Loading...
රු. 5,000 ට අඩු QR ගනුදෙනුවල ගාස්තු ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රුපියල් 5,000 ට අඩු සියලුම QR කේත මත පදනම් වූ ගනුදෙනු සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව, 2026 අයවැය ප්‍රතිපත්ති ප්‍රකාරව ක්‍රියාත්මක වනු ඇති අතර මහජනතාව සහ වෙළඳුන් ඩිජිටල් ගෙවීම් සඳහා දිරිමත් කිරීම, ආර්ථික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණු වනවා.


ලෝකයේ වත්මන් තත්ත්වය සහ නව තීරණයේ වැදගත්කම දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ ලංකාව තුළ LankaQR පද්ධතිය මූල්‍ය ආයතන 20 කට වැඩි ප්‍රමාණයකට සහ ජංගම දුරකථන යෙදුම් (Mobile Apps) 30 කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වී තිබුණද, එහි භාවිතය තවමත් පවතින්නේ අවම මට්ටමක බවයි.

  • 2025 වසරේ තුන්වන කාර්තුවේ දත්තවලට අනුව LankaQR හරහා සිදුව ඇත්තේ ගනුදෙනු 274,000 ක් පමණි. මෙහි දළ වටිනාකම රුපියල් බිලියන 1.18 කි.
  • මසකට සාමාන්‍යයෙන් ගනුදෙනු 90,000 ක් පමණ සිදුවන අතර, එහි මුළු වටිනාකම රුපියල් මිලියන 390 ක් පමණ වේ. විශේෂම කරුණ වන්නේ මෙම ගනුදෙනුවල සාමාන්‍ය අගය රුපියල් 5,000 ට වඩා අඩු මට්ටමක පැවතීමයි.


මෙම දත්ත සැලකිල්ලට ගනිමින්, බහුතරයක් ජනතාව සිදු කරන කුඩා පරිමාණ ගනුදෙනු සඳහා පවතින ගාස්තු බාධාවන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. නව තීරණයට අනුව, රුපියල් 5,000 ට අඩු ගනුදෙනුවලදී, මුදල් ගෙවන්නාට කිසිදු අමතර සේවා ගාස්තුවක් අය නොකරන අතරම මුදල් ලබා ගන්නා වෙළෙන්දාටද මෙතෙක් අය වූ කොමිස් මුදල් හෝ බැංකු ගාස්තු අය නොකෙරෙනු ඇත.

මෙම සහනය නිසා කුඩා පරිමාණ වෙළඳුන් සිය ව්‍යාපාරික කටයුතුවලදී QR කේතය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වනු ඇතැයි රජය අපේක්ෂා කරනු ලබනවා. ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ගනුදෙනු කළ හැකි උපරිම සීමාවන් සංශෝධනය කිරීම සහ පාරිභෝගිකයින් මත පැටවෙන අතිරේක බදු බර අඩු කිරීම පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන අතර ශ්‍රී ලංකාව පූර්ණ ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී මෙම "ගාස්තු රහිත" QR ගෙවීම් ක්‍රමය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව අපට දක්වන්න පුලුවන්.

Source: www.adaderana.lk