියෝ දර්ශන පොලිස් මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය මගින් නිරීක්ෂණය කර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාල විමර්ශන ආයතන වෙත යොමුකිරීම සිදුකරනු ලබනවා.

මෙය ඔබට https://srilanka-etraffic-app.vercel.app වෙතට පිවිසීමෙන් භාවිතා කළ හැකියි. දැනට මෙම යෙදවුම Android උපාංග වල පමණක් භාවිතා කල හැකි අතර ඒ සඳහා යෙදවුම බාගත කර ගැනීම වෙබ් අඩවිය හරහා පමණක් සිදු කරගත හැකියි. නුදුරේදීම Play Store සහ App Stores වෙතින් ද මේ යෙදවු​ම බාගත කළ හැකි බව ශ්‍රී ලංකා පොලීසිය මඟින් දැනුම් දී තිබෙනවා.

මේ යෙදවුම ජංගම දුරකතනයට ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඉතාමත් පහසුවෙන් ඒ වෙත ලියාපදිංචි වී ශ්‍රී ලංකා පොලීසිය වෙත තොරතුරු ලබා දීම ආරම්භ කල හැකි වනවා. ලියාපදිංචි වීම සඳහා Sign-in with Google පහසුකමද මේ වෙත එක කර තිබෙනවා.

ඉන් පසු යෙදවුමේ මුල් පිටුවේ ඇති කැමරා icon දෙක භාවිතා කරමින් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇති අතර, එම ලබා ගත ඡායාරූප හෝ වීඩියෝ දර්ශන වලට අදාලා නීතිය කඩ කිරීම පිළිබඳව විස්තර කර submit කිරීම හරහා ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දීම කල හැකියි.

Source: Sri Lanka Police FB Page