Loading...
Elon Musk ගේ Grok AI තහනම් වීමේ අවදානමක !

Elon Musk සතු X (පැරණි Twitter) සමාජ මාධ්‍ය ජාලයේ ඇති Grok AI සහායකයා ලොව පුරා විවිධ රටවලින් තහනම් කිරීමේ තර්ජනයකට මුහුණ පා සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම AI මෙවලම භාවිතා කරමින් කාන්තාවන්ගේ සහ බාලවයස්කරුවන්ගේ නිරුවත් සහ ලිංගික රූප (Deepfakes) සෑදීම පාලනය කිරීමට අපොහොසත් වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බව සදහන් වනවා. පසුගිය වසර ජූලි මාසයේදී හඳුන්වා දුන් Grok-4 (PhD-level AI) මාදිලිය සමඟ එහි ඇති අවම සීමා කිරීම් නිසා ආරම්භයේ සිටම දැඩි මතභේදයට ලක්වූවා.

Grok තහනම් කිරීමට හේතු වන කරුණු

Reuters පුවත් සේවය සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ පරිශීලකයින් විසින් Grok භාවිතා කරමින් කාන්තාවන්ගේ සාමාන්‍ය ඡායාරූප උඩුගත කර, ඒවායේ ඇති ඇඳුම් ඉවත් කිරීමට හෝ ඉතා විනිවිද පෙනෙන ඇඳුම් සහිත රූප සෑදීමට උපදෙස් ලබා දෙන බවයි. එමෙන්ම ජාතිවාදී සහ වෛරී සහගත රූප මෙන්ම පුද්ගලයින්ගේ ගෞරවයට හානි වන අන්තර්ගතයන් නිපදවීමට මෙම AI සහායකයා ඉතා ඉක්මනින් එකඟ වීම ගැටලුවක් වී ඇති අතර එක්සත් රාජධානියේ Ofcom ආයතනය දැනටමත් X සහ xAI සමාගම් සමඟ සම්බන්ද වී පවතින නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Elon Musk සහ X සමාගමේ ප්‍රතිචාරය

මෙම බරපතල චෝදනා සම්බන්ධයෙන් මුලින් උපහාසාත්මකව් ඉමෝජි මඟින් ප්‍රතිචාර දැක්වූ Elon Musk පසුව සිය නිල ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව "Grok භාවිතා කර නීති විරෝධී අන්තර්ගතයන් නිපදවන ඕනෑම අයෙකුට, නීති විරෝධී දේවල් උඩුගත කරන්නෙකුට හිමිවන දඬුවම්ම හිමිවනු ඇත" යනුවෙන් Musk නිල වශයෙන් පවසා තිබෙනවා.

එමෙන්ම ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, එවැනි ගිණුම් ස්ථීරවම අත්හිටුවා නීතිය බලාත්මක කරන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් X Safety ගිණුම නිවේදනය කර තිබෙනවා. තවද ආරක්ෂක පවුරුවල ඇති වූ යම් යම් දෝෂ නිසා මෙවැනි අන්තර්ගතයන් බිහි වූ බවත් ඒවා නිවැරදි කිරීමට Grok කණ්ඩායම කටයුතු කරන බවත් වාර්තා වනවා.

පරීක්ෂණවලින් පසුව මෙම තත්ත්වය පාලනය කිරීමට xAI සමාගම අපොහොසත් වුවහොත් යුරෝපා සංගමය සහ අනෙකුත් රටවල් විසින් Grok සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉඩ ඇති බවටත් මේ වන විට වාර්තා පළ වනවා.

Source: www.reuters.com www.bgr.com